‘ආරුගම් බේ’ කියන්නෙ ලෝකයේම ලස්සන මුහුදු තීරය
නැගෙනහිර ‘ආරුගම් බේ’ සුන්දර වෙරළ තීරය ලෝක සංචාරකයින් අතර වඩාත් ජනප්‍රිය වී ඇති ගමනාන්තයකි. මේ ‘ආරුගම් බේ’ ගැන ලෝක සිනමා ලෝලීන් මේ දිනවල කතා වන්නේ ඊශ්‍රායල ජාතික සිනමාකරුවකු වන (මාර්කෝ) කැමල් ශ්‍රී ලංකාවට පැමිණි මෙහි රූගත කළ ජාත්‍යන්තර චිත්‍රපටය නිසයි. මාර්කෝ කැමල් අධ්යක්ෂවරයා ඇතුළු ඊශ්‍රායාල ජාතික සිනමා කණ්ඩායම නිර්මාණය කරන මෙම චිත්‍රපටය නම් කර ඇත්තේ ‘ආරුගම් බේ’ නමිනි. ඊශ්‍රායලය ඇතුළු ලෝකයේ රටවල් 50කදී පමණ තිරගත කිරීමට සැළසුම් කර ඇති මෙහි ශ්‍රී ලාංකීය රංගන ශිල්පීන් සිව් දෙනෙකු ප්‍රධාන වශයෙන් දායකත්වය ලබාදීම විශේෂත්වයකි. ප්‍රවීන රංග ශිල්පී සනත් ගුණතිලක, ආශාන් ඩයස්, ඉන්දිකා ෆර්ඩිනැන්ඩු සහ බුද්ධික ජයරත්න එම රංගන ශිල්පීන්ය. එලෙසින් ‘ආරුගම් බේ’ ජාත්‍යන්තර සිනමා නිර්මාණයෙහි රංගනයෙන් දායක වූ එම ශිල්පීන් අතරින් චරිතාංග රංග ශිල්පියකු ලෙස ටෙලි හා සිනමාව ඔස්සේ අපට හමුවන බුද්ධික ජයරත්න රංග ශිල්පියාගෙන් ‘ආරුගම් බේ’ චිත්‍රපටයේ ඔහු රඟපෑ චරිතය ගැන සහ තවත් විස්තර අහමු.
බුද්ධික මේ දිනවල ඔබගේ රඟපෑම් දැකගන්න පුළුවන් වෙන්නෙ?
මේ දිනවල විකාශය කෙරෙන නට්‍යයක බන්ධනාගාරයේ චරිතයක් රඟපානවා. ඒ චරිතයේ හැටියට වගකීම් බොහෝමයක් ඇති මස්සිනා කෙනකේ. බිරිඳට ඇති ගෞරවයට ආදරයට අමතරව ඇයගෙ නංගිට සැබෑම සහෝදරයකු වූ ඇයගෙ වගකීම් ගැන හිතන සහ එහෙම හිතලා කටයුතු කරන මස්සිනා කෙනෙක්. ඇයගෙ පියාගෙන් ඉටුවිය යුතු වගකීම් ඉටු කරන්නට උත්සාහ ගන්න කෙනෙක්.
ඒ හැර වෙන මොනවද නිර්මාණ?
තුෂාරි අබේසේකරගෙ ‘‘චන්දෝලි’’ විකාශය වෙනුවෙන් එය චැනල් එකකට යොමු කරවීමට සූදානමින් ඉන්නේ. ඒ කාටත් ඉතා අරුත්බර ලස්සන නිර්මාණයක්. මගේ ඉල්ලීම පිට එය නිෂ්පාදනය කළේ ක්‍රිෂාන්ති මඩුගල්ලෙ. එතුමිය සහ පවුලේ උදවිය මගේ හිතවතුන්. හොඳ නිර්මාණයක් කිරීමේ අරමුණක් එයාලට තිබුණා. මේක සම්භාව්‍ය මට්ටමේ නිර්මාණයක්. ප්‍රවීන නළු නිළි පිරිසක් රංගනයෙන් දායකව සිටිනවා. නිකවැරටියේ දුෂ්කර පළාතක ෂූටිං කළේ. ඉතාම ලස්සන කතාවක්.
‘බුද්ධික’ අපි ‘ආරුගම් බේ’ චිත්‍රපටයේ ඔබ රඟපාන චරිතය ගැන කතා කිරීමට පෙර කැමතියි දැනගන්න ඊට පෙර ආරුගම් බේ සංචාරය කර තිබුණද?
එක් වතාවක් සංචාරය කරලා තිබුණා. දුලීකා මාරපන සහ සුජීව ප්‍රියාල්ගෙ ’සුපර්කා’ නිර්මාණයෙහි මම රඟපෑවෙ ගරු චරිතයක්. ඒ වෙනුවෙන් රංගන කටයුතුවලට එහි ගියා. දින දෙකක් විතර ‘ආරුගම් බේ’ පාසිකුඩා හිටියා.
කොහොමද ඒ පළාත් ලස්සනද?
එදා මට ඒ පළාතේ හරිහැටි සංචාරය කරන්න ලැබුණෙ නැහැ. රූගත කිරීම් කළ විගස ආපසු කොළඹ එන්න තිබුණා. කොහොම වුණත් ‘ආරුගම් බේ’ කියන්නෙ ලෝකයේම ලස්සන මුහුදු තීරය. සමහර ලෝක සංචාරකයින් විශේෂිතව එන සුන්දර ගමනාන්තයක්. ලාංකිකයින්ට වඩා ඒ මුහුදට ආසා කරන්නේ විදේශිකයින්. හොඳම උදාහරණය ‘ආරුගම් බේ’ චිත්‍රපටයේ අධ්යක්ෂවරයා මාර්කෝප් කැමල් තිස් දෙවතාවක් (32) ‘ආරුගම් බේ’ ඇවිත් තියෙනවා. එයා නිර්මාණයක් කරලා ඉවර වුණාම විවේකීව ඉන්න එන්නෙ ලංකාවටලු. ඒ ඇවිත් සිටින තැනක් ‘ආරුගම් බේ’.
හොඳයි කොහොම වුණත් ඔබ මෙවර ‘ආරුගම් බේ’ ගියේ, ඒ නමින්ම නිර්මාණය වන ‘ආරුගම් බේ’ චිත්‍රපටයේ රඟපෑමටයි. ඒ ගැන කියමු?
මේ අවස්ථාව ලැබුණෙ ෆ්රේම්ස් ටී.වී ඇන්ඩ් ෆිල්ම් ප්‍රඩක්ෂන් ආයතනයේ අධ්යක්ෂ සහ නිෂ්පාදක ෂ්‍යාමන් ප්‍රේමසුන්දර නිසයි. එයා තමයි මට මේ විස්තර කිව්වේ. ඒක ලොකු අවස්ථාවක්. ඔයාව එක් චරිතයකට අපි යෝජනා කරන බව කිව්වා.
‘ආරුගම් බේ’ කතාව මොනවගේද කියලා කෙටියෙන් දැනගන්න කැමතියි?
ඊශ්‍රායලයේ තරුණයින් කීප දෙනෙකු මුහුණ දෙන සිද්ධියක් මුල් කරගෙන කතාව ගලා යනවා. ඔවුන් නීති විරෝධී ක්‍රියාවක් කරන නිසා ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට සහ කොටුකර ගන්න පොලිස් ස්ථානාධිපති මෙන්ම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මූලිකත්වය ගන්නවා. අන්න ඒ පොලිස් පරීක්ෂකවරයාගේ චරිතය රඟපාන්නෙ මම.
බුද්ධික රංගනය වෙනුවෙන් මේ කී වැනි වතාවටද පොලිස් නිල ඇඳුම ඇන්දෙ?
චිත්‍රපට රංගනයේදී නම් තුන්වැනි වතාවට.
හරි, අපි එහෙම නම් ‘ආරුගම් බේ’ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වූ ‘කුමාර’ ගැන විස්තර කරමු?
මේ තරුණයින් ඔහු කොටුකර ගන්නෙ ආරවුලක් යන මොහොතකදීයි. ශ්‍රී ලාංකිකයකුට අයත් රෙස්ටුරන්ට් එකක් අයිති ස්ථානයකදී. ඒ තරුණයින් අත්අඩංගුවට ගත් පසු ඔවුන්ගේ පියා (පොලිස් පරීක්ෂකට) බලපෑමක් කරනවා. ඩොලර් 5000 පගාවක් දීලා ඒක ෂේප් කරගන්න හදනවා. ඒත් මේ ‘ඉක්ස්පෙක්ටර්’ මුදලට යට වෙන්නෙ නැහැ. රාජකාරිය අකුරට කරන හරිම වෘත්තීය ගරුත්වයෙන් රාජකාරිය ඉෂ්ට කරන කෙනෙක්. එහෙම කරද්දී මේ අත්අඩංගුවට ගත් තරුණයින්ගෙන් ඔහු තමන්ගෙ තාරුණ්‍ය දකින්න පටන් ගන්නවා. ඉන් පසුව ඔහු ඉතා මානුෂීය විදියට බලා කටයුතු කරනවා. මෙය චිත්‍රපටයක් වුවත් මේ පොලිස් නිලධාරියා ඔස්සේ අපේ ශ්‍රීලාංකිය පොලීසියට අන්තර් ජාතික වශයෙන් ඉතා හොඳ ප්‍රතිරූපයක් නිර්මාණය කරන බව මට පෙනෙන දෙයක්.
මේ ලස්සන ‘ආරුගම් බේ’ කවදා තිරගත වේවිද?
ලබන අවුරුද්දෙ මැද වනවිට මේ චිත්‍රපටය යුරෝපය ප්රමුඛ රටවල ප්‍රදර්ශනය වේවි.
බුද්ධික, මේ විදියට ජාත්‍යන්තර නිර්මාණයක අධ්යක්ෂවරයකු සහ කණ්ඩායමක් එක්ක කටයුතු කිරීම ඔබට ගෙන දුන්නෙ මොන වගේ අත්දැකීමක්ද?
අපි ඔවුනට විදේශිකයින් බව ඇත්ත. ඒත් කලා නිර්මාණයකදී අපි එක පවුලක්. ලෝකයේ හැටි එහෙමයි. ‘සිනමාව’ නමැති ලෝක පවුලේ තවත් ඥාති පිරිසක් මුණගැසීම වගේ අත්දැකීමක්. ඉතාම විනයගරුක එකිනෙකාට අසීමිත ලෙස ගරු කරන පිරිසක්. අපට සැලකීම් කළෙත්, එයාලගෙ පිරිසට සැළකූ විදියටමයි. විශේෂයෙන්ම මාර්කෝ කැමල් අධ්යක්ෂවරයා සහ එයාගේ දෙවන සහාය අධ්‍යෂිකා වූ එයාගෙ බිරිඳ. ඒ දෙදෙනා මූලික කරගත්ත මේ කණ්ඩායම සහ නිෂ්පාදකවරයා ඇතුළු පිරිස නළු-නිළියන් හට ඔවුන් ලබාදුන් වටිනාකම-පිළිගැනීම- ගෞරවය ඉතා ඉහළයි. රංගන ශිල්පියකු හට අවශ්‍ය කරන මානසික සහ සියලුම පහසුකම් ඔවුන් ලබාදුන්නා. රූගත කිරීම් නැති අවස්ථාවක අපි අමාරුවෙන් ඉඳගෙන හෝ හිටගෙන ඉන්නවටවත් එයාලා කැමති නැහැ. නළු නිළි වෘත්තියට ඔවුන් එතරම්ම ගරු කරනවා. සරළව කිව්වොත් හැකියාවට උපරිම ගරු කරන පිරිසක්. ඒ හැකියාව හඳුනා ගත්තාම නළු නිළියන්ට රඟපෑම වෙනුවෙන් උපරිම සහනයක් ලබාදෙන අතරේ පහසුකම් පවා ලබා දී රංගනයෙන් උපරිම දෙයක් උකහා ගන්නවා. අපේ රටේ අධ්යක්ෂවරු ළඟ ඒක නැතැයි කියලා කියනවා නෙවෙයි. නමුත් මේ මිනිස්සු ලෝක කර්මාන්තයක් ඇතුළෙ ලෝක සිනමා වෙළඳපළ ග්රහනය කරගත් නිසා අගැයීම් වැඩියි.
බුද්ධික, ඔබට මේ විදියට ‘ආරුගම් බේ’ චිත්‍රපටයේ රඟපෑමට ලැබුණෙ, ජාත්‍යන්තර භාෂාව ගැන අවබෝධයක් තිබීම වගේම නිරන්තරයෙන් ඔබ ඉංග්‍රිසි භාෂාව හසුරුවන නිසා කියලා කිව්වොත්?
ප්‍රායෝගිකව ඒක ඇත්ත. ඒ නිසා හරි පහසුයි. අපට එකිනෙකා සමග අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථා ගන්න. ඒක ලොකු පාලමක් වෙනවා. නමුත් ක්ෂේත්රය ඇතුළෙ ඉන්න කෙනෙකුට භාෂාව ප්‍රගතියක් නොවන්නෙ ඔහු හෝ ඇය ඒක ඇතුළෙ සිටින නිසා. පාසල් කාලයේදී මට ඉංග්‍රීසි භාෂා දැණුම තිබුණේ නැහැ. පසුව රැකියාවට ආවාම මා විසින්ම ප්‍රගුණ කරගත්ත භාෂාවක්. අදටත් මම 100%ක් ඉංග්‍රීසි හොඳටම හොඳ නැහැ. ඒත් අදටත් මුවහත් කරගන්න උත්සාහ ගන්නවා.
රූගත කිරීම්වලින් පසුව ‘ආරුගම් බේ’ කණ්ඩායම කොහොමද කාලය ගත කළේ?
විවේකයක් වුණාම විදේශීය පිරිස ‘ආරුගම් බේ’ වෙරළෙහි අසිරිය රිසි සේ භුක්ති වින්දා. මට ලැබුණු ලොකුම දේ තමයි සනත් ගුණතිලක ප්‍රවීනයා එක්ක අදහස් හුවමාරු කර ගැනීමට වැඩිපුර අවස්ථාවක් ලැබීම. ඊට පෙර හමු වී තිබුණත් මේ විදියට ඔහු සමග සමීපව කටයුතු කිරීමට ලැබීම නිසා ක්ෂේත්රයේ ඔහු සතු දැනුම් සම්භාරයෙන් බොහෝ දේ දැනගන්න මට අවස්ථාව ලැබුණා. ඒක මට ලොකු දෙයක්.
සඳුන් ගමගේ