අම්මා මට හැම වෙලාවෙම කිවුවේ ඕන දෙයක් කරගෙන ඉගෙන ගන්න කියලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මුළු රටක්ම වසඟයට ගත හැකි රංගන ප්‍රතිභාවකින් මෙන්ම නර්තන ලාලිත්‍යයකින්ද හෙබි ඇය සිංහල  රිදී තිරයේ ජනප්‍රිය නිළිගොන්නේ පෙරමුණින්ම  පසුවන්නීය. වත්මනේ වාණිජ සිනමාවේ ඕනෑම චරිතයකට පණ පෙවිය හැකි රංගන ශිල්පිනියන් අතරද ඇය ඉදිරියෙන්ම සිටින තාරකාවකි. විටෙක රිදී තිරයේ පෙම්වතිය වන ඇය තවත් විටෙක හාස්‍ය රංගනයටද එක සේ දස්කම් දක්වයි. තවත් විටෙක ඇය අයුක්තියට එරෙහිව සටන් වදින  සටන්කාමිනියකි. ඇය නමින් රිදී තිරයේ හැඩකාරිය අනුෂා දමයන්තිය. මේ ඇගේ අපි නොදන්නා පැත්තය.

රංගනයට අමතරව මගේ තියෙන තවත් විශේෂ හැකියාවක් විදියට මම හඳුනාගෙන  ඉන්නේ  විලාසිතා නිර්මාණය සහ ඇඳුම් මැසීම, කලා ලෝකයේ නිළියක් විදියට ඉස්සරහට එන ගමනටත් මගේ ඒ හැකියාව අත්වැලක් වුණා. බහුතරයක් දෙනා මගේ ඒ නොදන්නා හැකියාව මා දැන ගත් ආකාරයත් හරි අපූරු කතාවක්.

රට ගිහිල්ලා ආපු කෙනෙක් මොනවා  හරි හේතුවක් හින්දා එයාගේ  මැෂින් එක විකුණුවා.  අපේ තාත්තා තමයි ඒක සල්ලි දීලා ගත්තේ. මට ඉතින් සෙල්ලමට වගේ අම්මාගේ පරණ සාරි  අරගෙන මට හිතෙන විවිධ දේ මහන්න  ගත්තා. මුලින්ම මම මහන  ඒවා හොඳටම හිරයි. ඒත් අම්මා මට බැන්නෙවත් මුකුත් කිවුවේවත් නැහැ. අම්මා මට හැම වෙලාවෙම කිවුවේ ඕන දෙයක් කරගෙන ඉගෙන ගන්න කියලා. අම්මාගේ ඒ අවසරය නිසාම මට කලා ලෝකෙට එනකොට හොඳට මහන්න පුළුවන්. කලා ලෝකේ ගොඩක් උත්සව අවස්ථාවලට සම්මාන උත්සවවලට මම  තමයි මගේ ඇඳුම් සියල්ල මහගත්තේ. සාමාන්‍යයෙන් හිතේ මැෂිමන්ට් එකට මහන්න පුලුවන් වීම මගේ විශේෂ හැකියාවක් කියලා මම හිතනවා. ඇත්තටම කොස්ටියුම් ඩිසයින් සම්බන්ධව මට විශේෂ ඇහැක් තියෙනවා. මං හිතෙනවා ඉදිරියේදී මං ව්‍යාපාරිකාවක් විදියටත් කෝස්ටියුම් ඩිසයින්වලින් ඉදිරියට පැමිණේවි කියලා. හැමෝම කැමැතියි ලස්සනට අඳින්න. ඒ අය වෙනුවෙන් තමයි මගේ ව්‍යාපාරය  ඉදිරියේදී පටන් ගන්නේ.  

ඇත්තටම මේ සම්බන්ධව විශේෂ මතක ගැන කිවුවොත් මගේ පළවෙනි පොටෝ ෂූට් එකට මමම ඩිසයින් කරගත් ඇඳුම මට විශේෂ කාරණාවක්. අදටත් 90% ක්ම මම අඳින්නේ මමම සැලසුම් කළ ඇඳුම් නිර්මාණ. මම රඟපාන ටෙලිනාට්‍ය, චිත්‍රපටවලටත් මම ගොඩක් දුරට පාවිච්චි කරන්නේ මගේම ඇඳුම්. මම ගොඩාක් කැමැති ඉන්දියන් ඩිසයින්වලට. මට හැම වෙලාවෙම ඇඳුම් තුළින් වෙනස් දෙයක් කරන්න තමයි බලන්නේ.

ඉස්කෝලේ යන කාලේ මම රංගනයට වඩා ප්‍රසිද්ධ වෙලා හිටියේ නර්තන ශිල්පිනියක් විදියට. ඊට අමතරව ගද්‍ය, පද්‍ය තරඟ වගේම කථික  තරගවලට ගිහිල්ලත් ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ වගේම  ඉස්සර ඉඳන්ම මම රහට ලියන්න ආසයි. පත්තර කොළයක් බිම වැටිලා තිබුණත් ඒක කියවන පුරුද්දක් පුංචි කාලේ ඉඳන් තිබුණා. හැම වෙලාවෙම දැනුමක් ලැබෙන දෙයක් මගේ ජීවිතේට ලබා ගන්න කැමැත්ත තියෙනවා. ඒ වගේම මං ආගම දහම පැත්තටත් දැන් ටිකක් යොමුවෙලා තිබෙනවා. ජීවිතයේ ඇත්ත කියන දේ මොකක්ද කියලා හොයාගෙන යනකොට බුදු දහම මට ලොකු අත්වැලක් වුණා. බුදු දහමේ පුංචි දේවල් ටික අපේ ජීවිතයට ගළපලා ගත්තාට අපට ජීවත් වෙන්න ලේසියි. 

සොබාදහම තුළින් සත්‍යය අවබෝධ කරගෙන සරලව  ජීවත්වීම මගේ වෙනත් හැකියාවක් විදියට මම හිතනවා. මම බුදු දහම වගේම සරස්වතී මෑණියන්වත් අදහනවා. කලාකාරිනියක් විදියට එය කළ යුතුම දෙයක්  විදියට මම සිතනවා. මානසික ප්‍රශ්න නැතිව ජීවිතය සතුටින් ගත කරන්න තමයි කැමැති. රංගනයට අමතරව මගේ වෙනත් හැකියාවන් මා තුළ වර්ධනය වුණා නම් ඒකට බලපාපු හොඳම චරිතය විදියට මම දකින්නේ මගේ අම්මා. සාමාන්‍යයෙන් මට ඉස්සර සිංදු කියන්න බැහැ. ඒක ලැජ්ජාවට කාරණාවක් විදියට තමයි මම සැලකුවේ. ඒත් අම්මා තමයි මාව ගායනයට උනන්දු කරලා ගායිකාවක් විදියටත් ප්‍රසංග වේදිකාවට එන්න උදව් කළේ. එතනදී ස්වර්ණවාහිනී හිටපු නාළිකා ප්‍රධානී බුද්ධික කුලසේකර මහතාවත් ඉතා ආදරයෙන් මතක් කරනවා. ඔහු තමයි ‘මෙගාස්ටාර්’ වලට මාව සම්බන්ධ කරගෙන ගායිකාවක්  විදියට ඉස්සරහට එන්න උදව් කළේ. මං හිතන්නේ කෙනෙකුට දක්ෂතාවයක් තියෙනව නම් ඒක එළියට ගන්නත් කෙනෙක් ඕන. මගේ දක්ෂතා එළියට ගත්ත හොඳම චරිතය වුණේ මගේ අම්මා. මගේ අම්මා හැම වෙලාවෙම මගේ පිටුපස්සේ හිටියා. ඇඳුම් කැපීමේදී වුණත් මං කරන්නේ අපරාදේ වැඩක් සාරි  ටික නාස්ති නොකර ඉඳපන් කියලා මට කිව්ව නම් අනුෂා කියන ඇඳුම් නිර්මාණ ශිල්පිනිය අද නැහැ. ඒ නිසා හැමෝටම අපේ අම්මා වගේ චරිත හමුවෙන්න ඕන. 

ඉදිරියේදී මම රඟපාපු ටෙලිනාට්‍ය හතරක් විකාශය වීමට තිබෙනවා. ඉදිරියේදී නිර්මාණය කරන තවත් චිත්‍රපට දෙකක් ගැන සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. ඒ වගේම දැන් අවුරුදු කාලේ ළඟ නිසා පිට රට ෂෝ කිපයකුත් සංවිධානය වෙමින් යනවා. කොරෝනාවලින් පස්සේ ඒ පැත්තෙනුත් වැඩ ටිකක් සංවිධානය වෙයි කියලා හිතනවා. මං හිතනවා ඉදිරියේදී මම ආරම්භ කරන මගේ ඇඳුම් නිර්මාණ ව්‍යාපාර කටයුත්තත් එක්ක මම තවත් කාර්ය බහුල වෙයි කියලා.

අමිල චින්තක ගමගේ