ආදරය පවතින්නේ ගෞරවය සහ විශ්වාසය මතයි
පුංචි තිරයේදී බොහෝ විට ඇය අපට හමුවන්නේ, ආදරණීය අහිංසකාවියකගේ චරිතය සමගය. ලයාන්විත හඬක් හිමි ඇය, ආශා එදිරිසිංහ ය. මේ දිනවල ඇය අපට හමුවන්නේ, ධනුෂ්ක රත්නායකගේ ‘මන්දාරම් කතාවේ’ නාට්‍යයේ කවී සහ ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ ‘සර්කස්කාරයෝ’ නාට්‍යයේ මංජරී යන චරිතය සමගය. අද අපි ආශා සඳැල්ලට කැඳවූයේ ආදරණීය ආදර කතාබහක් වෙනුවෙනි.
ආශා, කොහොමද ජීවිතය? මොනවා ද විස්තර?
“ජීවිතය හොඳයි. සතුටින් ගෙවෙනවා. අලුත් ෆිල්ම් එකකත් රඟපෑමට සූදානමින් ඉන්නේ. එහි චරිතයට ලැහැස්ති වන අතරේ මගේ අධ්‍යාපන වැඩ පැත්තට ආයෙත් උනන්දු වෙමින් ඉන්නේ.”
තවමත් ඉගෙන ගැනීම් අත්හැරලා නැද්ද? ඉගෙන ගන්නෙ මොන විෂයයක් ගැන ද?
“මේ දිනවල මගේ උනන්දුව තොරතුරු තාක්ෂණ අංශයට.”
ඊට කලින් ඉගෙන ගත්තෙ?
“මට තියෙන්නෙ වාණිජවේදී (විශේෂ) උපාධිය. කැලණිය සරසවියෙන් ඒ උපාධිය ලැබුවේ. මෑතකදී සමාජ මාධ්‍ය අලෙවිකරණ අංශයේ ප්‍රවීණතා පාඨමාලාවක් හැදෑරුවා. තොරතුරු තාක්ෂණය මම ආසා කරන විෂයයක්. ඒ නිසා ඒ ගැන උනන්දුයි.”
ඉන් පස්සේ මොනවා ද කරන්න කල්පනාව?
“අපි මේ කරන අංශයට ඒවා වැදගත් වෙනවා. ඒ වගේම ඉගෙනීම් කරන්න මම හරි ආසයි. තොරතුරු තාක්ෂණය මොන විදිහට ගත්තත් ඉදිරියට වැදගත් වන අංශයක්. ඒ නිසා ඒ දැනුම වැදගත්.”
කළමනාකරණ අංශයෙන් හදාරා, ඇයි මේ කලා අංශයේ ඉන්නේ?
“ඒ ප්රශ්නය බොහෝ දෙනෙක් මගෙන් අහන දෙයක්. ඉගෙනීම් කරන්නෙ මගේ උනන්දුවට. කලාව මම ආසා කරන අංශය. පොඩි කාලයේ ඉඳලාම ළමා නිළියක ලෙස ආ නිසා මේ රංගන සහ නිර්මාණ කලාවට ආසයි.”
ආශා රංගනයේදී බොහෝම ආදරණීය බව පෙනෙනවා. සැබෑ ජීවිතයේදී ආදරයට කෙතරම් සංවේදී ද?
“ආදරය නැතුව කිසිම මිනිසකුට ජීවත් වෙන්න බැහැනේ. අපි ඉපදෙන්නෙම ආදරය හොයාගෙනනේ. අම්මා-තාත්තාගේ ආදරය වගේම ඊට එහා ආදර බැඳීම් සහ ලැබෙන ආදරය එක්ක තමයි අපි ජීවිතය අල්ලාගෙන යන්නේ. ආදරයේදී මම බොහොම සංවේදීයි. මම විශ්වාස කරන විදිහට මිනිසාට අපි ආදරය කරනවානේ. හුස්මක් ගානේ අපිට ආදරය අවශ්‍යයි. ආදරය ළඟදී අපි - අපට දැනෙන සිතුවිලිවලදී අවංක නම්, ඒක සෑම දෙයකටම යහපතක් වන බව මගේ විශ්වාසයයි.”
ඔබ හිතන විදිහට, ඒ ආදරය ඔබට ජීවිතයේ ලැබිලා තිබෙනවා ද?
“අනිවාර්යයෙන්ම ඔව්. මගේ අම්මා තාත්තා වගේම මගේ සහෝදරයාගෙන් ඒ ආදරය ලැබිලා තියෙනවා. ඒ වගේම යොවුන් ආදරය මම අත්විඳලා තියෙනවා. ඒ සෑම දෙයකින්ම පිරිසිදුව එය ලැබෙද්දී, අපේ සිතුවිලිත් පිරිසිදු වෙනවා. එහෙම නොවන විට එහි අනෙක් පැත්ත වෙන්නෙ. ස්වභාවයේ හැටි එහෙමනේ.”
අද තරුණ තරුණියන්ගේ ප්‍රේමය දකින්නෙ කොහොම ද? ප්‍රකාශ කරන විදිහ?
“අද බොහෝ දෙනෙක් පවතින ස්වභාවය එක්ක, සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් ප්‍රකාශ කරගන්න බව පෙනෙනවා. ඒ වගේම එක එක සිදුවීම් පවා අපි දකිනවා. ඒත් දෙයකට මුහුණ දුන්න කෙනා හැර, වෙන කිසිම කෙනකුට එය නිශ්චය කරන්න බැහැ. මොකද, ඒ සිදුවීමට මුහුණ දුන් කෙනා තමයි ඒ ගැන හරියටම දන්නේ. අද සිටින තරුණ පරම්පරාව එයාලාට දැනෙන විදිහට ආදරය විඳිනවා ඇති. මොන විදිහට හෝ අපි ඕනෑම කෙනෙක් ආදරය කරද්දී, ගෞරවය සහ විශ්වාසය කියන දේ පෙරදැරිව එය කරනවා නම් ඉතා හොඳයි. ආදරය පවතින්නේ ගෞරවය සහ විශ්වාසය මතයි. පිරිසිදු ආදරය කියන්නේ ඒ ස්වභාවයටයි.”
අපි සර්කස්කාරයෝ නාට්‍යයේ චරිතය ගැන කතා කරමු. මංජරී ආදරය කරන්නෙ හිරාන්ට. ඒත් හිරාන්ට මංජරී කෙරෙහි ආදරයක් නැති වග තමයි පෙනෙන්නේ. සැබෑ ජීවිතයේ ඔබට ඒ විදිහට මුහුණ දෙන්න වුණොත්?
“මම මංජරී නම්, හිරාන්ගෙන් අයින් වෙනවා. හේතුව හැටියට ගත්තොත්, මංජරී දැනගන්න ඕනෑ එයා හිරාන්ට ගැළපෙන්නෙ නැහැ කියන වග. ඒ චරිතය ගැන මට හිතෙන්නෙ එහෙමයි. හිරාන්ගේ විෂන් එක වෙනස්. මංජරීගේ විදිය වෙනස්.” ඒ නිසා දෙන්නා ගැලපෙන්නෙ නැහැ.
ආදරේ කළ දෙදෙනෙක් වෙන් විය යුතු නම්, එය කෙසේ විය යුතුයි කියලා ද හිතන්නේ?
“ඒ වෙන් වීමට ගරු කරලා වෙන් වීම වැදගත්. නැත්නම් දෙන්නාටම ජීවිතයක් නැහැනේ.”
ආදරය කරද්දි ඔබ ආදරේ කරන කෙනා වෙන කෙනකුට ආදරේ නම්? ඒ වගේ අවස්ථාවකදී ඔබ ගන්න තීන්දුව?
“එහෙම නම් අනිවාර්යයෙන්ම මගේ ආදරය පරිත්‍යාග කරනවා. එහෙම කරලා ඒ ආදරයට සමු දීලා අයින් වෙනවා. ඒ පරිත්‍යාගය කළ යුත්තේ විශේෂයෙන්ම තමුන් වෙනුවෙන්. තුන්කොන් ආදරයක් පවතින්න බැහැනේ. එක්කෙනෙක් එයින් ඉවත් විය යුත්තේ තමුන්ට වැඩිපුරම ආදරේ තමුන් නිසයි.”
ඔබ, ඔබව ආදරෙයෙන් රැකබලා ගන්න මොන වගේ දේ කරන්න ද කැමැති?
“ශාරීරිකවත්, මානසිකවත් මාව පෝෂණය කරගන්නවා. ඉස්සරහට ජීවත් විය යුතු විදිහ ගැන දැක්මක් තියෙනවා නම්, ඒ අරමුණට යන පාර හදාගන්න මම දැනගත යුතුයි.”
එදා යොවුන් ප්‍රේමයේදී ඔබ සිටි විදිහ ගැන අද කොහොම ද හිතෙන්නේ?
“මම හිතන්නේ එදා හිටපු තැන සම්පූර්ණයෙන්ම හරි නැහැ. වයසත් එක්ක තමයි අපිට ඒ ගැන තේරෙන්නෙ. ආදරය ගැන දැනිච්ච, වැටහීමේ ප්‍රමාණය එදාට සාපේක්ෂව අද වෙනස්. කෙනෙකුට ආදරයේදී දක්වන ගරුත්වය, අවංකකම සහ විශ්වාසය රැඳෙන තැන තමයි ආදරය පවතින්නේ. හැඟීම්වලට වහල් වෙලා තමන් කවුද යන වගත් ආදරය ළඟදී අමතක වෙනවා නම්, ඒක ඇත්තටම ආදරය නෙවෙයි. මට හිතෙන්නෙ එහෙමයි.”
මොන විදිහට හෝ ආදරය කරලා විවාහ වූ පසුව පෙර විදිහටම නොවෙනස්ව ආදරයෙන් බැඳී සිටින්න නම්? වෙනස් නොවී ආදරය තියා ගන්න නම්?
“ඔය අවස්ථාවට, විවාහයට හැමෝම වගේ මුහුණ දෙනවනේ. ඉතින් මම හිතන්නෙ, ආදරය කරන කෙනාව කොතරම් දුරට අවබෝධ කරගන්නවා ද, තේරුම් ගන්නවා ද කියන කාරණය මත එය තීරණය වෙන්නේ. එහිදී ආදරය කරන කෙනා වෙනුවෙන් කැපකිරීමක්, කැපවීමක් කරන්න වෙනවා. මම ඒ ගැන දන්නෙ නැහැ. මට දැනෙන විදිහ සහ එහෙම වුණොත් මම ක්‍රියා කරන විදිහ ගැන තමයි කිව්වෙ. එකිනෙකා සැක නොකර, විශ්වාසය කියන දේ එහිදී තිබිය යුතුමයි. සැබෑ ආදරයක් නම්, ප්‍රශ්න ඇති වුණොත් ඒවා කතා කර විසඳිය යුතු මට්ටමකට එන්න පුළුවන්කම තිබිය යුතුයි.”
සමහර ආදර සබඳතා ඛේදාන්තවලින් හමාර වෙන්නෙ? ඔබට හැඟෙන විදිහට ඇයි එහෙම වෙනවා ඇත්තෙ?
“පරිණත නැතිකම නිසා වෙන්න ඇති. සෑම කෙනෙක්ම පරිණත නොවන බව ඇත්ත. එක වගේ නොහිතන බව ඇත්ත. තේරුම් ගන්න මට්ටමත් වෙනස්. ඒ මට්ටම අනුවනෙ තීන්දු තීරණ ගන්නෙ. තව කෙනෙක්, දෙයක් ගැන අවබෝධ කරගැනීමේ හැකියාව නැති තැන සහ බුද්ධි මට්ටමට අනුව තමයි සියල්ල සිද්ධ වෙන්නෙ.”
අද දවසේ ඔබ ගෙවන ජීවිතය සහ හෙට දවස කොහොමද ජීවිතේ සැලසුම් කර තිබෙන්නේ?
“අනාගතය ගැන ගොඩාක්ම බලාපොරොත්තු ගොන්නක් නැහැ. යම්කිසි අරමුණක්, දැක්මක් තියෙනවා. මේ මොහොතෙ කොහොම ද ජීවත් විය යුත්තේ කියලා හිතන කෙනෙක්.”
ජීවිතේ ඔබ රස විඳින්නෙ මොන වගේ දේ සමග ද?
“මගේ මේ ක්ෂේත්රයේ වැඩ කටයුතු එක්ක ජීවිතය විඳිනවා. ඊට අමතරව සිත නිවෙන දේ එක්ක තමයි මම ජීවිතය රස විඳින්නේ. මොන තරම් දේ තිබුණත්, හිත කැළඹිලා නම්, ඒ මොහොත සතුටින් ගෙවන්න බැහැ. සැනසුම සහ සතුට ලබන සහ ලැබිය යුතු විදිහ ගැන මම තවදුරටත් සොයමින් සිටින කෙනෙක්. ගීත ඇසීම, නැරැඹීම, කියවීම මේ සියල්ල වෙතින් හිත නිවන දේ සහ සැහැල්ලුවෙන් තියා ගැනීමනෙ අපි කාගෙත් අරමුණ. ඉතින් මාත් ඒ වගේ කලාවේ දේ රස විඳින අතරේ ආධ්‍යාත්මික දේ ගැනත් හිතනවා.”
සඳුන් ගමගේ
හැඩගැන්වීම් - රුවිඳු උඩුවරගේ
පසුතලය – සෝලිස් පිටකෝට්ටේ