අවුරුදු එකොළහේදී තමා මුලින්ම ප්‍රසංග වේදිකාවට නැග්ගේ මම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වනවිට ප්‍රසංග වේදිකාවේ නිතර දකින ළමා ගායිකාවකට අප මෙවර ඉඩක් වෙන් කළා. ඇය නමින් ශෙනුකා නෙශානිය. තවමත් පාසල් අධ්‍යාපනය ලබමින් සිටින ශෙනුකා නුදුරේම ඇයගේ ගීතයක්ද එළිදැක්වීමට සුදානමින් සිටියි. මේ දිග හැරෙන්නේ ශෙනුකා අප සමග කළ කතා බහයි.

ශෙනුකා ගායිකාවක් වුනේ කොහොමද?

දවසක් මම සහභාගි වුණ ප්‍රියසම්භාෂන උත්සවයකදි අහම්බෙන් ගීතයක් ගායනා කරන්න අවස්ථාවක් ලැබුණා. ඒක අහපු ගායන ශිල්පි සුනිල් ප්‍රනාන්දු මාමා මාව ප්‍රසංග වේදිකාව ගීත ගායනා කරන්න සම්බන්ධ කළා. එතැනින් තමයි මගේ ගායන දිවියේ ආරම්භය සිද්ධ වුණේ.

ඔබ දැන් ප්‍රසංග වේදිකාවෙත් නිතර දකින කෙනෙක්?

මම මුලින්ම ගීතයක් කියන්න ප්‍රසංග වේදිකාවට පිවිසුණේ මට වයස අවුරුදු එකොළහේදී. දළුවකොටුව දුම්රිය මාර්ගයට යාබදව තිබුණ පුංචි නත්තල් ප්‍රසංගයකට. එතැනින් පස්සේ මට දිගින් දිගටම ප්‍රසංග වේදිකා සඳහා සම්බන්ධ වෙන්න අවස්ථා ලැබුණා. මගේ මතක හැටියට දැනට මම ප්‍රසංග වේදිකා 10කට 12කට වගේ ගීත ගායන්න සහභාගි වෙලා තියෙනවා. ගොඩක්ම මට ලැබුණේ කොළඹ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රසංග.  මොකද මම තවම ළමා ගායිකාවක් හින්දා. හැබැයි මගේ බලාපොරොත්තුවක් තියෙනවා ඉදිරියේදී ලංකාව පුරා තියෙන ප්‍රසංගවලට සහභාගී වෙන්න.

ශෙනුකාගේම ගීතයක් අපිට අහන්න ලැබෙන්නේ කවදද?

බොහෝ දුරට තව මාසයකින් විතර මගේ ගීතයක් මම නිකුත් කරන්න අදහස් කරමින් ඉන්නවා. මොකද, මගේ උපන්දිනය එනවා ලබන මාසේ. ඒ දවසත් මුලීක කරගෙන තමයි අලුත් ගීතය නිකුත් කරන්න හිතාගෙන ඉන්නේ. දැනට එහි මුලික වැඩ කටයුතු ටික මේ දිනවල කරගෙන යනවා. ඒ වගේම තවත් කිහිප දෙනෙක් කතා කළා ගීත කිහිපයක් කරන්න. ඉදිරියේදි ඒ නිර්මාණවලටත් සම්බන්ධ වෙලා වැඩ කරන්න හිතාගෙන ඉන්නවා.

ලංකාවේ ගොඩක් දැන් රියැලට් තරග තියෙනවා?

මම දැනට ඒවාට සම්බන්ධ වෙලා නැහැ. නමුත්, මම හිතාගෙන ඉන්නවා මගේ වයසත් එක්ක ඉදිරියේදී ඒවාට සහභාගි වෙන්න. දැනට මම මුලික අවධානය යොමු කරලා තියෙන්නේ මගේ අධ්‍යාපන කටයුතුවලට. ඊට පස්සේ මම හිතාගෙන ඉන්නවා රියලැටි තරග සඳහා ඉදිරිපත් වෙන්න.

ප්‍රසංග වේදිකාවේදි ඔබ වැඩිපුරම ගායනා කරන්නේ?

ශෂිකා නිසංසලා මහත්මියගේ ගීත. මොකද, ගොඩක් අය කියනවා ඇයගේ හඬට හොඳට ගැළපෙනවා කියලා. මම ආසයි ඇයගේ ඔබ හමු වුන දා.. කියන ගීතය. ප්‍රසංග වේදිකාවේදි මම අනිවාර්යයෙන්ම ඇයගේ ගීත කිහිපයක්ම කියනවා.  

කෙටි කාලයක් තුළදී ආපු ගමන ගැන?

මම දැන් ප්‍රසංග වේදිකාවේ ගීත ගයන්න සම්බන්ධ වෙලා වසර දෙකක් විතර ඇති. මේ කාලය තුළදී ළමා ගායිකාවක් විදිහට විවිධ අත්දැකීම් ලබාගන්න මට පුළුවන් වුණා. ඒ වගේම රසික, රසිකාවියන්ගෙන් ඉහළම ප්‍රතිචාර මට ප්‍රසංග වේදිකාවේදී ලැබුණා. මේ මොහොතේදී මා විශේෂයෙන්ම ස්තුති කරන්න ඕනා මාව ගායිකාවක් විදිහට ඉදිරියට එන්න අතදුන්න ගායක සුනිල් ප්‍රනාන්ඳු මාමාට. ඒ වගේම මගේ අම්මා, තාත්තා, අක්කා හා අයියාට. තව මට මේ ගමන එන්න බොහෝ දෙනෙක් උදව් කළා. ඒ හැමෝටම බොහෝම ස්තුතියි.