අවුරුදු වලින් ජීවිතය ගණන් හැදුවාට මිනිස්සු තත්පරයත් ගෙවාගන්නෙ අමාරුවෙන්
Q ඔබ විසින් අධ්‍යක්ෂණය කළ "තත්පරයක් දෙන්න" ටෙලිනාට්‍ය මේ දිනවල හරිම ජනප්‍රිය නාට්‍යයක් බවට පත්වෙලා තියෙනවා. "තත්පරයක් දෙන්න" නිර්මාණය බිහිවෙන්නේ කොහොමද?
මම මාධ්‍ය ක්‍ෂේත්‍රයට එකතු වෙන්නේ මීට අවුරුදු විසි දෙකකට කලින්. මේ අවුරුදු විසි ගාණ තුළදී මට හමුවුණු යාළුවන් අතරින් එක යාළුවෙක් තමයි රසික සූරවීරආරච්චි කියන්නේ. ඒ වෙද්දිත් ඔහු සම්මානනීය තිර පිටපත් රචකයෙක්. ඒ කාලේ මම අධ්‍යක්ෂකවරයෙක් වෙන්න පෙරුම් පුරාගෙන ඒ වෙනුවෙන් පුහුණුව ලබමින් හිටියේ. එතකොට මගේ නිෂ්පාදකවරයා වන චින්තක රුවන් රණවීර නිර්මාණ අධ්‍යක්ෂවරයෙක් විදිහට වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයේ ඉතා හොඳ තැනක හිටියේ. අපි මුණගැහෙන හැම මොහොතකම අපි තුන්දෙනා කතා කළේ "අපි එකතුවෙලා වැඩක් කරමු" කියලයි. නමුත් කාලයත් එක්ක ඒක දවසින් දවස කල් ගියා. එක දවසක් රසිකයි මමයි කතා කරමින් ඉන්න අතරෙදි රසික හිරේ ඉන්න කාන්තාවන් ගැන එක්තරා කතාවක් කිව්වා. රසික කතාවේ සාරංශය කියද්දි මට ඒ විෂුවල් එක හිතේ මැවුණා. කොහොම හරි අපේ නිෂ්පාදක රුවන් "මම කැමතියි මේක නිෂ්පාදනය කරන්න" කියලා කිව්වා.
Q සුපුන් මේක හිතන්න බැරි තරම් දැවැන්ත නිර්මාණයක්?
ඔව්. අපේ නිෂ්පාදක රුවන්ට තිබුණු සමාජ සම්බන්ධතාත් එක්ක "මේක කරන්න පුළුවන් එකම නිෂ්පාදක ඔහු" කියලා අපි තේරුම් ගත්තා. ඒකට අවශ්‍ය කරන වාහන ගැන බැලුවත් ලේසි පහසු වාහන නෙවෙයි. බන්ධනාගාර බස්, ඇම්බියුලන්ස්, පොලිස් ජීප්, විවිධ වාහන මේකට අවශ්‍ය වුණා. නමුත් නිෂ්පාදකට තිබෙන මහජන සම්බන්ධතා නිසා ඔහු ඒවා හැම දෙයක්ම ඉක්මනට එකතු කර ගත්තා. ඒ අතරතුරේ රසික පිටපත ලියන්න පටන් ගත්තා. අපි දීර්ඝ ලෙසින් පිටපත ගැන සාකච්ඡා කළා. අපි තුන්දෙනාම එකතුවෙලා තමයි සියලුම නළු නිළියන් තෝරා ගත්තේ. එහෙම ගොඩනැගිච්ච නිර්මාණයක් තමයි ඔය "තත්පරයක් දෙන්න" ලෙසින් අද එළි දක්වලා තියෙන්නේ.
Q "තත්පරයක් දෙන්න" කියන නම හිතුමතේට දාපු නමක් නෙවෙයි නේද?
හරියට හරි. තත්පරයක් දෙන්නේ නැති නිසා නේද හැම ප්‍රශ්නයක්ම ඇතිවෙන්නේ. අපි ජීවිතේ කී දෙනෙක්ගෙන් ඉල්ලලා තියෙනවද "තත්පරයක් දෙන්න මට" කියලා. ඇත්තම කිව්වොත් මේක ආවට ගියාට දාපු නමක් නෙවෙයි. කෙනෙක් තමන්ට යමක් තේරුම් ගන්න වෙලාවක් ඉල්ලනවනේ. හැබැයි අපි අනිත් කෙනාට වෙලාවක් දෙන්න ඉවසන්නේ නැහැ. අපි සූදානම් වෙලා ප්‍රශ්න අහනවා. හැබැයි අනිත් කෙනාට සූදානම් වෙන්න වෙලාවක් දෙන්නෙ නැහැ. ලෝකයේ බොහෝ ප්‍රශ්න ඇතිවෙන්නේ ඇහුම්කන් දීම නැති නිසයි.
Q නිර්මාණයේ චරිතවලට නළු නිළියන් තෝරා ගත්තේ කොහොමද?
මම මුලින්ම පිටපතක් කියවද්දි එක චරිතයකට සුදුසු පස් දෙනෙක්ගේ පමණ නම් පොතක ලියා ගන්නවා. කොහොම හරි මම ඒකෙන් දෙන්නෙක් විතර ඉතිරි කරගන්නවා. ඒ දෙන්නගෙන් හොඳම කෙනා කවුද කියලා අවසානයේදි කල්පනා කරනවා. "තත්පරයක් දෙන්න" නිර්මාණයේදි පිටපත් රචකයා, මම සහ නිෂ්පාදකවරයා පිටපත හොඳටම කියවලා අපි එක චරිතයකට නළු නිළියන් තුන්දෙනා බැගින් වෙන වෙනම පොතක ලියා ගත්තා. ඒකෙදි පූජනීගේ චරිතයට අපි තුන් දෙනාගේම අතින් තරින්දිව ලියැවිලා තිබුණා. ඒ වගේම සේමිණී අක්කව ලියැවිලා තිබුණා. දමිතා අක්කාව ලියැවිලා තිබුණා. චරිතවලට වුණත් අපි තෝරාගත්තේ තුන්දෙනාගෙම කැමැත්තෙන්. වන්නකුගේ චරිතයට රඟපාන සමන්ත පරණලියනගේ ඉතා විශිෂ්ට වේදිකා නාට්‍ය නළුවෙක්. සමහර චරිත සඳහා අපි තිර පරීක්ෂණ පවා පැවැත්වුවා.
Q “තත්පරයක් දෙන්න" කොටස් පනස් නවයෙන් අවසාන වෙයිද?
මුලින්ම අපිත් කොටස් පනස් නවයකින් අවසන් කරන්නයි හිතුවේ. හැබැයි දැන් තත්පර හැට පහකට අඩුවෙන් ඉවර කරන්න හිතලා තියෙනවා. හේතුව තමයි අපි තත්පර හැටෙන් පස්සේ තත්පරය ගණන් ගන්නෙ නැහැ. එතැනින් පස්සේ විනාඩියත් එක්ක තමයි ගනුදෙනු කරන්නේ. වයස ගෙවෙන්නේ අවුරුදුවලින් වුණාට ජීවත් වෙන්නෙ තත්පර වලින්. අපිට තත්පරයක් ගෙවා ගන්න කොයි තරම් අමාරුද? හිතන්න.. ට්‍රුෆික් එහෙකදි තත්පරයක් ගෙවාගන්න කොච්චර අමාරුද? කහ පාට ලයිට් එක වැටෙද්දිම පිටිපස්සෙ එක්කෙනා හෝන් ගහනවා. තත්පරයක් ගෙවාගන්න අමාරු මිනිස්සු ජීවිතේ ගත කරන්නේ අවුරුදුවලින්. ඒ නිසා මේකත් තත්පර පනස් නවයකින් නෙවෙයි තත්පර හැට පහකින් ඉවර කරන්න අපි හිතුවා.
Q මේ දවස්වල "තත්පරයක් දෙන්න" නිර්මාණයට අමතරව "ලලයි ලිලයි ලයි" එක්කත් වැඩ නේද?
ඔව්. "ලලයි ලිලයි ලයි" ටෙලිනාට්‍යත් මේ දවස්වල විකාශනය වෙනවා. ඒකේ අධ්‍යක්ෂකවරයාත් මම. පිටපත් රචකයාත් රසිකම තමයි. "තත්පරයක් දෙන්න" වැඩත් කරන අතරේ තවත් වෙනස් විදිහේ නිර්මාණයක් කරන්න අපිට ඕනෑ වුණා. ඉතින් අපි ඒක කළා. ඒ නිර්මාණය නිෂ්පාදනය කරන්නේ venus නිෂ්පාදන කණ්ඩායමයි.
Q සුපුන්... ඔයාගේ පෞද්ගලික ජීවිතේ ගැනත් ටිකක් කියන්න?
මම විවාහකයි. අපිට දුවෙක් සහ පුතෙක් ඉන්නවා. ලොකු දුව හය වසරේ ඉගෙන ගන්නවා. පොඩි පුතා හතර වසරේ ඉගෙන ගන්නවා. මගේ බිරිඳ වරලත් ගණකාධිකාරිවරියක්. ඇය ලංකාවේ ප්‍රසිද්ධ ආයතනයක ඉහළ තනතුරක සේවය කරනවා.
Q කලාකරුවෙක් වීම පුංචි කාලේ දැකපු හීනයක්ද?
පැහැදිලිවම. අපි කවුරු වෙන්නද ආසා කියලා පුංචි කාලේ ඇහුවාම බොහෝ දෙනා කියන්නේ ඩොක්ටර් කෙනෙක් වෙන්න, ලෝයර් කෙනෙක් වෙන්න කියලා. මාත් චූටිම කාලේ එහෙම කියන්න ඇති. හැබැයි මම හය වසර හත වසර වෙද්දි ආසා කළේ අධ්‍යක්ෂකවරයෙක් විදියට මේ ක්ෂේත්‍රයටයි. ඒක ඇතුළෙ මට මැච් එකක් ගහන්න පුළුවන් වෙයි කියලා මම හිතුවා. අට වසර වෙද්දි ඒක උණ සන්නිපාත රෝගය ලෙසින් වැළඳුණා. ඒලෙවල් ඉවර වෙද්දි මම මේ ක්ෂේත්‍රයට අඩිය තියලා ඉවරයි.
I දිශානි