අම්මා කෙනෙක් වෙන්න ඇය බෑ කීවේ නෑ
Lockdown කාලේ ගැන කියවෙන සුනිල් ප්‍රේමරත්නගේ අලුත් චිත්‍රපටය ගැන අපිට පොඩි විස්තරයක් කියමු?
මගේ පළමු චිත්‍රපටය වුණු ටවුමේ ඉස්කෝලේ නැරඹූ ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක සුනිල් ටී මහතා කුඩා දරුවකු ගැන සංවේදී කතාවක් නිර්මාණය කළොත් ඔහු නිෂ්පාදනය කරන්නම් කියලා යෝජනා කළා. තවත් චිත්‍රපට දෙකක් අධ්‍යක්ෂණය කළාට පසුව කොවිඩ් කාලේදී නිවසට වී මම පිටපත් තුනක් රචනා කළා. එයින් එක තේමාවක් මගේ ඔළුවට ආවට පසුව මම සුනිල් ටී මහතාට ඒ අදහස දුරකථන ඇමතුමක් දීලා කිව්වා. ඔහු ඒකට කැමති වුණාට පසුව මම ඒ කතාව පිටපත් කළා. ඒක තමයි Lockdown ලෙසින් අධ්‍යක්ෂණය වුණේ. මුලින් සුනිල් ටී ප්‍රනාන්දු මහතා පමණක් නිෂ්පාදනය කරන්න සූදානම්වෙලා හිටියත් පසුව සංගීත් අල්ගම මහතා සහ නීල් සංජීව මහතාත් නිෂ්පාදනයෙන් දායක වුණා.
මෙහි ප්‍රධාන චරිත ලෙසින් සම්බන්ධ වෙන්නේ චුලක්ෂි රණසිංහ සහ රොෂාන් රණවනයි. ඔවුන් මේ සඳහා සම්බන්ධ කර ගැනීම කාගේ අදහසක්ද?
රොෂාන් රණවන කියන්නේ අපේ සිනමාවේ සිහින කුමාරයා කියලයි බොහෝ අය කියන්නේ. මෑත කාලයේදී ඔහු විවිධ චරිතවලින් ඔහුගේ සාර්ථකත්වය පෙන්නුම් කළා. ඔහු චරිතාංග නළුවෙක් ලෙසයි මම දකින්නෙ. ඔහුට විවිධ තේමාවන් ඔස්සේ රංගනයෙන් දායක වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ නිසා තමයි රොෂාන්ව ප්‍රධාන චරිතය ලෙසින් තෝරාගත්තේ. චුලක්ෂි කියන්නේ ඉතා දක්ෂ නිළියක්. මේ චිත්‍රපටයේ ඇය කුඩා දරුවෙක් ඉන්න මවක් ලෙසයි රඟපාන්නේ. ඒ නිසා මවකගේ චරිතයක් රඟපාන්න ඇය කැමති වේදෝයි සැකයක් තිබුණා. නමුත් පිටපත ගැන කියද්දී කිසිම සැකයකින් තොරව ඇය ඒ චරිතය බාරගත්තා.
චුලක්ෂි, රොෂාන් සිනමාවට දක්ෂයන් වුණත් මෙහි ප්‍රධාන කතා නායිකාව වුණු කුඩා දියණිය සිනමාවට අලුත් මුහුණක්. ඒ චරිතයට ඇයව තෝරාගත්තේ කොහොමද?
කතාව ලියලා ඉවර වුණාට පසුව &පිටපත හොඳට ලියවුණා* කියන විශ්වාසය මගේ හිතට ආවා. නමුත් මේ කතාව දිවයන්නේ අවුරුදු තුනක දරුවෙක් වටායි. ඒ චරිතයට ගැලපෙන දරුවෙක් තෝරාගැනීම මට අභියෝගයක් වුණා. ඔය අතරේදි සුනිල් ටී ප්‍රනාන්දු මහතා රංගන ශිල්පිනී රාජිතාගේ කුඩා දියණිය වන අෂ්ලි ලියානා පිළිබඳව මට යෝජනාවක් කළා. ඒ අනුව මම ඒ කුඩා දියණිය ගැන බැලුවා. ඇය වෙළෙඳ දැන්වීම් කිහිපයකටම ඒ වෙද්දි සම්බන්ධවෙලා හිටියේ. ඒ නිසා තමයි ඒ දරුවාව මේ චරිතයට තෝරාගත්තේ. කියන දේ චූටි දුවට හොඳට තේරෙනවා. ඒ අනුව ඇය උනන්දුවෙන් මේ චිත්‍රපටයට දායක වුණා. මීට අමතරව මේ චිත්‍රපටයේ අපේ රටේ ප්‍රවීණ කලාකරුවන්, කලාකාරියන් කිහිප දෙනෙක්ම රංගනයෙන් දායක වෙනවා. මට අවශ්‍ය නළු නිළියන් සම්බන්ධ කර ගන්න සුනිල් ටී ප්‍රනාන්දු මහතා ඇතුළු නිෂ්පාදකවරුන් තුන්දෙනාම මට නිදහස ලබා දුන්නා. ඒ අනුව පෙර නිර්මාණවලටත් වඩා හොඳින් මේ චිත්‍රපටය කරන්න මම සූදානම් වෙනවා. මේක කොවිඩ් කාලෙදි වුණු සිදුවීමක් වටා ගෙවුණු කතාවක් නිසා රෑගත කිරීම් කරන්න තියෙන තැන් වුණත් අඩුයි.
මේ වෙද්දි ඔබ ළඟ තව නිර්මාණ කිහිපයක්ම තියෙනවා. Lockdown චිත්‍රපටයට පසුව ඊළඟ නිර්මාණය කුමක් වෙයිද?
දැනටමත් එක්තරා නිෂ්පාදකවරයෙක් %භූමිරංග^ නම් මගේ ඊළඟ චිත්‍රපටය වෙනුවෙන් සම්බන්ධවෙලා ඉන්නේ. එය මේ වෙද්දි තාක්ෂණයත් සමඟ පවතින ගැටලු ගැන කියවෙන නිර්මාණයක්
Lockdown අධ්‍යක්ෂක සුනිල් ප්‍රේමරත්න මහතාගේ කතාබහෙන් පසුව අපිත් සමඟ එකතු වුණේ එහි නිෂ්පාදක සුනිල් ටී ප්‍රනාන්දු මහතායි
Lockdown ඔබේ හැත්තෑ හතර වැනි චිත්‍රපට නිෂ්පාදනයයි. මෙවැනි චිත්‍රපටයකට දායක වෙන්න හිතුණේ ඇයි.. මොකක්ද තිබුණු විශේෂත්වය?
සුනිල් ප්‍රේමරත්න මහතා අධ්‍යක්ෂණය කළ චිත්‍රපට තුනක් මම බැලුවා. ඔහු නිර්මාණාත්මක පැත්තෙන් දක්ෂතා ඇති පුද්ගලයෙක් කියලා මට තේරුණා. ඒ නිසා හොඳ පිටපතක් තිබුණොත් මට කියන්නැයි මම ඔහුට කිව්වා. ඒ අතරේදි තමයි ඔහු Lockdown චිත්‍රපටයේ පිටපත ගැන මට කිව්වේ. මුලින් මේ චිත්‍රපටය මට තනියම නිෂ්පාදනය කරන්න හිතුණත් මගේ හිතවත් මිත්‍රයන් දෙදෙනෙක් වන නීල් සහ සංගීත් මේකට සම්බන්ධ කර ගත්තා. ඉදිරියේදීත් අපි තුන්දෙනාගේ එකතුවෙන් තව නිර්මාණ කිහිපයක්ම නිෂ්පාදනය වේවි.
දිශානි ජයමාලි