අලියාගේ ඔළුව දැකපු ගමන් ජැක්සන් පොඩි අයියේ අලියෙක් අලියෙක් කියලා මම කෑගැහැව්වා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රාගම පොඩි වී කුඹුරේ පස් දෙනකුගෙන් යුත් ඇන්තනී පවුලේ හතරවැන්නා වූ සමන් ඇන්තනී මීට දශක ගණනකට එපිටදී ලාංකීය වේදිකා නාට්‍ය හරහා රංගනයට ගොඩවූ රංගන ශිල්පියෙකි.

ලාංකීය කලාව තුළ නිතර ඔහු මුණ නොගැසුණත් වසර ගණනක සිට පදිංචිව සිටි ඉතාලියේ සිනමාව, වේදිකාව තුළ ප්‍රේක්ෂක ජනාදරය දිනාගත් කලාකරුවෙකි. කොහොම නමුත් ලාංකිය කලාව තුළ සමන් ඇන්තනී මෑත කාලීනව කරළියට එන්නේ සෝමරත්න දිසානායකයන්ගේ සිංහබාහු සිනමාපටය සමගය.

ඔහු ඉතාලියේ සිට නිවාඩුවට ලංකාවට පැමිණ සිටියදී සෝමරත්න දිසානායකයන්ගේ සිංහබාහු චිත්‍රපටයේ චරිතයට ලැබුණු අවස්ථාව සමන් ඇන්තනී ඉහළින් පිළිගන්නේ සිය වැඩිමහල් සහෝදරයා වන ජැක්සන් ඇන්තනී සමග රඟපෑමට කාලයක සිට බලා සිටි සිහිනය නිසාමය.

ඒ සිහිනය එලෙසින්ම සැබෑ විය. එහෙත් චිත්‍රපටයේ රූපගත කිරීම් අතරතුරදී කිසිවකුත් නොසිතූ ලෙස සමන් ඇන්තනි, ජැක්සන් ඇන්තනී යන කලාකරුවන් දෙපළට අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දීමට සිදුවූයේය. 

මෙම අනතුර සිදුවන්නේ ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා සහ ඔහුගේ සහෝදර සමන් ඇන්තනි, සහයක ඉරේෂ් ඇතුළු පිරිස ‘සිංහබාහු’ රූපගත කිරීම් නිමකොට අනුරාධපුරයේ හත්තිකුච්චි පුරාවිද්‍යා භූමියේ සිට අනුරාධපුර නවාතැන්ගෙන සිටි ස්ථානයට යමින් සිටියදී අනුරාධපුර තලාව මාර්ගයේ දී ය.

එම මාරක අනතුර ලෝකවාසී රසික හැම හදවතකට මහත් වේදනාවක් ගෙනදුන් කරුණකි. මේ මොහොතෙත් සෑම හදවතක්ම ප්‍රාර්ථනා කරන්නේ බලා සිටින්නේ කලාවේ මහ වෘක්ෂය බඳු ජැක්සන් ඇන්තනී මහතා නැවත නැගීටිනතුරු ය.

කොහොම නමුත් දරුණු අනතුරකට මුහුණ දෙමින් ජීවිතයත් මරණයත් සමග මහා සටනක් කොට මේ වනවිට සමන් ඇන්තනි මහතා තරමක සුවයක් ලබා සිටීමේ පුවත මහත් සතුටකි. ඔහුගේ සුවදුක් විමසීමට මේ පිටුව වෙන් කළේ සමන් ඇන්තනිටය.

මේ වනවිට ඔබේ සුව තත්ත්වය කොහොමද?

කතා කරන්න පුළුවන් තරමකවත්  මට්ටමක මම හිටියේ නැහැ. නමුත් දැන් මට 80% පමණ සුවයක් තියෙනවා. සම්පූර්ණ සුවය ලබන්න තව මාස 2ක්වත් යාවි කියලා තමයි වෛද්‍යවරු කියන්නේ.  තාම මගේ දකුණු අත වැඩ කරන්නේ නැහැ. කටේ දත් ටික නැහැ. ඒවා හදාගන්න ඉතින් තව කාලයක් යාවි. මට දින 12කින් තමයි සිහිය ඇවිත් තියෙන්නේ. සිහිය ඇවිත් දින 7ක් වගේ රෝහලේ ප්‍රතිකාර ලබලා තමයි මම නිවසට ආවේ. ගෙදර ආවත් මගේ මානසිකත්වය හොඳ මට්ටමක තිබුණේ නැහැ. දැන් තමයි ටික ටික දේවල් මතකයට එන්නේ.

සමන් අයියාට අනතුර ගැන පුංචි මතකයක් හරි තියෙනවද?

එදා පොඩි අයියට රාත්‍රී රූගත කිරීමක් තිබුණා. ඒ දර්ශනය හරි ලස්සනට ආවා. පොඩි අයියා හරි සතුටෙන් හිටියේ. අපි ෂූටින් ඉවර වෙලා එන්න පිටත් වුණා. පොඩි අයියා තමයි වාහනේ අරගෙන ගියේ. මම හිටියේ ඩ්‍රයිවින් සීට් එකට අනිත් පැත්තේ. ඉරේෂ් හිටියේ පිටුපස අසුනේ. පොඩි අයියයි මායි ආවේ පොඩි කතාවක. මොකද පහුවෙනිදාට ෂූටින් නැහැ. විවේකි දවසේ වැව්මාළු ගෙනැල්ලා හදාගෙන කාලා පොඩි ජොලියක් දාමු කියලා කතා වෙවී තමයි ආවේ. තැනින් තැන තමයි මට මතක.

අලිය මුලින්ම දැක්කේ මම. මම හිතන විදිහට අලියාගේ ඔළුව දකිද්දි අපියි අලියයි අතර මීටර් 7-8ක පරතරයක් තියෙන්න ඇති. අලියාගේ ඔළුව දැකපු ගමන් පොඩි අයියේ අලියෙක් අලියෙක් කියලා මම කෑගැහැව්වා විතරයි මට මතක. ඒත් එක්කම මහා සද්දයක් එක්ක ඇඟ හිර වුණා වගේ දැනුණා. මට එච්චරයි මතක.

එතැනින් පස්සේ ඔබ දින 12ක්ම ඉන්නේ සිහිය නැතුව

‘ඔව්’ වෛද්‍යවරු කියලා තියෙනවා මාව බේරගන්න අමාරුයි දින හතරකට වඩා මෙයා ජීවත් වෙන එකක් නැහැ කියලා. පොඩි අයියාට වඩා ජීවිත අවදානම තිබිලා තියෙන්නේ මට. මම හිතන්නෙම මාව ජීවත් කෙරෙව්වේ දේව හාස්කමක් කියලා. විශේෂයෙන් කියන්නට ඕන මම නිවසට එනතෙක්ම ප්‍රතිකාර ලැබුවේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ. අනුරාධපුර රෝහලේ මට ලැබුණු ප්‍රතිකාරවලින් තමයි මම ගොඩ ආවේ. කොහොමත් මාව කොළඹ ගේන්න තත්ත්වයක් තිබිලත් නැහැ. 

සිහිය එනකොට කටේ දත් හතරක් ඇරෙන්න ඔක්කොම කුඩුවෙලා තිබුණේ. වම් ඇහැ ළඟ ඉඳල නිකට ළඟටම open වෙලා තිබුණේ. දකුණු අත දෙපලකින් අස්ථි බිඳිලා. වම් පැත්තේ එක අස්ථි බිඳීමක් වෙලා තියෙනවා. දකුණු කන එල්ලි එල්ලි තිබිලා තියෙන්නේ. මට සිහිය ආවට පස්සේ තමයි කන මැහුවේ. දොස්තර මගේ ළඟට ඇවිත් කිව්වා කන් පෙත්ත ඉවත් කරන්න තමයි වෛද්‍යවරු තීරණය කරලා තියෙන්නේ. අපි මැහුම් දාලා උත්සාහයක් ගමුද කියලා ඇහුව්වා. කොයි තරම් වේදනා වුණත් මම දරාගෙන ඉන්නම් කියලා මම හා කිව්වා.  කනට මැහුම් 14ක් දාලා ඒ වෛද්‍යවරයා මගේ කන බේරලා දුන්නා. මේ ඩැමේජ් 80% පමණ දුරට දැන් සුව වුණත් තාම කෑම හපලා එහෙම කන්න බැහැ.

පසුගියදා ජැක්සන් ඇන්තනි මහත්මා රංගනයෙන් දායක වන සීරුවෙන් චිත්‍රපටයේ මාධ්‍ය ප්‍රචාරණ දර්ශනය තිරගත වුණා. පොඩි අයියා නැතුව තිරයෙන් ඔහු දකිද්දි මොකද දැණුනේ?

මමත් සහභාගි වුණා ඒ දර්ශනය නරඹන්න. පොඩි අයියා ළඟ නැතුව තිරයෙන් දකිද්දි මට කලන්තේ දැම්මා. පොඩි අයියා රඟපානවා දකිනකොට මගේ පපුව හිරවෙලා මට දරා ගන්න බැරි වුණා. චිත්‍රපටය  ඉවරවෙලා රෑට මම අයියාව බලන්න ගියාට අයියාව බලන්න තරම් ශක්තියක්  තිබුණේ නැහැ. දෙවෙනි දවසේ ගිහින් තමයි අයියාව හරියට බැලුවේ. මම දින 12 මැෂින් එකේ ඉඳලා සිහිය ආපු ගමන් ඇහුව්වේ කෝ පොඩි අයියා කියලා. මට කිව්වේ එයා හොඳින් කියලා. ඒත් සිහිය ආපු අයියාට නැවත මෙහෙම වුණේ ඇයි කියලා හිතාගන්න බැහැ.

මේ වෙනකොට ජැක්සන් මහත්මාගේ තත්ත්වය කොහොමද?

ඉක්මනින් නැතත් පොඩි අයියා සෙමින් සුවය ලබමින් ඉන්නවා. පොඩි අයියා නැගිටිනවා ඒක ඒකාන්තයි. මම  කවදාවත් දෙවියන් ඉදිරියේ කිසිම දෙයක් ඉල්ලපු නැති මිනිහෙක්. හැබැයි පොඩි අයියාව අපිට දෙන්න කියලා මම දෙවියන්ගෙන් ඉල්ලුවා. පැය 4ක් පොඩි වී කුඹුර ඉඳලා තේවත්ත පල්ලියට මම පයින් ගියා. ඇඟට පණක් නෑ මට තාම. ඒත් හිතේ හයියට ගියා පොඩි අයියා වෙනුවෙන් දෙවියන් වහන්සේ ළඟට.

ඔබට සිංහබාහු චිත්‍රපටය කොහොමද අවස්ථාව ලැබෙන්නේ?

සෝමේගේ සිංහබාහු චිත්‍රපටය ගැන මගේ ඔළුවට දැම්මේ ජැක්සන් අයියාමයි. ඔහුත් එක්ක රඟපාන්න තියෙන්නේ කිව්වාම මම උඩින්ම කැමති වුණා. මොකද අයියා එක්ක රඟපාන එක මගේ ජීවිතේ තිබුණ ලොකු හීනයක්. මේ මම ලංකාවේ රඟපාන පළමු චිත්‍රපටය. පොඩි අයියා සිංහයා. මම එයාගේ ප්‍රධාන ගෝලයා  ගෝනා. අන්තිමට අලියා ගැහැව්වේ සිංහයටයි ගෝනටයි.

නැවත චිත්‍රපටයට දායක වෙන්න පුළුවන් තත්ත්වයක ඔබ ඉන්නවද?

මම තාම සුවවෙමින් ඉන්නේ. චිත්‍රපටයේ ඉදිරිය ගැන ඇත්තටම  මම දන්නේ නැහැ.

ඔබ ඉතාලියේ ඉඳලා ලංකාවට එන්නේ චිත්‍රපටය නිසාමද?

නැහැ. මම අවුරුදු 35 ගතකළේ ඉතාලියේ. ඉතින් මට හිතුණා බිරිඳ මගේ දරුවෝ එක්ක ටික කාලයකට ලංකාවට ගිහින් ගත කරන්න ඕනෑ කියලා. ඒ නිසා පසුගිය වසරේ නිවාඩුවකට තමයි ලංකාවට ආවේ. මට ඉන්නේ දුවයි පුතාලා දෙන්නයි.

ඔබේ කලාවේ ආරම්භය වෙන්නේ කොතනින්ද?

ජැක්සන් පොඩි අයියාගේ බෙත්ලෙහෙන් ගීතය කියන ටෙලියෙන් තමයි කලාව ආරම්භ කරන්නේ. ඊට පස්සේ 1980 පටන් සමස්ත ලංකා කෙටි නාට්‍ය ගණනාවක රඟපෑවා. හොඳම නළුවා වුණා. ඊට පස්සේ රැකියාවට ඉතාලියට ගියාම නාපෝලි වලදි වේදිකා නාට්‍යවලට දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඒ අතරේ අහම්බෙන් එරට සිනමා අධ්‍යක්ෂවරයෙක් හරහා ඉන්තුපරදේස් කියලා ඉතාලියේ චිත්‍රපටයක ප්‍රධාන චරිතය කළා.

ජැක්සන් ඇන්තනී වැනි කෙනෙකුගේ සහෝදරයකුවීම ගැන ඔබට මොකද හිතෙන්නේ?

ඔහු වැනි දැවැන්තයකුගේ මල්ලි වීම ගැන ලොකු ආඩම්බරයක් තියෙනවා. ඔහු වැනි සහෝදරයකු ලබන්න අපි හරි භාග්‍යවන්තයි. අපිට අම්මයි තාත්තායි නැතිවුණාම ලොකු අයියයි පොඩි අයියයි තමයි අපේ අම්මායි තාත්තයි දෙන්නම වුණේ. අපිට අප්පච්චි වුණේ පොඩි අයියා. එයා නැතුව අපිට ජිවත් වෙන්න බෑ. පොඩි අයියා නැගිටිනකම් අපි බලාගෙන ඉන්නවා.

මේ  වෙලාවේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෙද හෙදියන්, වෛද්‍යවරු, සේවක සේවිකාවන් මෙකීනොකී සියලුම දෙනාට මගේ හෘදයාංගම  ස්තුතිය පුදකරනවා. ඒ වගේම පොඩිවීකුඹුර ගමේ අයටත් පිං මාව බලා ගන්නවට. මම නැගිට්ටාට  පොඩි අයියා නැගිටිනකම් මගේ හුස්ම වැටෙන්නේ නැහැ.

නදීශා අතුකෝරළ