අලුත් අයව එළියට දාන්න ඕන නිසා මම සින්දු කියන්නේ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

යොහානිගේ හඬින් ලොව පුරා වයිරල් වුණු මැණිකේ මගේ හිතේ සිංහල ගීතය ගැන ඉන්දියාවේ Thank god හින්දි චිත්‍රපටය තිරගත වීමත් සමඟ නැවත කතාබහක් ඇතිව තිබෙනවා.

ඒ Thank god චිත්‍රපටයට මැණිකේ මගේ හිතේ ගීතයේ හින්දි ගීතය ඇතුළත් වීමත් සමගයි. ලොව පුරා ප්‍රේක්ෂක ජනතාව අතර මේ වනවිට ඉතා ජනප්‍රිය සිංහල ගීතයක් වන මැණිකේ මගේ හිතේ ගීතය මෙලෙස ඉන්දියානු චිත්‍රපටයකට යොදා ගැනීම ශ්‍රී ලාංකීය සිංහල ගීත කලාව තුළ විශේෂ සන්ධිස්ථානයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

මැණිකේ මගේ හිතේ ගීතය ඉන්දියානු චිත්‍රපටයක් හරහා කරලියට එන මොහොතේ එහි සංගීත අධ්‍යක්ෂක චමත් සංගීත් සමග ඒ ආඩම්බරකාර හැඟීම බෙදාහදා ගත්තේ මේ විදිහට.

කොහොමද මැණිකෙත් එක්ක මේ දවස්වල ඉන්දියාවේ කරන වැඩ කටයුතු?

Thank god සිනමා නිර්මාණයට මැණිකේ මගේ හිතේ හින්දි භාෂාවෙන් ගයන ගීතයේ සංගීත අධ්‍යක්ෂණය කරන්න මට අවස්ථාව ලැබීමත් එක්ක තමයි මම මුම්බායිවලට එන්නේ. මේ වෙනකොට මැණිකේ මගේ හිතේ හින්දි ගීතය ඇතුළත්  Thank god චිත්‍රපටය ලොව පුරා තිරගත වෙනවා. මැණිකේ මගේ හිතේ හින්දි ගීතයට මේ වෙද්දි හොඳ ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා. බොලිවුඩ් කියන්නේ ලොකු තරගකාරිත්වයක් තියෙන ඉන්ඩස්ට්‍රී එකක්. ඉතින් මේ චිත්‍රපටය වෙනුවෙන් සංගීත අධ්‍යක්ෂණයට ලැබුණු අවස්ථාව මට හීනයක් වගේ.

ඒත් එක්කම මුම්බායිවල තවත් සංගීත වැඩ කීපයකට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. ඉන්දියාවේ ලෙජන්ඩ් කෙනෙක් වන මුකේෂ් බාත්ගේ අලුත්ම චිත්‍රපටයේ ගීත හතරක සංගීත අධ්‍යක්ෂණයට එකතු වෙන්න අත්සන් කරලා තියෙනවා. මේ වෙද්දි ඒ පිළිබඳව කතා කරගෙන යනවා. Vishesh films කියන නිෂ්පාදන ආයතනය තමයි මේ චිත්‍රපටය කරන්නේ Aqshiqui 2 වගේ දැවැන්ත චිත්‍රපටි හැදුවේ එයාලා.

මැණිකේ මගේ හිතේ ගීතය බලලා තමයි මට මුකේෂ් බාත්ගේ අලුත් චිත්‍රපටයට ආරාධනා ලැබෙන්නේ. ඊට අමතරව ඉන්දියානු සොලෝ ආර්ටිස්ට්ලා කීප දෙනෙක් සමඟ කරපු ගීත කිහිපයකුත් ඉදිරියේදී එන්න තියෙනවා.

Thank god චිත්‍රපටයට මැණිකේ හින්දි ගීතය සඳහා ඔබට සංගීත අධ්‍යක්ෂණයට අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

ඒක වෙනම හැඟීමක්. ඒ වෙලාවේ මට දැනුන හැඟීම වචනයෙන් කියන්න තේරෙන්නේ නැහැ. මොකද මට වඩා සංගීත අධ්‍යක්ෂණය පැත්තෙන් දක්ෂයෝ ඉන්නවා ලංකාවේ. අපි මේ ගෙදර පොඩියට ස්ටුඩියෝ එකක් දාගෙන රෙකෝඩ් කරලා දාපු සින්දුව ලංකාවේ දුවයි කියලාවත් ලංකාවෙන් එළියට යයි කියලාවත් හීනෙකින්වත් හිතුවේ නැහැ. මේ පුංචි සින්දුව කරලා දවසක් දෙකක් යනකොට ඉන්දියාවේ දැවැන්ත ප්‍රඩක්ෂන් ආයතන කෝල් කරලා අපි මේ සින්දුව අපේ චිත්‍රපටයකට ගන්න කැමැතියි කිව්වාම මගේ ඇඟට පණ නැති වුණා. මට හිතාගන්න බැරි වුණා.

බොලිවුඩ්වල අවස්ථා ලැබෙනවා හරිම අඩුයි. වෙනත් රටවලට ලැබුණත් විශේෂයෙන් ලංකාවේ සංගීත අධ්‍යක්ෂවරුන්ට මෙච්චර කාලෙකට බොලිවුඩ්වල ගීතයකට සංගීත අධ්‍යක්ෂණය කරන්න ලැබිලා නැහැ. මේක මුළු ලංකාවටම ලැබුණු හොඳ අවස්ථාවක් විදිහටයි මම දකින්නේ.

ග්ලෝබල් ටොප් චාට් එකක මිනිස්සු වැළඳ ගත්ත සින්දුවක් අපිට තිබුණේ නැහැ. මුළු ලෝකයම දන්න මිනිස්සු වශී කරවපු එකම සින්දුව තමයි මැණිකේ ගීතය. බොලිවුඩ් චිත්‍රපටයකට ගත්ත පළමු සිංහල ගීතය මැණිකේ ගීතය. මැණිකේ ගීතය හරහා අපිට ඉන්දියානු සිනමාව එක්ක වැඩ කරන්න ලැබීම එක්ක අපේ රටේ මියුසික්වලට අපේ රටේ දක්ෂයොන්ට හෙට දවස ගැන අලුත් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් කියන සිතුවිල්ල දැනෙනවා.

කොහොමද ඉන්දීය කණ්ඩායම් එක්ක වැඩ කරන්න ලැබුණු අත්දැකීම

ඒක වෙනස්ම අත්දැකීමක්. මම ලංකාවේ චිත්‍රපටවලට කවදාවත් දායකවෙලා නැහැ. මට මේ කණ්ඩායම් ඇතුළේ වැඩ කරද්දී ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුණා. ඒ අය වැඩ කරන පිළිවෙළ හරිම වෙනස් හැමදේම ක්‍රමානුකූලව ඒ අය කරන්නේ. තම තමන්ගේ ජොබ් එක කොහොමද හරිආකාරව කරන්න ඕන කියන එක මම ඉගෙන ගත්තේ එතනින්. ඒ අය ළඟ හොඳ කොලිටි එකක් තියෙනවා. අන්න ඒ කොලිටි එක නිසා තමයි ඉන්දියාව සංගීත ක්ෂේත්‍රය සහ සිනමාව පැත්තෙන් ඉස්සරහට ඇවිත් තියෙන්නේ. හොඳ ගීත නිර්මාණයක්, හොඳ චිත්‍රපටයක් කරන්න ඒ අය පුදුම විදිහට මහන්සි වෙනවා. මමත් නිර්මාණයක් කරද්දි ඒ ගීතය වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා. ඒ මහන්සියේ ප්‍රතිඵලයක් විදිහට තමයි මැණිකේ මගේ හිතේ ගීතය ජාත්‍යන්තරය දක්වා යන්නේ.

ඉන්දියාවෙන් චමත්ගේ දක්ෂතාවයට මහන්සියට වටිනාකමක් ලැබිලා තියෙනවා. ඒ මහන්සියට ලංකාවෙන් වටිනාකමක් ලැබෙනවාද?

ලැබෙනවා. මම නැහැ කියන්නේ නැහැ. හැබැයි අපිට රටින් පිට තියෙන මාර්කට් එක ලංකාව ඇතුලේ ලැබෙන්නේ නැහැ. අපි ලංකාව ඇතුළේ බිලියන ගාණක් වීව්ස් තියෙන ගීත හැදුවත් එතනින් එහාට අපිට දොරවල් ඇරෙන්නේ නැහැ. හැබැයි ඉන්දියාවේ එහෙම ගීතයක් ජාත්‍යන්තරයට ගියොත් ඒ රටේ චිත්‍රපටි ක්ෂේත්‍රය ඒ ගීතයෙන් ගත හැකි උපරිමය ගන්නවා. ඒත් ලංකාවේ සින්දුව ගියා එතනින් ඉවරයි. අපේ ඉන්ඩස්ට්‍රිය එතනට හැදිලා නැහැ.

මෙහෙම ගිහින් චමත්ව ඉන්දියාවටම සින්න වේවිද?

ඇත්තටම මම ලංකාවට පස්සේ ඉන්න ආසම තැන ඉන්දියාව. ඒත් මගේ එකම හීනය ලංකාවේ සංගීත ක්ෂේත්‍රය කොහොම හරි ජාත්‍යන්තරයට ගෙනියන එක. ජැකලින්, යොහානි මම අපි තුන්දෙනා විතරක් මේ තලයේ ඉඳන් වැඩ කරලා වැඩක් නැහැ. මට ඕන මගේ රටේ ආර්ටිස්ලා දක්ෂයෝ ජාත්‍යන්තර තලයට ගෙනියන්න.

අවුරුදු ගාණක් අපි නටන්නේ හින්දි දමිළ ගීතවලට. අපිට නටන්න හරිහමන් සිංහල ගීතයක් නෑ. අවුරුදු ගණනාවක් ගිහිල්ලත් අල්ලපු රටට අපිට සින්දුවක් දාගන්න බැරි වුණා. ඒ අතින් අපි ෆේල්. හැබැයි ලෝකයම වශී කරවන්න පුළුවන් හඬවල් අපිට තියෙනවා.

චමත්ට ලංකාවේ සිනමාවෙන් ආරාධනා ලැබිලම නැද්ද?

යම් යම් අවස්ථාවල ආරාධනා ලැබිලා තියෙනවා. මම මාරම ආසයි ලංකාවේ වැඩ කරන්න. ඒත් මට ආරාධනා ලැබුණ නිර්මාණ මට සෙට්වුණේ නැහැ. ලංකාවේ වෙනස්ම වැඩකට කතා කළොත් මම සල්ලි ගන්නෙත් නැහැ. මම ගිහින් කැමැත්තෙන්ම කරලා දෙනවා. මම හොයන්නේ මේ ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂයන්ව ගොඩ යන්න පුළුවන් වැඩක්. ඒත් ලංකාව අපෙන් හරියට වැඩක් ගන්නේ නැහැ. ඉන්දියාවේ දෙවන චිත්‍රපටයටත් මේ වෙනකොට මට අවස්ථාව ලැබිලා ඉවරයි.

කොහොම වුණත් මැණිකෙගේ බඹරේ වැල්ලේ කැරකෙන්නේ යොහානිගේ හඬ නිසා මේ ගීතයේ අයිතිය මේ වෙනකොට කාටද තියෙන්නේ?

මැණිකේ මගේ හිතේ ගීතයේ සිංහල ගීතයේ අයිතිය තියෙන්නේ අපට හින්දි වර්ෂන් එකේ අයිතිය අපට නැහැ. මැණිකේ ඔර්ජිනල් ගීතය කරලා දැන් අවුරුදු 2ක් වෙනවා. යොහානිගේ කවර් එක කරලා අවුරුද්දක් වෙනවා. මුල් ගැයුමට යූටියුබ් විව්ස් මිලියන 10 වෙද්දි තමයි යොහානි එක්ක කවර් එක කරන්නේ. ඒක කරලා සති දෙක යද්දි හිතාගන්න බැරි විදිහට වයිරල් වුණා. මැණිකේ ගීතය එක්ක රටෙන් එළියට යන්න ලොකුම අවස්ථාව ලැබුණේ යොහානිට. ඊට පස්සේ තමයි සතිශාන්ට සහ මට ඒ අවස්ථාව ලැබුණේ. ලෝකෙන් එළියට ලංකාවේ ආර්ටිස් කෙනෙක් ගෙනියන්න ඉන්නේ යොහානි.

මැණිකේ ගීතයෙන් පස්සේ මම කළේ නාදෙන් ගීතය. මේ වෙනකොට නාදෙන් ගීතයත් නේපාල, බංග්ලාදේශ රටවල් දෙකේ වයිරල් වෙලා තියෙනවා.

ආයේ අපිට චමත් කියන ගායකයව දකින්න වෙන එකක් නැද්ද?

2009 ගෙදර පුංචි ස්ටුඩියෝ එකක් හදාගෙන කරපු ගීතය පලවෙනි පාරට රේඩියෝ එකේ ප්‍රචාරය වෙද්දි දැනුන සතුට මට අදටත් මතකයි. සංගීතය කරන්න ආරම්භ කරන කාලෙදිම මගේ තාත්තා නැති වෙනවා. අම්මා මට කිව්වේ සංගීතයෙන් ගොඩයන්න බෑ. වෙන මොනවා හරි බලන්න කියලා. ගෙදරින් තහංචි වැටුනට සංගීත පැත්තෙන් ගොඩ යන්න පුළුවන් කියලා මගේ හිතේ විශ්වාසයක් තිබුණා. රුවන් හෙට්ටිආරච්චි ගායනා කරන ඔබට සතුටුයිද දැන් තමයි මම සංගීතය කරපු ගීතවලින් මුලින්ම වයිරල් ගියපු සින්දුව. එදා මට හිතුණා ලංකාව ඇතුළේ ගේමක් ගහන්න පුළුවන් කියලා. ඒ ඇරෙන්න ඉන්දියාවට ගිහින් බොලිවුඩ්වල චිත්‍රපටවල මියුසික් කරන්න හීනයක්වත් තිබුණේ නැහැ. අපිට කරන්න බෑ කියලා හිතපු ගොඩක් දේවල්වලට අපිට පාර කැපුණේ මැණිකේ ගීතය නිසා. මුල්කාලේ මම සින්දු කිව්වා. ඒත් මට ඕන මේ රටේ දක්ෂයින්ව රටෙන් එළියට ගෙනියන්න. අලුත් අයව එළියට දාන්න ඕන නිසා මම සින්දු කියන්නේ නැහැ. මම මියුසික් කරපු සින්දුවක් ස්ටේජ් එකක කියද්දි එන සතුට මට ඒ සින්දුව කියලා විඳින්න බෑ.

නදීශා අතුකෝරළ