අරයා මෙයා වෙනවා කියලා මට කවුරුවත් වෙන්න ඕනෑ වුණෙත් නැහැ
ලලිත් රෝහිත එදිරිසිංහ අධ්‍යක්ෂණය කළ වෛද්‍ය නිශාන්ත රුද්‍රිගු නිෂ්පාදනය කළ ‘තට්ටු දෙකේ ඉස්කෝලෙ’ ප්‍රධාන භූමිකාවකට ජීවය ලබාදෙන ඔහු ඔබට අමුතු රුවක් නොවේ. රංගනයෙන් ඉඳහිට හමුවුවද, ඔහුගේ රඟපෑම් සැබැවින්ම තාත්විකය. ඉතින් එහෙම නම් මේ හැඩකාර නුවණක්කාර රංග ශිල්පියා එක්ක තට්ටු දෙකේ ඉස්කෝලෙට ගිහින් එන්න යමු.
මෞලි ෆර්ඩිනැන්ඩු. ඒ හැර තවත් නම් තියෙනවද?
මෞලි දුෂ්මන්ත ෆර්ඩිනැන්ඩු.
කවුද මේ නම දැම්මෙ?
මෞලි කියන නම දැම්මෙ අම්මා. දුෂ්මන්ත කියන නම දැම්මෙ තාත්තා.
වැඩිපුර භාවිත වෙන්නෙ?
රංගන ක්ෂේත්‍රයේ වගේම නීති ක්ෂේත්‍රයේදී වැඩිපුර කතා කරන්නෙ සහ මාව දන්නෙ මෞලි කියලයි. දෙතුන් දෙනෙක් විතර දුෂ්මන්ත කියලත් කියනවා. ඒකත් කලාතුරකින්.
මෞලි කියන්නෙ?
ඔටුන්නට.
ඉතින් මේ නම කියද්දි මිනිසුන්ගෙ ප්‍රතිචාර මොන වගේද?
මගෙ නම කිව්වාම සමහරු අහන්නෙ මුස්ලිම්ද කියලා. දුෂ්මන්ත කිව්වාම ටිකක් බලා ඉඳලා ෆර්ඩිනැන්ඩු කිව්වාම බර්ගර් ද කියලා අහනවා. මම එතකොට අහන්නෙ ඇයි සිංහල ද කියලා අහන්න බැරිද කියලයි.
මෞලි මංගල්‍යය කියන්නෙ රජුගෙ ඔටුනු පැලඳවීමේ උත්සවයටනෙ? එතකොට මෞලිගෙ ජීවිතේ ඔටුන්න මොකක්ද?
මගේ ජීවිතයෙ ඔටුන්න මගේ ෆැමිලි ලයිෆ් එක. ඒ කියන්නෙ පවුලේ අය එක්ක ගෙවන ජීවිතය. මම ෆැමිලි ලයිෆ් එකකට මාර විදියට කැමති කෙනෙක්. අම්මා තාත්තා අයියා අක්කා එක්ක ඒ පරිසරය මට තිබුණා සහ තිබෙනවා. ඒ ආදරය දයාව එක්ක මටත් කවදාහරි ඕනෑ ඒ වගේ පවුල් ජීවිතයක්. ඒ හැර ලොකු බලාපොරොත්තු මට නැහැ.
අම්මා තාත්තා ගැන කියමු?
අම්මා කුමුදුනී අමරසිංහ. ගුරුවරියක්. තාත්තා හේමසිරි ෆර්ඩිනැන්ඩු. තාත්තා සේවය කළේ ශ්‍රී ලංකා මහ බැංකුවෙ. ඒ වගේම කලා ක්ෂේත්‍රයේ කටයුතු කරන චරිතයක්. අකාල සන්ධ්‍යා, වෙස්මුහුණ, සරදියල් වගේ සීමිත නාට්‍ය කීපයක රඟපෑවා. අයියත් බැංකු නිලධාරියෙක්. අක්කා විවාහ වෙලා ඉන්නෙ.
මෞලි පදිංචිය?
පිළියන්දල. උපන් ගම මොරටුව.
මෞලිගෙ ඒ කාලයේ අරමුණ වුණේ?
මගේ කැමැත්තට ආසාවට ජීවිතේ ඉදිරියට යාමේ පරිසරය මට තිබුණා. අරයා මෙයා වෙනවා කියලා මට කවුරුවත් වෙන්න ඕනෑ වුණෙත් නැහැ. වෘත්තීන් වශයෙන් නළුවකු වෙන්න හිතලා තිබුණෙත් නැහැ. මුලින්ම මම ගියේ වේල්ස් කුමර විදුහලට. තිස්ස ගුණවර්ධන සර් එක්ක නාට්‍ය කරමින් ඒ ආභාෂය ලැබුවා. ඊට පස්සෙ තමයි රාජකීය විදුහලට ගියේ. එහිදී රත්නාලාලිනි මිස් එක්ක නාට්‍ය බොහොමයක් කරන්න ලැබුණා. ඒ අතරේ මගේ ඇඟ ඇතුළේ අධ්‍යාපනයක් තියෙනව කියන එක හොයා ගන්නෙත් රෝයල් එකේදි. පන්තියෙ පළවැනියා වෙලා ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි. O/L වලට මාස තුනකට පෙර අම්මා මාව එකතැන ඉන්දවලා ඉගැන්නුවා. ඉතින් විභාගත් පාස් වුණා. නීතිඥ වෘත්තිය ගැන හිතුවෙත් පසු කාලයක. ඒක තෝරාගත්තාම මම කැමතිම විෂයයක් කියලා ඒකට ආදරය කරන්න පටන්ගත්තා. ඒ නිසා නීතිඥ වෘත්තිය සහ ඇක්ටින් පැත්තත් මම තෝරා ගත්තෙ මගේ කැමැත්තට. ඒ ගැන හරිම තෘප්තිමත්.
මෞලි, අපි තට්ටු දෙකේ ඉස්කෝලෙ ගැන කතා කරමු? එහි ප්‍රධාන චරිතය රඟපාන්නෙ ඔබ?
ඒ චරිතයට වෙන රංග ශිල්පියකු තෝරාගෙන තිබුණෙ. නමුත් කුමක් හෝ හේතුවකට ඒ තීරණය වෙනස් වෙලා ලලිත් රෝහිත අයියා මාව හොයාගෙන ආවා. එයාට අවශ්‍ය මුහුණුවර තියෙන්නෙ මට කිව්වා. නමුත් මංජුලා කුමාරි අක්කා එක්ක ඒ වයසට ගැලපෙන විදියට චරිතය අධ්‍යක්ෂවරයා හදාගත්තා. ඒක එක්තරා අභියෝගයක්. මොකද රංගනයේදී අභියෝග බාරගන්න මම කැමතියි. ඒ චරිතය හරි ලස්සනයි. ෆිල්ම් එක පුරාවටම ඒ චරිතය නැතත්, අවසන මේ චිත්‍රපටයෙන් කතා වන්නෙ ඒ චරිතය වටා ආ කතාවයි. මංජුලා අක්කා, ජගත් චමිල අයියා වගේ ප්‍රවීනයින් එක්ක ඒ චරිතය මම කළා.
බණ්ඩාර වටාද එතකොට කතාව ගලා යන්නෙ? එයා මොනවගේ චරිතයක්ද?
බණ්ඩාර වටා තමයි මේ ෆිල්ම් එකේ කතාව ගලායන්නෙ. බණ්ඩාරගෙ ජීවිතය තමයි ෆිල්ම් එකේ තේමාව. අපි වර්තමානය ගනිමු. මිනිස්සු අතරෙ තියෙන හැඟීම් වෛර ක්‍රෝධ ආදරය ආදී දේ පදනම් කරගෙන ලියැවෙනවා. ඒත් අපි හරි අඩුවෙන් තමයි පරිසරය හා අපේ ජීවිතවල ඇති සම්බන්ධය ගැන කතා වෙන්නෙ. ඒ පරිසරයෙන් අපේ ජීවිත කොච්චර දුරට වෙනස් කරන්න පුළුවන්ද කියලා අත්දැකලා හෝ අත්විඳලා නැහැ. ලලිත් රෝහිත අධ්‍යක්ෂවරයාගේ සහ තිර රචකයාගේ සාර්ථකම තැන තමයි ඒ තේමාව. ළමා වැඩිහිටි සියලුදෙනාට පණිවුඩයක් ලබාදෙන ෆිල්ම් එකක්. බණ්ඩාර කියන්නෙ පරිසරයට ආදරය කරන පරිසරය හා බද්ධ වූ චරිතයක්.
බණ්ඩාර නිසා වූ මතකයන් මොන වගේද?
බණ්ඩාරගෙ චරිතයේ ස්වාභාවය මම කියන්නම්. බණ්ඩාර පුංචි කාලයේදී ගමෙන් ගිහින් ආපහු එන්නෙ තමන්ගෙ නමින් ඉස්කෝලෙකට නම දෙන්න. ඒ උත්සවයට සහභාගි වෙන්න. මුලින්ම මට රඟපාන්න තිබුණෙ ඒ දර්ශනය. ඒක හරිම සංවේදී අවස්ථාවක් වුණා. අපේ පුංචි කාලය අපට දැනුණ, ආරූඪ වූ ස්වරූපය ඒ ගන්න තිබුණෙ. ඒක මට ඇත්තටම එදා වුණා. අලුතින් අඬන්න ඕනෑ වුණේ නැහැ. ඒ මම වුණා නම් කියලා මට ඇඬුණා.
කොහොමද අද ඒ චරිතයට ලැබෙන ප්‍රතිචාර?
ඇත්තටම මම හිතුවට වඩා ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. අවසාන වශයෙන් මංජුලා කුමාරි අක්කා, ජගත් චමිල අයියාගෙ චරිතය වගේම මා ගැනත් කතාබහට ලක්වන එක ගැන සතුටුයි.
නීතිඥ වෘත්තිය කරන අතරේ රඟපෑමට චරිත තෝරාගත්තෙ කොහොමද?
මුලින්ම රඟපාන්න ආවෙ නම් අවුරුදු 7 දී විතර. මගේ තාත්තාගෙ ටෙලිනාට්‍යයක රඟපාවෙ. පසුව අධ්‍යාපන වැඩ සහ විශේෂයෙන්ම නීති විභාග එක්ක සිටියදී සෑහෙන චරිත මට අහිමි වුණා. ඉඳහිටලා තමයි රඟපෑවේ. නීති විභාග තියෙද්දි කලාවෙන් ඈත්වෙලා හිටපු නිසා සමහර අයට මාව අමතක වෙලා තිබුණ කිව්වොත් හරි. මෑතකදි ලැබුණු ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ නන්නත්තාර සහ සද්ධාමංගල සූරියබණ්ඩාර මහතා රචනය කරන සිවගුරුනාදන් මහතාගේ කෝලම්කුට්ටම වගේ හොඳ නිර්මාණවලට ඒ කාලයේදී දායක වෙන්න ලැබුණා. කොහොම වුණත් මට තව නළුවකුවත්, නීතිඥවරයකුවත් වෙන්න ඕනෑ නැහැ.
ඒ කිව්වෙ?
නළු වෘත්තියේ සහ නීතිඥ වෘත්තියේ දෙකෙන්ම ඉහළට යන්න තිබුණාම මට ඇති. තෝරා බේරාගැනීම ගත්තොත් මට අපහසුවක් නැහැ. මට ලැබෙන ඕනෑම චරිතයක් කරනවද ඇහුවොත්, නැහැ. මම කැමති මගේ පෞද්ගලික හා වෘත්තීය ජීවිතයට හානියක් නොවන චරිත කරන්නයි.
මෞලි අපි බොහෝ දේ කතා කළා. කොහොමද මෞලිගෙ ප්‍රේමය කියලත් දැනගන්න කැමතියි?
කොහොමටත් මම ප්‍රේමයට කැමති කෙනෙක්. ප්‍රේමය විතරක් නෙවෙයි, මොනවද මම කරන්නෙ, ඒ දේ උපරිමව සාර්ථකව කළා කියන්න කැමතියි. ආදරය පිළිබඳ කතා සුළු ප්‍රමාණයක් තියෙනවා. ඒවා මාර සුන්දරයි. අද මම මේ විදියට ඉන්නවා නම් අද මට යම්කිසි හයියක් ජීවිතේ තියෙනවා නම් ඒ කළ ආදරවලින් ලබපු අත්දැකීම් තියෙනවා. නැගිටීම් වැටීම් සියල්ලම මගේ ජීවිතේ හයියක් කරගත්ත කෙනෙක් මම. මේ මොහොතේත් ප්‍රේමය ගැන අත්දැකීම් තියෙන කෙනෙක්. කවදාහරි ආදරණීය පවුලක් වෙනුවෙන් මෞලිව හරියට තේරුම් ගන්න කෙනා හමුවන දවසට මෞලිගෙ ප්‍රේම මංගල්‍යය සිදුවේවි. එහෙම හමු නොවුණොත් මේ විදියටම ඉඳීවි.
තවත් මොනවද කියන්න තියෙන්නෙ?
කෝලම්කුට්ටමේ චූටාගේ චරිතය මම කරන්නෙ ඉතාම ආසාවෙන්. ඒ චරිතයට මම හරිම ආසයි. මට ලැබුණු තවත් වෙනස් චරිතයක්.
සඳුන් ගමගේ