අලුත්ම වැඩේට ඉහළම රසික ප්‍රතිචාර ලැබෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වෘත්තියෙන් හඩකැවිම් ශිල්පියෙකු ලෙස කටයුතු ගීහාන් කෝට්ටේගොඩ ඔබ වඩාත් ආදරය කරන ටෙලි හා කාටුන් චරිත රැසකටම සිය හඬ එක්කොට ඇති තරුණ හඬකැවිම් ශිල්පියෙකි. මේ දිනවල ඔහු අලුත් වැඩ කටයුත්තකට මුලපුරා තිබේ. ඒ බහුරූ කලා කවය නමින් නාට්‍යය කණ්ඩායමක් ගීහාන් විසින් නිර්මාණය කර තිබීමය. ඉතින් මේ අලුත් වැඩේ ගැන ගීහාන් අප සමග මෙසේ තොරතුරු බෙදාහදා ගත්තා.

මොකක්ද ගීහාන් මේ අලුත් නැටුම

මගේ ගම කෝන්ගස්තැන්න. ඇසල පෝයට අපේ ගමේ පන්සලේ ඇසල කලාපයක් තිබුණා. ඇසල කලාපයේ අන්තිම දවසේ තිබුණේ සල්පිලක්. මාත් කල්පනා කළා මොන විදිහකින් හරි මේ සල්පිට දායක වෙන්න ඕනි කියලා. රැජිණට ඇන්දා.. මේ ගීතය දාලා කෙටි නාට්‍යයක් කරන්න. මිනිස්සුන් අද ඉන්නේ සැහෙන්න ප්‍රශ්න ගොඩක. ඉතින් ඒ ප්‍රශ්නවලින් මිරිකුණ මුහුණවල් වලට පොඩි හිනාවක් එකතු කරන්න තමයි මට මේ වැඩේ හරහා අවශ්‍යය වුණේ. ඉතින් ගමේ කිහිප දෙනෙකුත් එකතු කරගෙන මේ වැඩේට මම අතගැහුවා. ඔය විදිහට තමයි මේ අලුත් වැඩේ පටන් ගත්තේ.

මේ කරන වැඩේ සාර්ථක වෙයි කියලා හිතුවද

චිත්‍රපට, ටෙලි නාට්‍යය, වේදිකා නාට්‍යය මිනිස්සු නිතරම වගේ බලනවා නේ. මට අවශ්‍ය වුණේ ඒ රාමුවට කොටුවෙලා ඉන්න මිනිස්සුන්ට වෙනස්ම අත්දැකිමක් ලබා දෙන්න. ඒ හින්දා තමා මේ වැඩේට මම මුලීකත්වය ගත්තෙත්. අනිත් කාරණය තමයි ගමේ මිනිස්සු ගොඩ දෙනෙක් අහලා තිබුණේ නැහැ රැජිණට ඇන්දා.. කියන ගීතය. මට ඕනා කළේ මේ ගීතයේ රසයත් මිනිස්සුන්ට දෙන්න.

වැඩේට කට්ටිය හොයාගත්තේ කොහොමද

අපේ ගමේ රඟපාන්න දක්ෂ ගොඩක් අය ඉන්නවා. ඉතින් මම ඒ වගේ දන්න කිහිප දෙනෙක් මේ වැඩේට එකතු කර ගත්තා. මේ නිර්මාණයේ ප්‍රධාන චරිතය තමයි නන්දා කියන්නේ. ඒ චරිතය කළේ මම. දිලාන් චතුරංග තමයි මාස්ටර්ගේ චරිතය කළේ. මුදලාලි විදිහට කලන ප්‍රමෝද් මල්ලි රඟපෑවා.  දුශාන් කවිශ්ක මල්ලි හා සමරනායක අයියා අන්දරේගේ චරිතය කළා. වෙනසකටත් එක්ක අපි මේකට මත්පැන් පානය කළ මිනිහෙක්ගේ චරිතයකුත් ඇතුලත් කළා. ඒ චරිතය කළේ නදුන් සමන්ත අයියා. කඩේ ගෝලයා විදිහට රඟපැවේ ප්‍රියන්ත ජයවර්ධන අයියා.

වර්තමානේ මේ වගේ දේවල් අපිට දකින්න ලැබෙන්නේ හරි අඩුවෙන්

ඔව්, ඒ හින්දම තමා මේ වැඩේ කරන අදහස මගේ ඔලුවට ආවේ. මට හිතෙන විදිහට තාමත් මිනිස්සු පැරණි දේවල්වලට කැමතියි. කෙටි කාලයක් තුළදී මේ වගේ නිර්මාණයක් කරපු ඒක ගැන ඇත්තටම මට සතුටුයි. ඒ වගේම තමයි ගමේ මිනිස්සුන්ගෙන් ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා මේකට. විශේෂයෙන්ම මේ වෙලාවේදී මතක් කරන්න ඕනා රනිදු ප්‍රසාද් මල්ලිව. ඔහු තමා මේ වැඩේ රූපගත කිරිම් කටයුතු සිදු කරලා ඒවා සමාජ මාධ්‍යය තුළ ප්‍රසිද්ධ කළේ.

ගීහාන් කියන්නේ අපි ගොඩක් ආදරය කරන හඬකැවිම් ශිල්පියෙක්

මේ දිනවල නම් සිරස ටීවී ඉම්ලී නාට්‍යයෙන් මගේ හඬ ඇහෙනවා. ඊට අමතරව ඉදිරියට එන වැඩ ගොඩක මගේ හඬ විවිධ චරිත ඔස්සේ අහන්න පුළුවන්. ඒ අතරින් ස්පයිඩර් මෑන් අලුත් කාටුන් කතා මාලාව විශේෂයි. මම එහි ප්‍රධාන චරිතයකට හඬ දෙනවා. පසුගිය කාලේ නම් මගේ හඩ විවිධ විදෙස් ටෙලි නාට්‍යය වගේම කාටුන් චරිත හරහාත් ජනප්‍රිය වුණා.

හඬ කවනවා වගේ රඟපාන්න නටන්නත් ඔබට හැකියාව තියෙනවා

මම හිතන්නේ ඔව්. මේක මට සහජයෙන් ආපු හැකියාවක්. අර කියනවානේ හැංගිලා තිබුණ දක්ෂතාවයක් කියලා. ඒ වගේ එකක් මේක. මම විතරක් නෙමෙයි අපේ බහුරූ කලා කවයට සම්බන්ධ වෙලා ඉන්න හැමෝම වෘත්තිය මට්ටමේ රංගන ශිල්පියෝ නෙමෙයි. හැබැයි හැමෝටම හොඳට නටන්න රඟපාන්න පුළුවන්.

බුද්ධික සේනාධීර