අමරසිරිට ගයන්න ගීතයක් ලියන්න හිතුණේ මළගෙදරකදී - සමන් ආතාවුදහෙට්ටි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හිමිවීම් අහිමිවීම් අතරේ දෝලනය වන අපේ ජීවිත කතාවේ විවිධ කාල පරාසවල විවිධ තේමාවන්ගෙන් ලියැවෙන විවිධ පරිච්ඡේද ඇත. කාලය කෙමෙන් කෙමෙන් ගතවෙද්දී එම විවිධ පරිච්ඡේදයන් වෙනුවෙන් අපි විවිධ ගීත ගලපන්නට උත්සාහ කරමු යැයි මා ඔබට යෝජනා කළහොත්.. අප කවුරුත් නිරායාසයෙන්ම සිහියට නගන ගීත අතරේ එක් ගීයක් මම ඔබට කියන්නෙමි.

මලක් වුණේ ඇයි නුඹ මට
ජීවිතයට සුවඳ සලන
එනමුදු සිපගන්නට තහනම්
විලක් වුණේ ඇයි නුඹ මට
ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්

බටහිර සංගීතයට නෑදෑකම් කියන මේ ගීතය ගයන ඔහු නම් අද අප වඩාත් ආදරය කරන ප්‍රවීණ ගායන ශිල්පී අමරසිරි පීරිස් මහතාය. සංගීතවත් කළේ වයලීනය යැයි කියූ විට ලංකාවේ අපට ආදරණීයව සිහියට නැගෙන ප්‍රවීණ සංගීතඥ කළණි පෙරේරාය. ගීතය රචනා කළේ අද හදසරට තමන්ගේ කතාව ෙවනුෙවන් අකුරු ගලපන ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටිය. 

එදා එතරම් සතුටුදායක දවසක් නොවේ. අපේ මිතුරකුගේ පවුලේ ඥාතියකුගේ අවමංගල්‍යයක්. මම, කළණි, අමරසිරි තුන්දෙනාම එතැන හිටියා. ඔන්න ඔතනදි අමරසිරිට ගීතයක් ලියන්න ඕනෑ කියලා අදහසක් මතු වුණා. ඒ වගේම මේ ගීතය බටහිර සංගීතයට නෑකම් ඇතිව වැඩිපුර ගිටාරය යොදාගෙන සංගීතවත් විය යුතු තනුවකට ලියැවිය යුතු බවයි, අදහස වුණේ. ඒ කියන්නෙ හරියට ජිම් රීව්ස්ගේ ගීතයක් වගේ. ඉතින් ඒ අදහස් අනුවයි මේ ගීතය ලියැවුණේ. මම ගොඩක් ගීත ලියලා නැහැ. හැබැයි ලියූ ගී අතර වැඩිපුර කතාබහට ලක්වූ ගීතයක් තමයි මේ මලක් වුණේ ඇයි නුඹ මට ගීතය.

ඔහුට හුරුපුරුදු ළයාන්විත ස්වරයෙන් පවසද්දී. සිතේ මැවුණේ තේම්ස් නදිය අසබඩ සොඳුරු සැඳෑවකි. බටහිර අහසේ හිරු නැගෙන්නට හදන මොහොතක යාබද අවන්හලක මඳ උණුසුම් කෝපි කෝප්පයක් තොල ගාමින් නිදහසේ තම සුරතින් හිසකෙස් සකසමින් ගැඹුරු කල්පනාවක සිටින මැදි වියේ පුද්ගලයෙකි. අතීතය විසින් උදුරා ගත් හෝ අහිමි කළ හෝ හිමිකර ගන්නට කිසිසේත් වරම් නොමැති හෝ ප්‍රේමයක් විසින් රිදවන දිලිසෙන ඔහුගේ දෙනෙත්ය. සිතන්න.... ඒ මොහොතේ ඔහුට මේ ගීතය ඇසුණොත්.. ඉතින් කලාකරුවකු ඉන්ද්‍රජාලියකු යැයි මා කිව්වොත් ඔබත් ඊට එකඟ නොවන්නේද?

සමන් අතාවුදහෙට්ටි තම පාසල් චාරිකාව ඇරඹුවේ සියඹලන්ගමුව මහා විද්‍යාලයෙනි. ඔහුට අනුව හද්දා පිටිසර වන්නියේ පාසලකින් මූලික අධ්‍යාපනය ලැබූවෙකි. සමන්ගේ දෙමව්පියන් වූ ඒ.එච්. පියසේන මහතා සහ ජී.ඊ. පියසේන මහත්මිය ද පාසල් ගුරුවරු වූහ. ඒ.එච්. පියසේන මහතාට තම මුල්ම ගුරු පත්වීම ලැබුණේ රාජකීය විද්‍යාලයටය. එහෙත් එය ප්‍රතික්ෂේප කළ ඔහු ඈත පිටිසර ඇහැටුවැව විද්‍යාලය තෝරාගත් අතර අලුත විවාපත් වූ මේ යුවල තම පළමු දරුවා වන සමන්ට උපත ලබා දුන්නේද ඇහැටුවැව නම් සුන්දර, එහෙත් දුෂ්කර ගම් ප්‍රදේශයේදීය. ඒ.එච්. පියසේන මහතා මෙරට දරුවන්ගේ නැණ ගුණ වඩන්නට අගනා වටිනා ග්‍රන්ථ රුසක් සඳහා දායකත්වය ලබා දුන් ගුරු පියෙකි. පවුල තුළ වූ සාහිත රසකාමී පරිසරය සමන් සහ අශෝක දෙදරුවන් කෙරෙහිම බලපෑම් කළ අතර සමන් හට ගීත රචකයෙකු පමණක් නොව ලේඛකයකු, සන්නිවේදකයෙකු, පරිවර්තකයෙකු, හඬකැවීම් ශිල්පියෙකු, පිටපත් රචකයෙකු, රංගන ශිල්පියෙකු ලෙසද ශ්‍රී ලාංකික කලා රසික සිත පුබුදු කරන්නට එයම හේතුවක් විය. 

 

ගුවන්විදුලිය සමඟ ඔහුගේ සබඳතාව ආරම්භ වීමත් සමඟ ඔහු තුළ තිබූ ඉංජිනේරුවකු වීමේ සිහිනය සැබෑවක් කර ගැනීමට ඉඩක් හිමි නොවූ අතර පාසල් කරළියේ පෑ දස්කම් තමාගේ ගමන ගුවන්විදුලිය වෙත නැඹුරු කිරීමට හේතු වූ බව ඔහු පවසයි. අනතුරුව කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමෙන් පසු ඔහු ඉගෙනීම් කටයුතු හමාර කළේය.

&මම පාසල් නාට්‍ය කරන අවස්ථාවක එවකට ගුවන්විදුලියේ සේවය කළ ප්‍රභා අක්කා මාව දැක්කා. (ප්‍රභා රණතුංග - පළමු සිංහල නිවේදිකාව ඇයයි.) ඉතින් ඇය අප නාට්‍යයේ කිහිප දෙනකුට ගුවන්විදුලියේ ළමා පිටියේ වැඩසටහන්වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලබා දුන්නා. ඒ වගේම අපේ පාසලේ සේනාධීර සර් විද්‍යා මාමා කියලා වැඩසටහනක් කළා. එයටත් අපි සම්බන්ධ වුණා. ඔය 1967 දී පමණ. ඉන් පසු 1975 දී පමණ මා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සහාය නිවේදක මණ්ඩලයට එක් වුණා. පසුව වසර දෙක තුනකට පස්සේ ක්‍රීඩා අංශයේ ආරම්භයත් සමඟ එහි නිෂ්පාදකවරයකු ලෙස සේවයට එක් වුණා. පාසල් යන කාලේ ඉඳන්ම පත්තරවලට ලිවීම ආරම්භ කළා. මගේ තාත්තාත් පත්තරවලට ලිපි ලිව්වා. ගුවන්විදුලි වැඩසටහන් සඳහා පිටපත් ලිව්වා. පාසල් පෙළපොත් මණ්ඩලවලත් ඔහු හිටියා. මීටර සියය වගේ බොහෝ දෙනා කතා කරන පාඩම් ලිව්වේ මගේ තාත්තා තමයි. ඉතින් ඒ හැකියාවත් මට ආලෝකයක් වුණා.

ළමා පිටියට මමත් පිටපත්, කවි, කතා ලියන්න පටන් ගත්තා. ඒ වගේම පොඩි පොඩි ගීතත් රචනා කළා. පසු කලෙක පැවැත්වුණා නව පදමාලා කියලා වැඩසටහනක්. ඉතින් ඒකට මම ලියූ කවුරුන්ද ඔබ මගේ - කවුරුන්ද මා ඔබේ තමයි මගේ මුල්ම ගීතය. එහි නිෂ්පාදකතුමා තමයි අප අතරින් සමුගත් විශාරද ගුණදාස කපුගේ. ඔහු මේ ගීතය ගයන්න සුනිල්ටත් සංගීතවත් කරන්න රෝහණටත් දුන්නා.  

පසුකාලීනව ඉතා මධුර මනෝහර ගී ගඟුලක මෙරට ශ්‍රාවකයා හට කිමිදෙන්නට රෝහණ වීරසිංහ - සුනිල් එදිරිසිංහ අපූරු සුසංයෝගය ඇරඹුණේ සමන් අතාවුදහෙට්ටි ලියූ කවුරුන්ද ඔබ මගේ ගීතය ඔස්සේය.

සමන් යනු සංචාරයට ඉතා ප්‍රිය පුද්ගලයෙකි. යන එන බොහෝ තැන් ගැන වඩාත් හොඳින් විමර්ශනය කොට සටහන් තැබීම ඔහුගේ ප්‍රියතම කාර්යයකි. මේ සටහන් පසුකාලීනව ඔහු පුවත්පත් තීරු ලිපියක් ලෙස තම පාඨකයාට තිළිණ කළේය. මෙම තීරු ලිපි එකතුව ඔහු පසු කලෙක ග්‍රන්ථයක් ලෙස ද පාඨකයා හමුවේ තැබීය. ඒ අනුව සංචාරය කළ විවිධ රටවල් ඇසුරේ ලද අත්දැකීම් විෂය කර ගනිමින් ඔහු ඒ ඒ රටට වෙන් වෙන් වශයෙන් ග්‍රන්ථ කිහිපයක් රචනා කළේය. මුලින්ම ජපානය තෝරාගත් ඔහු සොඳුරු සැරිසර හතමිචිය දිගේ නමින් තම ප්‍රථම චාරිකා සටහන ජනගත කළ අතර එය 2011 වසරේදී ජපානයේ ටෝකියෝහිදී එය එළිදැක්විණි. ශ්‍රී ලාංකික කතුවරයකුගේ කෘතියක් මුල්ම වරට විදේශයකදී එළිදැක්වූ අවස්ථාව ලෙස මෙය බොහෝ දෙනා හඳුන්වයි.

පසුව 2012 දී චීනය පිළිබඳව ඔහු ලියූ සොඳුරු සැරිසර සේද මාවත දිගේ එළිදැක්වුණු අතර ඒ චීනයේ බෙයිජින් විදේශ භාෂා විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේ පැවැත්වූ අගනා උත්සවයකදීය. ඉන්පසු සොඳුරු සැරිසර සරවක් නදිය දිගේ කෘතියත්, සොඳුරු සැරිසර සක්වල පියස දිගේ කෘතියත්, රතු බලකොටුව දිගේ සහ රම්‍ය සාගරය දිගේ කෘතීන්ද සමන් තම ආදරණීය පාඨකයාට තිළිණ කළේය.

හඬකැවීම් ශිල්පියෙකු ලෙස ඔහුගේ භූමිකාවද මනරම්ය. ගලිවර්ගේ සුවිසැරිය, දොස්තර හොඳ හිත, ඔෂීන් ඒ අතර අදටත් රූපවාහිනී ප්‍රේක්ෂකයාගේ මතකයේ රුඳි චරිත හඬ මැවූ නිර්මාණයන්ය. තවද නිවේදකයකු ලෙස මනෝහාරි, මියුරු සර ආදී වැඩසටහන් ඔස්සේද ඔහු තම සොඳුරු හඬින් රසිකයන් ආමන්ත්‍රණය කළේය. එමෙන්ම රූකාන්ත ගුණතිලකගේ පළමු ඒකපුද්ගල ප්‍රසංගය නිවේදනයෙන් ඔපවත් කළේ සමන් අතාවුදහෙට්ටිය. මාලනී බුලත්සිංහලගේ මා ද ඔබම විය, සුනිල් එදිරිසිංහගේ සඳකඩ පහණ ආදිය සේම මෙරට බොහෝ ගී ප්‍රසංගවලද සමන් තම හඬ ප්‍රතිභාව තුළින් ජන හද දිනූ සන්නිවේදකයෙක් ලෙස කැපීපෙනෙන පුද්ගලයෙකි.

අතුල අධිකාරී හඬින් ඇසෙන සිලිලාර සිත නයනා ගීතයේ රචකයාද ඔහුය. ඔහුගේ පාසල් යුගයේ සිට අද දක්වා මේ චණ්ඩ සූර්ය නගරේ දාහය නිවනා සෙවණැල්ල නයනා නම් වන්නීය. දරු මුණුපුරන්ගේ සෙනෙහස, ආදරය විඳින මේ දෙමහල්ලන්ගේ ප්‍රේම කතාව ඇරඹුණේ නයනා මියුසියස් විද්‍යාලයේ සිසුවියක හා සමන් රාජකීය විදුහලේ සිසුවකු ලෙස ගත කරන කාලයේය. විවිධ තරග වැඩසටහන් ආදියේදී සිදුවූ හමුවීම් කලෙක ප්‍රේමයක් බවට පත්වුණු අතර පසුව දෙදෙනා අතිනත් ගත්හ. හඬින්, සිතුවිලිවලින් මනරම් සොඳුරු නිමැවුම් කරමින් ශ්‍රී ලාංකික කලා ලෝකය වර්ණ ගන්වන ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි නම් සොඳුරු නිර්මාණවේදියාට තව තවත් අපූරු නිර්මාණ ඔස්සේ ශ්‍රාවක, පාඨක, ප්‍රේක්ෂක සිත් රසගන්වන්නට නිරෝගී සුවය, දීඝායු හිමිවේවායි හදසර අපි සුබ පැතුම් එක් කරමු.

මොනිකා සේරසිංහ