අවුරුදු 36 ක් කටයුතු කළේ ගුරුවරයකු ලෙස. අන්තිමට මම සේවය කළේ පානදුර මම ඉගෙන ගත්ත පාසලක.
වේදිකාව ඔහුගේ ආත්මය මෙනි. ඔහු රංගනය පටන් ගත්තේ වේදිකාවෙන්ය. ටෙලිනාට්‍ය හා විටෙක සිනමා රංගනයටද දායක වුවද මේ ප්‍රවීණයා වේදකාවට එදා මෙන්ම අද ද පෙමින් වෙලී සිටින බව කිව හැකිය. මේ ප්‍රවීණයා ගැන ඔබට අමුතුවෙන් හැඳින්වීම් කළ යුතු නැහැනෙ. රංගනයට පමණක් නොවේ සංගීත අධ්‍යක්ෂණයෙන් ද වේදිකාව රස කළ මේ රසවතා හිතවතා, වෘත්තීයව ප්‍රධානව කටයුතු කළේ ගෞරවනීය ගුරු වෘත්තිය හා බැඳී ගුරුවරයකු ලෙසය. ඒ අනුව පරපුරකට දැනුම මෙන්ම රසය බෙදා දුන් මිනිසකු ලෙස සරත් කුලාංග ප්‍රවීණයා අපට හැඳින්විය හැකිය. සුපුරුදු පරිදි වේදිකා නාට්‍ය සහ මේ දිනවල විකාශය කෙරෙන ටෙලි නාට්‍ය කීපයක් ඔස්සේ අපට හමුවන සරත් වසන්තයේදී අපට හමු වූ විදියයි මේ.
සකු කියලා ඇයි ඔබට යාළුවෝ කතා කරන්නෙ?
සරත් කුලාංග කියන එක කෙටි කරලා ස.කු කියලා එයාලා දාගෙන. ජනක් ප්‍රේමලාල් වගේ යාළුවෝ තමයි එහෙම කතා කරන්නෙ.
මේ දිනවල රඟපාන චරිත ගැන සඳහන් කළොත්?
ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගෙ කෝලම්කුට්ටමේ සිරිමාන්න, සඳුන් රාජකරුණාගේ නීලපබළු නාට්‍යයේ, රෆියෙල්, ඉන්දික ධර්මතිලකගෙ මැස්සා නාට්‍යයේ පොලිස් සාජන්ට්වරයෙක්, අමතරව අලුත් නාට්‍යයක රූගත කිරීම්වලට දායක වෙනවා. ඒ ඔක්කෝටම අමතරව, වේදිකාවේ නාට්‍ය කීපයක රඟපානවා. අද වේදිකාව ආයෙත් සක්‍රීය වීගෙන එන සුබ අවස්ථාවක්. ජනක් ප්රේමලාල්ගෙ රාජකපුරු, අබුද්දස්ස කෝලම, දයානන්ද ගුණවර්ධන මහතාගේ ජසයා සහ ලෙන්චිනා, ප්‍රියන්ත රංජන්ගෙ මල්වඩම් අනවශ්‍යයි. රූකඩ රාජ්ජේ සහ අතුල සමරවීරගේ සූටිගමරාළ හා රයිගම් බණ්ඩාර, ඊට අමතරව මගේ දෙයියොත් දන්නෑ නාට්‍යය වේදිකාගත වෙනවා.
ස.කු ට මේ ඔක්කෝම කරගෙන යන්න කාලය තියෙනවද?
වෙලාව කළමනාකරණය කරගැනීම කරන්නම වෙනවා. තවත් වේදිකා නාට්‍යයකට ආරාධනා ලැබුණා. ඒත් බාරගන්නෙ නැත්තෙ කාලය අඩු නිසයි. මේ තියෙන ටික එතකොට කළමනාකරණය කරගන්න බැරිවෙනවා, එතකොට වෙන්නෙ දොඩංගොඩ බදාගත්තා වගේ වැඩක්.
එතකොට ගුරු වෘත්තිය?
අවුරුදු 36 ක් කටයුතු කළේ ගුරුවරයකු ලෙස. අන්තිමට මම සේවය කළේ පානදුර මම ඉගෙන ගත්ත පාසලක. එහි සහකාර විදුහල්පති ලෙස ඉඳලා තමයි විශ්‍රාම ගියේ. පාසල් වෘත්තීය ජීවිතය ගත්තාම හරිම සතුටක් දැනෙන්නෙ. අමතරව නාට්‍ය හා රංග කලාව දීලා තියෙනවා. ඒත් සත පහක්වත් අරන් නෙවෙයි. ඒ නිසා හරිම සතුටක්.
කාලයක් දේශපාලනයත් කළා නේද?
දේශපාලනයට අනියමින් හෝ නියමින් ගෑවෙනවා, ඒක අපේ සමාජයේ හැටි. වතාවක ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් දැන්වීමකටත් පෙනී සිටියා, නමුත් කලාකරුවා කියන්නේ දේශපාලකයාටත් වඩා ඉහළින් සිටිය යුතු කෙනෙක්.
ස.කු. ගෙ ගෙදර ජීවිතය?
මගේ බිරිඳ සේවය කළේ වරාය අධිකාරියේ. දැන් එයත් විශ්‍රාමිකයි. මට දරුවො දෙන්නයි. දුවයි පුතයි. දුව දැනට ශ්‍රී සුමංගල පිරිමි විද්‍යාලයේ උසස් පෙළ අංශය බාරව කටයුතු කරනවා. ඊට අමතරව බාහිර කථිකාචාර්යවරියක් හැටියටත් කටයුතු කරනවා. පුතා කාගිල්ස් බැංකුවේ සහකාර කළමනාකරුවකු ලෙස සේවය කරනවා. ඒ දෙන්නම විවාහකයි. දුව විවාහ වෙලා ඉන්නෙ සම්මානනීය දක්ෂ අංගරචනා ශිල්පියකු සමග. පුතා විවාහ වෙලා ඉන්නෙ තානාපති කාර්යාලයක සේවය කරන නිලධාරිනියක් සමග.
බිරිඳයි, සරතුයි නිදහස් ජීවිතයක් ගත කරන්නෙ?
ඇත්ත. ඒත් වෙලාවකට ගෙදරට වඩා කලා කටයුතු නිසා පිට යන්න වෙනවා. මෑතකදී වාරියපොළ දුෂ්කර ප්‍රදේශයකට ගිහින් වැඩමුළුවක් කළා. ඒ වගේ සමාජ සේවා වැඩත් කෙරෙනවා. තිඹිරියාගම බණ්ඩාරත්, අපේ හාමුදුරු නමකුත් ඒ වැඩේට එකතුවුණා.
ඔබගෙ බිරිඳ නිලන්ති මාලා හමුවූ අතීතය සිහිපත් කරමුද? එදා කොහොමද ඒ පෙම් කතාව පටන්ගත්තෙ?
ඒක පාසල් ප්‍රේමයක්. පසුව ඒක නැවතුණා. ආයේ අපි ජොබ් කරන කාලයේදී ප්‍රේමය යලි පටන් ගත්තා. ඊට පස්සෙ ගෙවල්වල කැමැත්ත ඇතිව විවාහය ගත්තා.
ඒ කියන්නෙ ඒක පතාගෙන ආ ප්‍රේමයක්ද?
භවයක් කියන දේ විශ්වාස කරන්නෙ නැහැ. දෙන්නාගේ දැන හැඳිනීම එක්ක ඒ සියලු දේ සිදුවුණා.
ආදරය ඔබ කොහොමද විග්රහ කරන්නෙ?
ආදරය කියන්නෙ පුදන්න ඕනෑ දෙයක් මිස ලබාගත යුතු දෙයක් නෙවෙයි. ඒක හරියට පින වගේ දෙයක්. අපි දුගියකුට සල්ලි හෝ ආහාර දුන්නාය කියලා හිතමු. ඒක දුන්නා එතැනින් ඉවරයි. ඒක දුන්නාය කියලා අපි අපටම පින පින කියලා දෙයක් ගැන හිතුවොත් ඒක ආත්මාර්ථකාමී කියලයි මම හිතන්නෙ. ආදරෙත් ඒ හා සමානයි. පෙරළා එහෙමම ලබාගත යුතුයි කියන තැන මම නැහැ.
සරත් කුලාංග නොහොත් ස.කු රංගනයෙන් රස වින්ඳනයක් ලබාදුන් ශිල්පියෙක්. ඔබගේ ඒ රංගන දිවියේ රස මතක ගැන කතා කළොත් මුලින්ම යන්නෙ කොතැනටද?
කලාවේ මම මොන පැත්තෙද ඉන්නෙ කියමින් සොයා යන ගමනේදී, පාසල් කාලයේදීම මම කළේ සතුට පත්තරේට චිත්‍ර ඇඳපු එක. ඒ විදියට චිත්‍ර කලාව එක්ක සිටි මම උසස් පෙළ කරන්න හොරණ තක්ෂිලාවට ගියාට පස්සෙ තමයි මගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වුණේ. ඒක දිව්‍ය විමානයක් කියලයි මට හිතෙන්නෙ. මගේ මුළු ජීවිත ගමනම වෙනස් වුණේ එතැනින්. මම දෙවැනියට උපන්නෙ එතැනින්. ගාමිණී හත්තොටුවේගම වැනි කලාකරුවො එහි සිටියා. රෝහණ බැද්දගේ වගේ ප්රවීනයින් හිටියා. ජනක් ප්‍රේමලාල් එක්ක එකතුවෙලා තමයි අපි නාට්‍ය කළේ. ජනක් ප්‍රේමලාල් කලාකරුවා එක්ක මගේ තියෙන ඒ මිත්‍රත්වයේ බැඳීම 1976 දක්වා දිව යනවා. ඒ පටන්ගත් අතීතය හරිම සුන්දරයි. සමහරදාට අපි නාට්‍ය පෙන්වන්න ගියේ බක්කි කරත්තවල බඩු පටවාගෙන ගිහිල්ලා. ඒ දවස්වල ඉතින් අපි කවුද කියලා කවුරුවත් දන්නෙත් නැහැනෙ. අබුද්දස්ස කෝලම මුලින්ම කරන්න අපි හොරණ පළාතේ ගියේ බරකරත්තවල නාට්‍ය කණ්ඩායමේ බඩු පටවාගෙන. හොරණ සිට බුලත්සිංහලට වගේ ගිය හැටි මතකයි, ටික දුරක් අපිත් කරත්තයෙන් යනවා. ආයෙත් පයින් යනවා. රෑ එළිවෙනකල් එහෙම ගිය හැටි මතකයි. වාහනවල යන්න වත්කමක් අපට තිබුණෙ නැහැ. ඒ වගේම මුල් කාලයේදී කොළඹ නාට්‍ය පෙන්වද්දි, පෝස්ටර් ගහ ගන්න ගියෙත් අපි. අපිට කිව්වෙ හොරණ නාට්‍ය කණ්ඩායම කියලයි. මොකද ඒ පළාත මුල්කරගෙන කලාකරුවන් පිරිසක් සිටි නිසා. පසු කලෙක අබුද්දස්ස කෝලම රැගෙන ලංකාවේ නොගිය තැනක් නැති තරම්. සමහර නගරවල ප්‍රථම වතාවට තමයි නාට්‍යයක් පෙන්නුවේ. ඒ අපේ අබුද්දස්ස කෝලම. 1983 දී යෞවන සම්මාන 12 ක් ලැබීමත් සමග කණ්ඩායම සරුවුණා. මට හොඳම සංගීත අධ්යක්ෂණයට සම්මානයත් එදා ලැබුණා. ජනක් ප්‍රේමලාල් කියන්නෙ කණ්ඩායමක් මෙහෙයවන්න පුළුවන් හොඳ නායකයෙක්. එයා එක්ක අපි ඒ ගමන ආවා. අදටත් එහෙමයි. තවමත් රාජකපුරු සහ අබුදස්ස කෝලම රඟ දක්වනවා. තවමත් වැඩි හරියක්ම එහි ඉන්නෙ එදා හිටපු ශිල්පීන්මයි. මුලින්ම අබුදස්ස කෝලම වේදිකාගත වුණේ ගිරිදිවයින නමින්.
දවසක් හරි අපූරු සිදුවීමක් වුණා. එදා අපි රාජකපුරු රඟදක්වමින් හිටියෙ. ඔන්න එක පාරටම වේදිකාවේ වහලයට ගල් වැලි වරුසාවක් වැටෙන්න පටන් ගත්තා. ඉතින් අපි නාට්‍ය නැවැත්තුවා. කවුද මේ ගල් ගහලා මේ වැඩේ කඩාකප්පල් කළේ බලන්න. බැලින්නම් ඒ වැඩේ කරලා තිබුණෙ ජනක් ප්‍රේමලාල් සහ තව කෙනෙක්. තමන්ගෙම නාට්‍යයට ගල් ගැසූ ලෝකයේ එකම නාට්‍ය නිෂ්පාදකවරයා ඔහු වෙන්න ඇති. එදා නාට්‍ය බලන්න ආපු පිරිස අතර අන්තිම පේලියෙ පිරිසක් හිටියලු. නිකන් නෙවේ, කන බොන පිරිසක්. මෙයාලා නාට්‍ය බලනවාට වඩා බොන අතරේ මහා සද්දෙට කතාවලු. ඉතින් ඔන්න ඕක නවත්වන්න තමයි ජනක් එහෙම කරලා තියෙන්නෙ. පස්සෙ ඒ සද්ද දාපු අය සද්ද නතර කරලා යන්න ගිහින්. නාට්‍ය හැදීම වගේම නාට්‍ය පෙන්වීම වගේම නාට්‍ය නැරඹීමේ සංස්කෘතියකුත් තිබීම වැදගත්. මොකද ලංකාවේ ඒ සංස්කෘතිය අඩුයි. එදා ජනක් කළ තැනට සුදුසු නුවණ පාවිච්චි කිරීම නිසා රඟහලේ බොමින් සිටි අය සද්ද වහලා යන්න ගිය හැටි අපට තවම මතකයි.
යුද්ධය පැවැති කාලයේදී අපි නාට්‍ය අරගෙන කරෙයිනගර්, කන්කසන්තුරය, කයිට්ස් වගේ පළාත්වල ගියා. රණවිරුවන්ට නාට්‍යය පෙන්වූවේ. එදා නාට්‍ය නරඹන්න ආවේ නිල ඇඳුම් ඇඳගත් රණවිරුවන්. ඒ ඇඳුමින් ශාලාව පිරී තිබියදී වෙනමම හැඟීමක් ඇතිවුණේ. කැමා ඇඳුම (Comouflage) ශාලාව පුරා දකිද්දි ඒක වෙනමම දර්ශනයක්. ඒක කවදාවත් මට අමතක වෙන්නෙ නැහැ.
ඒ වගේම රාජකපුරු එක්ක අපි ඔස්ට්‍රේලියා ගිය ගමනත් අමතක වන්නෙ නැහැ.
හොඳයි ස.කු මේ රස මතක පොත පුරා ඇති තවත් පිටු අපි වෙනත් දවසක ආයෙත් කතා කරමු, තවත් මොනවද මේ හමුවෙදි ඔබට කියන්න තියෙන්නෙ?
රඟපෑම ගැන කතා කළොත් සමහර අය කෝල් කරලා අපෙන් අහන්නෙ අවස්ථාවක් දෙනවද කියලයි. ලෝකයේ රඟපෑම හදාරන්නෙ නැතුව රංගනය කරන්න එන්නෙ ලංකාවේ විතරයි. රථයක් පදින්න පුරුදු විය යුතු වගේ රඟපාන්නත් පුරුදු වෙලා එනවා නම් හොඳයි. ආසාවන් අපි හැමෝටම තියෙනවා. ඒත් ආසාව විතරක් මදි. සල්ලි දීලා රඟපාන්න එන අයත් ඉන්නවා. ඒ වගේ දේ විය යුතු නැහැ. මේ වගේ දේට හසුවෙන්න එපා කියන පණිවුඩය මම සමාජයට කියන්න කැමතියි.
සඳුන් ගමගේ