ආයෙත් අපි රැවටුනොතින් ඉවරයි රාලේ අල්ලලා හොරු ගිල්වමු අපි දියවන්නාවේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

උනුත් එකයි - මුනුත් එකයි
හොරු කවදත් - හොරුම තමයි
උං ඔක්කොම යාළුවො මල්ලි...

එක වල්ලේ පොල්ම තමයි
රට වැනසුවෙ උන්ම තමයි
හොරු අල්ලන් නෑ මුං මල්ලි...

වැලි හොරු කුඩු හොරු කප්පම් ගහන මාටියෝ
බාල බෙහෙත් ගෙනත් ලෙඩ්ඩු මරණ වධකයෝ
කෝච්චිවල මාල කඩපු හොර තක්කඩියෝ
මෙච්චර කල් නීති හැදුවෙ මෙවැනි අපතයෝ

බැංකු කඩපු හොරු සේරම තවම නිදැල්ලේ
කැළණි ගඟෙන් නයෙක් ඇවිත් ඡන්දෙ දිනෙව්වේ
ආයෙත් අපි රැවටුනොතින් ඉවරයි රාලේ
අල්ලලා හොරු ගිල්වමු අපි දියවන්නාවේ

ගතවූ වසර කිහිපය පුරාවට රටට සිදුවුණු දේ සාරාංශ ගත කරලා ඇඬෙන්නම දීලා තියෙනවා කියලා මේ ගීතය අහපු බොහෝ දෙනෙක් ප්‍රකාශ කරනවා එහෙම නේද?

ඔව්. එහෙම දෙයක් තියෙනවා. ඇත්තටම මේ නිර්මාණය තුළින් මිනිසුන්ගෙ හදවතට කතා කරලා තියෙනවා කියන්න පුළුවන් ලැබෙන ප්‍රතිචාරවලින්ම.

ඔබේ රසිකයන්ට ඇයි මේ වගේ නිර්මාණයක් දෙන්න හිතුවෙ?

රසිකයන් මගෙන් බලාපොරොත්තු වෙන්නෙත් දූෂණ, වංචා, හොරු ඇල්ලීම් වගේ දේවල්. ඒ නිසාම තමයි මේ ගීතය මා විසින්ම රචනා වුණේ. ඇඬෙන්නට දීලා කියලා කියනවනම් ඒ ගැන සතුටුයි. කොහොමත් මම මීට පෙරත් මෙවැනි කලා නිර්මාණ ඉදිරිපත් කළා. පාර්ලිමන්ට් ජෝක්ස්, වන්ෂොට්, ලීඩර් වැනි චිත්‍රපට කළා. ලංකාවෙ වැඩිම ජනතාවක් නැරඹූ චිත්‍රපටයක් තමයි පාර්ලිමන්ට් ජෝක්ස්. ඉතින් එදා ඒ නිර්මාණවලට තිබුණු ප්‍රතිචාර අද මේ නිර්මාණයටත් ඉතා ඉහළ ලෙස ලැබෙමින් පවතිනවා.

‘‘උන් ඔක්කොම යාළුවො මල්ලි’’ මෙය අද ඉතාම ජනප්‍රිය වෙලා තියෙනවා. ඇත්තටම ඒ වදන් පෙළින් ගීතයේ බිහිවීම ගැන කතා කළොත්?

මේ ගීතය සම්බන්ධ යෝජනාව මට මුලින්ම ගෙනාවෙ මෙහි තනු නිර්මාණය කළ චමිදු බණ්ඩාර. ඇත්තටම මම සිරගතවෙලා ආවට පස්සෙ ‘‘උන් ඔක්කොම යාළුවො මල්ලි’’ කියන කතාව ගොඩක් ජනප්‍රිය වුණා. ඉතින් ඒකත් එකතු කරගෙන මම ගී පද රචනයක් කළා. ඒ පද රචනයට චමිදුගෙ තනුව හොඳින්ම ගැලපුණා. ඒ විදියට කරපු ගීත නිර්මාණයට මියුසික් වීඩියෝව කළේ චාරුක දුෂ්‍යන්ත. ඉතින් අද වෙද්දි ගීතයට U Tube හරහාත් ටික්ටොක් හරහාත් ඉතාම ජනප්‍රියත්වයක් ලැබිලා තියෙනවා.

මෙය කලා නිර්මාණයක් වුවත් මේ තුළින් ඔබට නැවත ප්‍රශ්නයකට මුහුණපාන්න සිදුවේදෝ කියලා හිතුණෙ නැද්ද?

ඇත්තටම මෙය කලා නිර්මාණයක් නිසා මේ සම්බන්ධව චෝදනා කරන්න බැහැ. ඉහතින් සඳහන් කළා වගේ මීට පෙරත් මම මෙවැනි නිර්මාණ කරලා තියෙනවා. නමුත් මට ආරංචියක් ආවා ඉහළ තැන්වලින් මේ ගැන කතාවෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් පැමිණිලි කරලා තියෙනවා කියලා. නමුත් මේ සම්බන්ධව කාටවත් පැමිණිලි කරන්න බැහැ. මොකද මම කාගෙවත් නමක්, ගමක් සඳහන් කරලා නැහැ. මේ ගීතයට කලබල වෙන අය තමයි ඉතින් ඒ පැමිණිලි කරනවා ඇත්තේ. නමුත් ඉතින් අද රටම දන්නවා මේ හැම සිදුවීමක් ගැනම. මොකද අද මේ රටට වෙලා තියෙන විනාශය අපි ඇස් පනාපිටම දකිනවා. රට ණය බරින් ගිලිලා. ණය කාරයො වෙලා, අද ඉපදෙන දරුවා පවා ණයකාරයො වෙලා තියෙනවා. රටම බංකොළොත්. දූෂිත රාජ්‍යවලින් එකක් බවට පත්වෙලා තියෙනවා. සුරපුරයක් වගේ තියෙන මේ ලස්සන රට. මේ වගේ තැනකට පත් කරපු ඒ චරිතවලට තොප්පිය හරිනම් දාගන්න තමයි තියෙන්නෙ. ඇත්තටම මට මේ ගීතය මීට වඩා හොඳට ලියන්න පුළුවන්. නමුත් මට ඒ දේ දැන් කරන්න බැහැ. මොකද මම දැන් සිවිල් අයිතිවාසිකම් නැති මිනිහෙක්. මගේ ඇඟ බැඳලා තියෙන්නෙ. සිවිල් අයිතිවාසිකම් නැති මිනිහෙක් විදියට මගේ සීමාවේ ඉඳන් මේ ගීතය රචනා කළේ. ඒ නිසා ගීතය ගැන සම්පූර්ණයෙන් සතුටු නැහැ.

ඇඟ බැඳලා කියන්නෙ දැන් රන්ජන්ට දේශපාලනයත් තහනම්ද?

මට දේශපාලනය කරන්න ඡන්ද අයිතියක් නැහැ. මගේ ඇඟ බැඳලා. අත්හිටවූ සිර දඬුවමක ඉන්නෙ. මගේ තීරණයෙ තියෙන්නෙ හොඳින් හැසිරුණොත් අවුරුදු 5ක දඬුවමක් නොදුන්නා සේ සලකනවා කියලා. නමුත් ඉතින් මට කලා කටයුතු, ගීත ගායනය තහනම් නැහැ. 

අපේ රටේ හදන නීතිත් එක්ක එහෙම නීතියකුත් ගෙනෙයිද කියන්න බැහැ නේද?

ඒක ඉතින් මම ගීතයෙන්ම සඳහන් කරලා තියෙනවානෙ. මෙච්චර කල් නීති හැදුවෙ කව්ද කියන දේත්. අපේ රටේ ඇත්තටම භාෂණ නිදහස කියලා තිබුණත් ඒක අපිට නැහැ. වෙනත් රටවල කලා නිර්මාණවලට කිසිදු වාරණයක් නැහැ. තමන්ට කැමති විදියට නිර්මාණ කරන්න පුළුවන්. මයිකල් ජැක්සන්, බොබ් මාලේගේ දේශපාලන ගීත තියෙනවා. ඒ රටවල වාරණයක් නැහැ. අපේ රටෙත් එහෙම තිබිලා තියෙනවා. එකල විජය කුමාරතුංගයන් එවැනි ගීත ගායනා කරලා තියෙනවා.

කොහොමත් විජය කුමාරතුංගයන්ට පසුව ජනතාව ඔබව "Super Star” කරලා අවසන් නේද?

ඇත්තටම ඒ සහතිකයම මට වටිනවා. සමහර වෙලාවට ජනතාවගේ ඒ ආදරේ ගැන මට කියන්න බැරි තරම් සතුටුයි. මම සිරගතවෙලා ආවට පස්සෙ ජනතාවගේ ආදරෙත් එක්ක අනුකම්පාවක් ආවා. ඇත්ත කතා කරන්න ගිහින් මෙහෙම වුණේ කියලා. ඉතින් ඔවුන් කොහේදි මාව මුණ ගැහුණත් කතාබහ කරනවා. සෙල්ෆි ගන්නවා. ඒ ආදරේ, ආශිර්වාදයන් අඩුවක් නැහැ. ඒ හැමදේටම මම ඔවුන්ට සදා ණය ගැතියි.

ජනතාවට තියෙන ඒ ආදරය නිසාමද ඔබෙන් අවසානෙට ලියවෙන්නෙ.

‘‘ආයෙත් අපි රැවටුනොතින් ඉවරයි රාලේ
අල්ලලා හොරු ගිල්වමු අපි දියවන්නාවේ කියලා’’
අනිවාර් යෙන්ම ඔව්. මොකද මම කොහොමත් හැමදාම කියපු දෙයක් තමයි දේශපාලන පක්ෂවල ඒ ඒ නායකයන්ගෙ දේවල්වලට සමහර පිරිස් ගහ මරාගෙන, ඔළු පලාගෙන, ගෙවල් ගිනි තියාගෙන, වෙඩි තියාගෙන මරා කොටාගෙන විවිධ ගැටුම්කාරී සිදුවීම්වලට මුහුණ දෙනවා. ඒ නිසා තමයි කිව්වෙ ජනතාවට බොරුවට රණ්ඩු කරන්න එපා ඒ ඒ පක්ෂවල නායකයො ටික යාළුයි කියලා. ඒ නිසා තවත් ඉදිරියටත් රැවටෙන්නෙ නැතිව ඔවුන්ව ප්‍රතික්ෂේප කළොත් ජනතාව එකට එකතු වුණොත් මේ හොරු ටික දියවන්නාවේ ගිල්ලන්න පුළුවන් කියන දේ මම ප්‍රකාශ කළේ.

මේ කතාබහ අවසානයට පෙර දැනගන්න කැමතියි මේ වීඩියෝවෙ රතු පැහැති ඇඳුමක් සහ ඒ වර්ණයෙන් මෝටර් රථයක් පවා ඔබ භාවිතා කරනවා. මේ තුළින් යම්කිසි ඉඟියක්වත් ලබා දෙනවද?

අනේ නැහැ. ඇත්තටම ඒ රූප රචනාව කරපු චාරුක ෂාරුක් ඛාන්ගෙ ජවාන් Film එකේ ගීතයක් මේ වෙනුවෙන් Follow කළේ. මම කිසිදු දේශපාලන පක්ෂයක් නියෝජනය කරන්නෙ නැහැ. මම ස්වාධීන කලාකරුවෙක්. මට අවසාන වශයෙනුත් කියන්න තියෙන්නෙ ‘‘උන් ඔක්කොම යාළුවො මල්ලි’’ කියලා විතරයි. ජනතාවට රැවටෙන්න එපා කියලා තමයි කියන්නෙ. ඇත්තටම අද ජනතාව කොහොමත් බුද්ධිමත්. පසුගිය කාලෙ කොහොමත් මේ සිදුවෙන සියල්ල දරාගන්න බැරිව අරගලත් කළානෙ. ඒ අරගලයකින් තමයි මේ ක්‍රමය මැඩගන්න හැකිවෙන්නෙ.

ධනු විජේරත්න