අම්මා, තාත්තා මාව හැදුවෙ උඹ – බං බොළං වගේ නොකියා
දසුන් පතිරණ යනු පසුගිය කාලයේ දී ශ්‍රී ලාංකීය රංගන ක්ෂේත්රයට දායාද වූ තාරුණ්‍යයේ අපූරු ශිල්පියෙකි. මේ දිනවල ටෙලි තිරයේ ‘‘මැස්සා’’ නාට්‍යයේ - මැස්සා ලෙස ඉදිරිපත් කරන රංගනය හරිම අපූරුය. ඒ ගැන හැමෝම කතා කරන අතරේ, මහාචාර්ය ආරියරත්න ඇතුගල සිනමා නිර්මාණයක් වන ‘‘සහෝ’’ චිත්‍රපටය නිසාද දසුන් ගැන බොහෝ දෙනා කතා බහ වෙන මොහොතක ‘‘දස්සා’’ ගේ සැබෑ ජීවිතයට මොහොතක් අපි එබිකම් කර බලමු.
දසුන්, කොහොමද වැඩකටයුතු එහෙම?
වැඩ ටිකක් වැඩි කාලයක් ඇවිත් තියෙන්නේ. පසුගිය කාලයේ දී අපට වැඩ නැති තරම් වටපිටාවක්නෙ රටේ තිබුණේ. දැන් ඔක්කොම වැඩ එක දිගට කෙරෙනවා. අපේ යූ ටියුබ් වැඩ, ටෙලිනාට්‍ය, ෆිල්ම්ස් වගේම වේදිකාවේ වැඩත් සිදුවෙනවා. සල්ලි නැති වුණත් මේ වෙලාවට මිනිස්සු විනෝදාස්වාදය ලබන්න කැමතියි. මිනිස්සු ඒ වෙනුවෙන් එන නිසා අපි කලා කටයුතු එක්ක බිසි වෙලා. මේ දිනවල ‘‘සහෝ’’ චිත්‍රපටයත් තිරගත වීම ඇරඹුණා. ඊට අමතරව ලක්මිණි අමරදේවගෙ අලුත් ටෙලි නාට්‍යයක වැඩ පටන් ගත්තා. විකාශය කෙරෙන ‘‘මැස්සා’’ නාට්‍යයේ රූගත කිරීම්වලටත් දායක වෙනවා.
ටෙලි තිරයේ දී දසුන් මේ දිනවල දකින්න පුළුවන් මැස්සා නාට්‍යයේ විතර ද?
මැස්සා සහ කොටස් කිහිපයකට පමණක් සීමා වූ හියුමන් එරර්ස් ඉරිදට විතරක් අයි.ටී.එන්. එකෙන් විකාශය වෙනවා.
දසුන් කොයි හැටි වෙතත් මැස්සා නාට්‍යය නිසා බොහෝ දෙනා ඔබ ගැන කතා කරන මොහොතක්. නමක් නැති චරිතයකට ඔබ හරි අපූරුවට ජීවය දෙනවා. ඒ ගැන කියමු?
නමක් නැති - ආතක් පාතක් නැති චරිත. එයාලගෙ හීනවලට යන්නෙ කොහොමද කියන එකත් එක්ක තමයි එයාලා ගැටෙන්නෙ. ලංකාවේ කොළඹ වගේ පරිසරයක ඉන්න එක්තරා සමාජයක කොටසක කතාවක් වගේ. මැස්සා නිසා දස්සා - මැස්සා වෙලා ඉන්න මොහොතක් මේ. මිනිස්සු ඒ නාට්‍යය ආසාවෙන් උනන්දුවෙන් නරඹන බව පෙනෙනවා. ඉන්දික ධර්මතිලකගෙ අපූරු නිර්මාණයක්. කොච්චර ඉල්ලුම තිබුණත් මේක කොටස් 100කට වඩා එහාට යන එකක් නැහැ. හොඳ කණ්ඩායමක් නිසා ඒ කණ්ඩායමෙන් එළියට එන අවුට්ෆුට් එක මාරයි. ඒ නිසා තමයි මිනිස්සු මැස්සාට මෙච්චර කැමති. කොහෙ ගියත් මිනිස්සු මා එක්ක කතා කරන්නෙත් ඒ ගැන තමයි. අපි ගමේ විවිධ චරිත කළානෙ. ඉතින් මේක කොළඹ සමාජයේ චරිතයක්. ඒක චේන්ජ් එකක්. මිනිස්සු ආස ඒකයි.
එතැනින් එහාට ගිහින් ‘‘සහෝ’’ ගැන කතා කරමු. දසුන්ගෙ කී වැනි චිත්‍රපට රංගනය ද?
මම හිතන්නෙ අට වැනි ෆිල්ම් එක වෙන්න ඕනෑ.
කොහොමද ‘‘සහෝ’’ චරිතය ඔබට දැනෙන්නෙ?
කැම්පස් කිව්වට පස්සේ, සරසවිය කිව්වට පස්සේ අපට දැනෙන්නෙ සහ මේ කාලයේ දී අපට මතක් වෙන්නෙ පිකටින්නෙ. ඒත් කැම්පස් එක ඇතුළෙ තියෙන ලව් සහ අවුල හරි ලස්සනට ඇතුගල සර් ගෙනැල්ලා තියෙනවා. කැම්පස් එකක් ඇතුළෙ ඉන්න ළමයින්ගෙ තියෙන අවුල සහ ආදරය කියන ඒ ඔක්කෝම ඒකෙ පෙන්නනවා.
රතු - ඉරු - සඳු යන චරිත අතර සහෝ ෆිල්ම් එකේ ඔබ ‘‘තරු’’ ඒ චරිතය ගැන කියමු?
තරු නිතරම හිතන්නෙ සහෝ නැති වුණේ එයා නිසා කියලා. එළියෙ තියෙන අරගලය සහ මිනිස්සුන්ගෙ හැඟීම්වල තියෙන චේන්ජ් එක පෙන්වනවා. රතු - ඉරු - සඳු සහ තරුගෙ ජීවිතවල විදිය දැන් තියෙන්නෙ ප්‍රේක්ෂකයින්ට බාර දෙන්න. අපි කළ දේ අපට කියන්න බැහැනෙ. දේශපාලකයින්ට දැනෙන විදියට ප්‍රේක්ෂකයින් අදහස් දක්වාවි. ඒ අදහස් අපට බාර ගන්න වෙනවා.
මෙතෙක් රඟපෑ ෆිල්ම්ස්වල චරිතවලට සාපේක්ෂව ‘‘දස්සාට’’ මෙහි රඟපාන ‘‘තරු’’ගෙ චරිතය දැනෙන්නෙ මොන විදියට ද?
මේකෙ ඇක්ටින් ස්ටයිල් එකම වෙනස්. මේකෙ හිතන විදිය, සිහින දකින විදිය සහ කතා කරන විදිය වගේම පොඩි ඩ්‍රාමා ටයිප් එකත් තියෙනවා. මම කැම්පස් ගිය කෙනෙක් නෙවෙයි, ඒත් ඒ වගේ චරිතයක් කරන්න ලැබීමම මට ලොකු අභියෝගයක් වුණා. මහාචාර්යතුමා සහ සහෝ ෆිල්ම් එකේ කණ්ඩායමෙන් ලැබුණු සහයෝගය නිසා ඒ චරිතය හොඳට කළාය කියලා මට දැනෙනවා. ප්‍රේක්ෂකයන්ට දැනෙන දේ ප්‍රේක්ෂකයන් අපට කියාවි.
මෙතැනින් එහාට දස්සාගෙ වෙනත් ෆිල්ම්ස් මොනවද එන්න තියෙන?
සුදේශ් වසන්ත පීරිස් මහතාගේ ‘‘සීරුවෙන්’’ චිත්‍රපටය. ඒකෙ ජැක්සන් අයියා, බුද්ධික ජයරත්න, ඩිස්නියි මායි රඟපෑව. ඒ ෆිල්ම් එකේ ජැක්සන් අයියා එක්ක රඟපාන්න ලැබීම මාරම ලොකු අවස්ථාවක්.
ජැක්සන් මහතා එක්ක රඟපෑම නිසා ඔබ ලැබූ අත්දැකීම්?
මට එතුමා එක්ක රඟපාන්න මාරම ආසාවක් තිබුණෙ. ‘සීරුවෙන්’ ෆිල්ම් එකේ ප්‍රධානව තියෙන්නෙ චරිත හතරයි. ඒ නිසා අපි අතර රඟපෑමේ දී ළඟ සබඳතා වැඩියි. වැඩි කාලයක් ජැක්සන් අයියා එක්ක ගත කරන්න ලැබීම මගේ පැත්තෙන් බැලුවොත් වාසනාවක්. ඒ ෆිල්ම් එක සහ ‘‘මාරියා’’ ෆිල්ම් එකත් ළඟදීම තිරගත වීමට නියමිතයි.
දස්සාගෙ අද ජීවිතය සම්පූර්ණයෙන්ම ගෙවෙන්නෙ රංගනය එක්ක විතරම ද?
වෙන රස්සාවක් නම් කරලම නැහැ.
ඇයි වෙන රස්සාවක් කරන්න හිතුණෙ නැත්තෙ?
පුළුවන් දේ එපායැ කරන්න. ඉස්කෝලෙ යන කාලයේදීත් ඩාන්සින් සහ ඩ්‍රාමා තමයි කළේ. ගණිතයට, විද්‍යාවට දක්ෂ වුණේ නැහැ. ඉතින් මට පුළුවන් දේ එක්ක ඉදිරියට ගියා.
දස්සාගෙ රංගන පරාසය ගත්තාම බොහෝ දෙනා කියන්නෙ, පෙනුමට වඩා දෙයක් කරනවා කියලයි. කොහොමද රංගනයේ මේ තරමට දෙයක් අල්ලා ගත්තෙ? මේ ඉදිරිපත් කිරීම හොඳට කරන්නෙ?
ඒකට හේතුව මුල තමයි. හරියට අර ගිරව් දෙන්නගෙ කතාව වගේ මම වැටුණෙ හරි තැනට. මහේන්ද්‍ර පෙරේරා මහතා යටතට. මගේ හිතන විදිය වගේම හිතන පරාසය පවා වෙනස් වෙන්න පටන් ගත්තා. මට හොඳ පාරවල් ටිකක් පේන්න ගත්තා. මම වැඩ කරන්න ඕන විදිය තේරුම් ගත්තා. ඒ ස්වභාවය එක්ක පිටපත තෝරා ගැනීමේ දී පිටපත මට දැනෙන්නෙ නැත්නම් මම ඒක තෝරා ගන්නෙ නැහැ. මට දැනෙන මට තේරෙන වගේම එළියෙ සමාජය එක්ක මට තියෙන්නෙ හොඳ ගනුදෙනුවක්. ඒ සියල්ල මගේ රංගනයට යොදාගෙන ඇති. ඒත් මගේ ඇක්ට් එක ගැන මට කමෙන්ට් එකක් දෙන්න බැහැ. එළියේ මිනිස්සු මම ආශ්‍රය කළේ පොඩි කාලයේ ඉඳලමයි. එතැනදී නම් මම තරා තිරමක් බැලුවෙ නැහැ. ඇත්ත මිනිස්සුන්ගේ ජීවිත මම කියවන්න ගත්තා. ඒවා තමයි රංගනයේ දී මට දායක වෙන්න ඇත්තෙ.
කොළඹ ඔබට දැනෙන්නෙ කොහොමද? ගම කොහෙද?
මට ගමක් නැති කෙනෙක්. මගේ ගම කොළඹ. මගේ අම්මා - තාත්තා දෙන්නම මරදානෙ. තට්ටු ගෙවල්වල තමයි ජීවත් වුණේ. ඒ නිසා කොළඹ මට සමීප බවක් තියෙනවා. ගම තමයි මට දුරස්ථ. ඒ නිසා මැස්සා චරිතය කරන්න මට තරමක් පහසු වුණා.
කොළඹ විදිය ගැන දසුන්ට හිතෙන්නෙ? ගමට සාපේක්ෂව?
ඉස්සර තමයි කොළඹ මරදානෙ වගේ කිව්වාම ‘‘අම්මෝ’’ කියන තරමට අවුල් පැති වුණේ. ඒත් අද එහෙම නැහැ. හොඳ ජොබ් කරන, හොඳ ගෙවල් තියෙන, හොඳ මිනිස්සු ඉන්න පරිසරයක්. ගමේ වුණත් ඒක පොදුයි. හැම පැත්තකම හොඳ නරක තියෙනවනෙ. ජීවිතයට අපට ලැබෙන්නෙ ඒ සියල්ලෙන් අත්දැකීම් සහ පළපුරුද්දක්.
කොළඹ හැදී වැඩී දස්සා ජීවිතයට ගත්ත හොඳ දේ?
අම්මා, තාත්තා මාව හැදුවෙ උඹ – බං බොළං වගේ නොකියා. මරදාන වගේ පැත්තක වුණාට ඒ වචන භාවිත කළේ නැහැ. මාව හරියට පරිස්සම් කළා. මට ඒ වුණාට බොරුවට මවා ගෙන ජීවත් වෙන්න, වෙන ස්වරූපයකින් ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. සැබෑ මම විදියට මට ඉන්න ඕනෑ. කැමරාව ඉදිරියට ගියාම, ඇක්ෂන් කැමරා කට් කියලා ඉවර වුණාම, සුපුරුදු සාමාන්‍ය දසුන් හෙවත් දස්සා තමයි මම. ඒක මේන්ටේන් කරන දෙයක් නෙවෙයි. මට දැනෙන දේ මම කරනවා. කොළඹ සමාජය මට හුරු පුරුදු නිසා ඒක ගාණක් නැහැ.
දස්සා - කණ්ණාඩිය අසලට ගිහින් ඔබට ඔබගේ රූපය දිහා බැලුවාම ඔබ ගැන හිතෙන්නෙ මොන විදියට ද?
මේ ආ ගමන ගැන සතුටුයි. මොනවා වුණත් මේක ඇතුළෙ දේවල් ටිකක් කළානෙ කියලා හිතෙනවා. මට මම ගැන සතුටුයි. මම මාව තමයි තදින්ම විශ්වාස කරන්නෙ. දෙවියො සහ නොපෙනෙන බලවේග විශ්වාස කරන්නෙ නැහැ. මම ඉන්නෙම මාව විශ්වාස කරගෙන. කණ්ණාඩිය ළඟට ගියාම මම මගෙන්මයි සියලු දේ අහන්නෙ. කළ යුතු දේ ගැන හිතන්නෙ. මම හිතනවා මම හොඳ මනුස්සයෙක් කියලා.
සඳුන් ගමගේ