ඇත්ත ආදරය කියන්නේ මොකද්ද කියලා හරියට තේරුම් ගත්තේ සම්පත් මගේ ජිවිතේට ආවට පස්සේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රියත්වයේ ඉහළටම ගිය රංගන ශිල්පිණියන් අතර ඇය තමන් රඟපෑ ටෙලි වෘතාන්ත ගණනාව තුළ ප්‍රේක්ෂක හදවතේ ආදරය ඉහළින්ම දිනා ගත් රංගන තාරකාවියක්. නිර්මාණ හරහා මතකයේ සිටින, ඔබේ මතකයේ රැදෙන රුවක් බවට පත් වූ ඇය  ජනප්‍රිය රංගන ශිල්පිණි මහේෂී මධුෂංකා යි. හැමදාම ටෙලි සිනමා තිරයෙන් දකින ඇය අද ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙසත් දකින්නට ලැබෙනවා. මහේෂිගේ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම සමාජ මාධ්‍යය තුළින් පැතිර යාමත් සමඟ මහේෂිට විවිධාකාර ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.  වර්තමානයේ ලබන ඒ අලුත් අද්දැකීම ගැන වගේම පෞද්ගලික ජිවිතේ අලුත් තොරතුරු සමඟ අපි කතා බහ කරන්නට ඇය වෙනුවෙන් ඉඩකඩක් වෙන් කළා. 

මහේෂි දැන් ප්‍රවෘත්ති නිවේදිකාවක්..මොකද්ද මේ වෙනස? 

ප්‍රවෘත්ති නිවේදිකාවක් වෙන්න මට පොඩි කාලේ ඉඳලාම හීනයක් තිබුණා. ඒ හීනය සැබෑ කරගන්න වේවි කියලා මම හිතුවේ නැහැ. නොසිතූ වෙලාවක මට ස්වර්ණවාහිනියෙන් ආරාධනාවක් ලැබුණා ලයිව් ඇට් එයිට් එකේ නිවුස් කියන්න එන්න කියලා. මට ඒ ආරාධනාව කළේ එහි සාමාන්‍යධිකාරී දම්මික තෙන්නකෝන් මහතා. ඒක ඇත්තට ලොකු වගකීමක්.  මේ දවස් වල ඒ වෙනුවෙන් තමයි ලොකු කැප කිරීමක් කරලා තියෙන්නේ. මොකද රඟපාලා වැරදුණොත්  ඒක අපට හදන්න පුළුවන්. නමුත් නිවුස්  කියලා වැරදුණොත් ඒක අපට හදන්න බැහැ. අනිත් එක  සාමාන්‍ය නිවේදකයෙකුට නිවේදිකාවට වැරදුණාට ප්‍රශ්නයකුත් නැහැ නමුත් නිළියකට හෝ නළුවකුට වැරදුණොත් අපේ සමාජයේ විශාල ලෙස ඒක කතා බහට ලක්වෙනවා. ඒ නිසා මේ කාර්ය භාර්ය කරන්නේ මම හරි පරිස්සමෙන්. 

එදා ඔබේ ප්‍රවෘත්ති නිවේදිකාවක් විමේ සිහිනය සැබෑවක් කරගන්න බැරි වුණේ ඇයි? 

මම ක්ෂේත්‍රයට එන්න කලින් දැයට කිරුළ කියලා ස්වර්ණවාහිණියෙන් වැඩසටහනක් කළා. ඒ වැඩසටහනෙදි ස්වර්ණවාහිනියේ නිවුස් එකට ප්‍රවෘත්ති නිවේදිකාවන් තෝරගත්තා . එහි අවසාන වටයට මමත් තේරුණා. නමුත් ඉස්සර නීතියක් තිබුණා නිවුස් කියන අයට රඟපාන්න බැහැ කියලා. නිවුස් කියන්න දැඩි හීනයක් තිබුණත් මට ලොකු ආසාවක් තිබුණේ රඟපාන්න. ඒ නිසා මම තෝරගත්තේ රංගනය.  මම රටෙනුත් යන්න ලෑස්ති වෙලා ඉන්න වෙලාවක තමයි මේ  ආරාධනාව මට ලැබුණේ .ඇත්තටම  මේක ලැබෙන්නම තිබුණ දෙයක් වෙන්න ඇති මොකද එදා මගහරුණ දේ මේ විදිහට මට ලැබේවි කියලා කවදාවත් හිතුවේ නැහැ. 

නිළියක් ප්‍රධාන ප්‍රවෘත්ති නිවේදිකාවක් වෙන එක ඔබට කොයි විදිහටද අභියෝගයක් වුණේ? 

ගොඩාක් ලොකු අභියෝගයක්. ඇත්තටම මට නිවුස් කියන්න කතා කරහම ගැස්මක් ඇති වුණා.මේ වෙලාවේ ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානී සංජීව කුමාර අයියා, චවිකා ගුණසේකර අක්කා, වගේම ප්‍රවෘත්ති අංශයේ ප්‍රවීණ සාමාජිකයන් ලොකු සහයෝගයක් දුන්නා.  වචන උච්ඡාරණයේ ඉඳලා හැමදේම කියලා දුන්නා අපිව පුහුණු කළා. අපිට ඒ වෙනුවෙන් මාස එකහමාරක් පමණ පුහුණු කළා. මගේ පළමු ප්‍රවෘත්ති ඉදිරිපත් කිරිමේ දායක වුණ සහායකයා වුණේ  ලයිව් ඇට් එයිට් කණ්ඩායමේ ප්‍රවිණ සමාජිකයෙක් වන නිමේෂ් විජේසුරිය. ඔහුගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. ඔහු මගේ අඩුපාඩුකම් පෙනෙන්න නොදී වැඩේ සාර්ථක කරන්න උදව් කලා.   නිවුස් කියපු පළමු දවස ඇත්තටම මට ජීවිතේ හරිම විශේෂයි. මට මේක හරියට කරගන්න පුළුවන් වේවිද කියන  භය චකිතය තදින්ම තිබුණා. මම හිතුවෙම පළමු දවසේ නිවුස් එකෙන් පස්සේ මට සෑහෙන්න බැනුම් අහන්න වේවි කියලා. නමුත් මගේ අලුත් වෙනසට හිතපු නැති විදිහේ හොඳ ප්‍රතිචාර ලැබුණා.

නිළියන්ට ලංකාවේ හරියට ගොසිප් හදනවා. නමුත් ප්‍රවෘත්ති නිවේදිකාවක දකින්නේ වෙනම රූපයකින්. ප්‍රවෘත්ති නිවේදිකාවක් කියන්නේ නිළියකට වඩා හාත්පසින්ම වෙනස් සමාජ තලයක් තියෙන වෘත්තියක්. ඒකට අවස්ථාව දුන්නා කියලා නිවුස් කිය කිය  ඊට පහුවෙනිදාට භාගෙට ඇඳගෙන පාර්ටි වලට ගිහින් ටික්ටොක් කරන්න ගියොත් ප්‍රවෘත්ති කලාවේ නියැලෙන්න ටිකක් අමාරුයි. 
අපි සමාජයේ විහිළුවක් වෙන විදිහට හැසිරෙනවනම් මිනිස්සු විශ්වාසයෙන් මම කියන නිවුස් අහන්නේ නැහැ. ඒ  වෘත්තිය ගෞරවය රැකීම අපේ යුතුකමක්. ඒ වගේම  මේ වගේ භාරදූර කටයුත්තක් මාව විශ්වාස කරලා දුන්නාට ස්වර්ණවාහිණි නිවුස් කණ්ඩායමේ සියළුමදෙනාට ස්තූති කරනවා.  ප්‍රවෘත්ති නිවේදිකාවක් වෙන එක මට සැබැ කරගන්න බැරිවුණ හීන ගොඩේ තිබුණ එකක්. මම හිතුවේ නැහැ ඒක මට කවදාවත් සැබෑ කරගන්න පුළුවන් වේවි කියලා. 

මහේෂි දැන් දිගටම නිව්ස් කියනවද?

මගේ අනෙක් කලා කටයුතු වලට අමතරව මේ කාල සීමාව තුළ ප්‍රවෘත්ති නිවේදනයට වැඩි ඉඩක් දෙනවා. තව කොච්චර කාලයක් මට නිව්ස් කියන්න ලැබෙයිද කියන්න දන්නේ නැහැ. ඊට අමතරව ලයිකා ප්‍රඩක්ෂන් සමග කරන  චිත්‍රපටයකට ආරාධනා ලැබිලා තියෙනවා. ටෙලි නාට්‍යකටත් ආරාධනා ලැබිලා තියෙනවා ඒක තවම සාකච්ජා මට්ටමේ තියෙන්නේ  ඒ ඇරෙන්න මම වෙන වැඩ භාර අරගෙන නැහැ.  

ප්‍රවෘත්ති නිවේදිකාවක් වීමේ වෙනස ඇතුළේ අවසානයේ මශේෂි වාසගමත් වෙනස් කරා නේද? 

ඔව් මම නිවුස් කියද්දි පාචිච්චි කළේ මගේ සැමියා ගේ වාසගම.ඇත්තම කතාව නම් මම සියල්ලම අතෑරලා ඩුබායි වල පදිංචියට යන්න හදපු වෙලාවේ තමයි සම්පත් මගේ  සැමියා කිව්වේ ඔයාට මේක හොඳ අවස්ථාවක් මේක භාරගන්න කියලා . එයා ඒ අවස්ථාව මට ගන්න කියලා දුන්න විශ්වාසයට ඔහුට පෙරළා කරන ගෞරවයක් විදිහට තමයි මම නිවුස් වලදි මගේ වාසගම වෙනුවට සැමියාගේ වාසගම පාවිච්චි කළේ.  මම මීට පෙර කවදාවත් මහත්තයාගේ වාසගම  පාවිච්චි කරලා තිබුණේ නැහැ. මොකද මම සැමියාගෙන් ගොඩයන කෙනෙක් නෙමෙයි.  ඇත්තටම මගේ මහත්තයා දැනගෙන හිටියේ නැහැ මම එයාගේ වාසගම පාවිච්චි කරයි කියලා. ඔහුත් එදා පුදුම වුණා එයාගේ වාසගම පාව්ච්චි කළා කියලා. මම නිව්ස් කියද්දි මශේෂි දිසානායක කිව්වාම ගොසිප් වල දාලා තිබුනා මම බයට නම වැරදියට කිව්වා කියලා. 

මහේෂි රට හැර යන කතාව ඇත්තද?

ඇත්තටම සැමියාගේ වෘත්තිය ,දරැවන්ගේ අනාගතය ගැන හිතලා  මම විදේශගතවන තීරණයකට ඇවිත් තියෙනවා.  හැමදේකින්ම ටික කාලෙකින් මට තාවකාලිකව සමුගන්න වෙනවා. ලංකාව කියන්නේ ජීවිත් වෙන්න ලෝකේ හොඳම රට වුණත් මම මේකට උතුම් කියලා දාන්න කැමති නැහැ මොකද අපේ රට උතුම් කරනවද නැද්ද කියලා තීරණය කරන්නේ ලංකාවේ මිනිස්සු. නීතියක් සදාචාරයක්, නැති රටක දරුවන්ට අනාගතයක් හදන්නේ කොහොමද කියන ප්‍රශ්නය තියෙනවා. ඇත්තටම අපි උපන් බිමේ අපට නිදහසේ මැරෙන්න නැත්නම් ඒක හරිම අවාසනාවක්. මම රට දාලා යනවා කියලා සතුටින් නෙමෙයි කියන්නේ දරාගන්න බැරි දුකකින්. මේ රටේ දරුවන්ට අනාගතයක් නැති නිසයි රට දාලා යන්න වෙලා තියෙන්නේ. 

ටෙලි නාට්‍ය වලින් පහුගියකාලේ නොපෙනී ගියේ පුංචි තිරයටත් සමු දීලාද? 

සමු දීලා නැහැ. භාර ගත්ත වැඩ ටිකක් තියෙනවා. විදේශ ගතවෙන්නේ ඒ සියල්ල අවසන් කරලා. ඇත්තටම මම දැන් මාස 6-7 කින් වැඩක් කරලා නැහැ. මම අන්තිමටම කළේ මැස්සා කියලා ටෙලි නාට්‍යයක්.  නමුත් මාව මිනිස්සුන්ට මතකයි තාමත් මගේෂි කියන රංගන ශිල්පිණියට  ආදරෙයි. මම මිනිසුන්ගෙන් අවධානය ගන්න වැඩ කරලා නැ කවදාවත්. ඒ නිසාම සමහර තැන් වල මට අසාධාරණකම් වෙලා තියෙනවා. ඒත් මම රගපෑවත් නොපෑවත් ප්‍රෙක්ෂක ආදරය අඩුවක් වෙලා නැහැ. 

සම්පත් ඔබේ සැමියාගේ ගැනත් වචනයක් කියමු?

සම්පත් දිසානායක මගේ සැමියා ගැන මට එක වචනෙකින් කියලා නිම කරන්න බැහැ. ඔහු ඉතාම හොඳ ආදරණිය සැමියෙක්,පියෙක්. හැම වයිෆ් කෙනෙකුටම සම්පත් වගේ ස්වාමිපුරුෂයෙක් මුණ ගැහෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා. මට සම්පත්ව මුණ ගැහෙන්නේ මුලින්ම කොරියානු සංචාරයක් අතුරතුර. එදා ගුවන්යානයේ ගුවන් නියමුවරයා ලෙස රාජකාරි කළේ ඔහු. පළමු බැල්මෙන්ම ජිවිතේ එකට මේතරම් දුරක්  ඒවි කියලා නම් මම හිතුවේ නැහැ. පස්සේ පස්සේ අපි හොඳම යාළුවෝ වුණා. නොදැනිම  ඒ කතාබහ ආදරයකට පෙරළුනා. ජීවිතේ මේ ගමන දුෂ්කර වුණත් අපි දෙන්නාට ඒ ගමන එකට යන්න පුළුවන් කියලා අපි දෙන්නාටම දැණුනා.  මම නිතරම සම්පත්ගේ දෙමව්පියන්ට ස්තූති කරනවා මෙ වගේ හොඳ ගතිගුණ තියෙන හිත හොඳ පුතෙක් දායද කළාට. 

අද ගෙවන ජිවිතේ ගැන මොකද හිතෙන්නේ?

මම හරිම වාසනාවන්තයි. මගේ ජීවිතේ ගැන මම හරිම තෘප්තිමත්, රංගන ශිල්පිනියක් විදිහට මිනිස්සු මාව හදවතින්ම පිළි අරගෙන තියෙනවා. මට දෙවියෝ දීපු ලොකුම තෑග්ග තමයි මගේ සැමියා. ඊට පස්සේ මගේ දරුවෝ දෙන්නා. ඊට පස්සේ කලාව.මම නිතරම මගේ වෘත්තිය පවා පැත්තකින් තියලා  මිනිස්සු වෙනුවෙන් කතා කරලා තියෙනවා. කෙළින් කතා කරන නිසාම මට දේවල් අහිමි වුණ තැන් පවා තියෙනවා. ඒවා ගැන දුක්වෙන්නේ නැහැ. කොහොම වුණත් මම ප්‍රාර්ථනා කරපු හැමදේම අද මට ලැබිලා තියෙනවා. මගේ ජීවිතේ කඩාවැටුණු තැන් තියෙනවා. ජීවිතේ කියන්නේ මොකද්ද ඇත්ත ආදරය කියන්නේ මොකද්ද කියලා හරියට තේරුම් ගත්තේ  සම්පත් මගේ ජිවිතේට ආවට පස්සේ. 

නදීශා අතුකෝරළ