අම්මා සමඟ තිබූ බැඳීම දරුවන් එක්කත් විඳිනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කොහොමද මේ දිනවල කලා කටයුතු?
 
අලුත්ම වේදිකා නාට්‍යයක් කළා ‘‘දෙවඟනක් කළුවරේ’’. ඒක තරංග බණ්ඩාරගෙ නිර්මාණයක්. ඊට අමතරව ශ්‍රියන්තගෙ නාට්‍යයේ. සුබ සහ යස රාස්ස – පරාස්ස සහ විකාශය වන ‘‘සංසාරිණි’ ටෙලිනාට්‍යයේත්, කවිතා නාට්‍යයේත්, සිහින ගෙනෙන කුමාරියේ නාට්‍යයේත් රඟපානවා. ආරියරත්න කළුආරච්චි මහතා අලුතින් කරන්න හදන මුද්‍රා නාට්‍යයේත් රඟපෑමට සූදානමින් ඉන්නෙ. 
 
ඔබට සිටින්නෙ දියණියන් දෙදෙනෙක්. ඒ බැඳීම ගැන කතා කරමු?
 
මගේ දූලා දෙන්නා සහ මා අතර ඇති බැඳීම ගැන කියන්න කලින් මගේ අම්මා සහ මා අතර තිබූ බැඳීම ගැන කියන්නම්. මගේ අම්මා සිංහල අවුරුද්දට ලැහැස්ති වූ විදිය මට මතකයි. අපේ තාත්තා මියගියේ 2007 දෙසැම්බරයේදි. 2008 අප්‍රේල් අවුරුද්ද ආවාම අපේ අම්මා එතෙක් කරගෙන ආ සිංහල අවුරුදු පෙර සූදානම එවර සිදුවුණේ නැහැ. ‘‘ඇයි අම්මෙ කියලා මම අම්මාගෙන් ඇහුවා.’’ මොකද අම්මා හරිම ආසයි සිංහල අවුරුදු චාරිත්‍ර කරන්න. ‘‘ඇයි අම්මා අදි මදි කරන්නෙ කියලා ඇහුවා’’. හරි නැහැනෙ පුතේ, දැන් මම කණවැන්දුම් කාන්තාවක්නෙ. තාත්තා නැහැනෙ. ඉතින් ඔයා, ඔය සිරිත් - චාරිත්‍ර සියල්ලට මුල් තැන දෙන්න කියලා අම්මා කිව්වා. ඒ හුදෙකලා බව එයාට දැනුණු විදිය නිසා එහෙම කියන්න ඇති.
 
‘‘නැහැ අම්මේ, අම්මාව සතුටු කරන්න තමයි අපි මේ ඔක්කෝම කරන්නෙ. ඒ නිසා අම්මා මුල් වෙලා ඒ දේවල් කරන්න කියලා මම අම්මට කිව්වා.’’
 
එවේලේ ඉඳලා හරි සතුටින් - උනන්දුවෙන් අම්මා ඒ සියල්ල කරන්න පටන් ගත්තා.
 
මගේ දියණියන් දෙදෙනා ගත්තොත් ඒ දෙදෙනාත් යමක් - හිතලා කරන්න පුළුවන් දූලා දෙන්නෙක්. එයාලට කියන්න ඕන නැහැ. බල්ලන්ට පීනන්නයි - ගැහැනුන්ට උයන්නයි උගන්වන්න ඕන නැහැ කියලා කියමනක් තියෙනවනෙ. ඉතින් මම එයාලට උයන්න පුරුදු කරලා නැහැ. එයාලාට රසවත් කෑම බීම හදන්න, ගෙදර දොර වැඩ කරන්න පුළුවනි. ලොකු දුව වෙනමනෙ පදිංචිය. පොඩි දුව ඉන්නෙ අපි එක්ක. එයාට කෑම පිළියෙල කරද්දි දිව පිනවීමට වගේම ඇස පිනවීමටත් තියෙන විදියට තමයි හරි පිළිවෙළට කෑම සකසන්නෙ.
ඒ වෙලාවට ශ්‍රියන්ත චූටි දුවව හරියට අගයනවා. ඒ දිහා බලාගෙන මම ලොකු සතුටක් ලබන්නෙ.
 
මේ දරු දෙදෙනා එක්ක ඇති බැඳීම මට වචනවලට පෙරළන්නට බැහැ. ගැහැනු ළමයකු බොහෝ විට අනුගමනය – අනුකරණය කරන්නෙ අම්මාව. මම කවදාවත් එයාලට අනුශාසනා - දේශනා දෙන්න ගියේ නැහැ. හැබැයි ආදර්ශයක් සැපයුවා. එහි හොඳම ප්‍රතිඵලය තමයි මේ වගේම සාකච්ඡාවකදි එයාලගෙන් අහපු ප්‍රශ්නයකට එයාලා දුන්න උත්තරය.
 
‘‘අපට කවදාවත් අපෙ අම්මා වගේ වෙන්න බැහැ කියලයි. අපේ අම්මා කියන්නෙ අත් දෙකෙන් වැඩ කරලා, පුළුවන් නම් කකුල් දෙකෙනුත් වැඩ කරන තරමේ ක්‍රියාශීලි ධෛර්යවන්ත චරිතයක් කියලයි.’’
 
පොඩි වයසේදි එයාලා එහෙම කිව්වේ. හැබැයි මම අද හිතන්නෙ මට වඩා ඒ දෙන්නා බොහෝම කාර්යසූර – නිර්මාණශීලී වගේම මටත් වඩා හිතන්න පුළුවන් දරුවන් දෙදෙනෙකු කියලයි. ඒක මට සතුටක් ආඩම්බරයක්.
 
සඳුන් ගමගේ