අපිව බලන්න අතින් අල්ලන්න පොරකද්දි ආදරේ හොඳටම දැනුණා - දසුන් ශානක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලෝකයේ ඕනෑම ප්‍රබල කණ්ඩායමකට අභියෝග කරන්න පුළුවන් කණ්ඩායමක් මට ඉන්නවා 

දෙමව්පියන් තමන් පිළිබඳව විශ්වාසය තබා ලබාදුන් නිදහස ශ්‍රී ලංකා ක‍්‍රිකට් නායකයා ලෙස සාර්ථක වීමට ප‍්‍රධාන සාධකයක් බවට පත්වූ බවත් ජාති හෝ ආගම් භේදයකින් තොරව සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ ක‍්‍රිකට් කණ්ඩායමේ නායකයා යන හැඟීමෙන් කටයුතු කරන බවත් ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස ක‍්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක පැවසීය. 

ඔස්ට්‍රේලියාවේදී ලබන 16 වැනිදා ආරම්භ වන විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට පිටත්ව යෑමට පෙර ‘'හදසර' සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් දසුන් එසේ පැවසීය. 'හදසර' යොමු කළ ප‍්‍රශ්නවලට දසුන් වැඩිදුරටත් මෙසේ පිළිතුරු සැපයීය. 

ඔබ දෙමව්පියන්ගේ කීකරු පුත‍්‍රයෙක්ලු නේද?

මම අම්මගේ ලොකු පුතා. මට මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. අම්මා මට පොඩි කාලයේ සිටම කැමති දේ කරන්න නිදහස දීලා තිබුණා. ඔවුන්ට විශ්වාසයක් තියෙනවා මම වැරදි දෙයක් නොකර හරි පාරේ යනවා කියලා. එය මට සාර්ථකත්වයට ලොකු සහයෝගයක් වුණා. තාත්තත් මට විශාල සහයෝගයක් දුන්නා. 

ඒ වගේම මගේ ජීවිතයට එකතු වූ බිරිඳ විශාල සහයෝගයක් දෙනවා. ඒ සහයෝගය නොමැති වුණොත් විවාහකයෙක් හැටියට ක‍්‍රීඩාවෙන් සාර්ථක වෙන්න ලැබෙන්නේ නෑ. ආච්චිත් මගේ සමීපතමයන් අතර ඉදිරියෙන් ඉන්නවා. ආසියානු කුසලාන ජයග‍්‍රහණයෙන් පසුව ඇය මාව බලන්න ආවා. ඒ වගේම ගමේ විශාල පිරිසක් ආවා මාව බලන්න. මම ගමේ ජනතාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන කෙනෙක්. 

ඔබ සිංහල බෞද්ධයෙක් හැටියට සෙසු ජාති සහ ආගම්වල පුද්ගලයන් සමඟ ගනුදෙනු කොහොමද?

මම අනිවාර් යෙන්ම සිංහල, දෙමළ, හින්දු හෝ මුස්ලිම් යන ජාතිය හෝ ආගම පිළිබඳව අවධානය යොමු නොකර ශ්‍රී ලාංකිකයෙක් කියන මතයේ ඉඳලා වැඩ කරන කෙනෙක්. මාත් සමඟ ඉන්න අය දන්නවා මම කොහොමද වැඩ කරන්නේ කියලා. සියලුම දෙනා සමඟ සුහදව කටයුතු කරන්න තමයි කැමති. 

දසුන් ශානකගේ ක‍්‍රිකට් සාර්ථකත්වය ගැන මතය කොහොමද?

මීගමුව ශාන්ත පීතර විදුහල සහ මීගමුව මාරිස්ටෙලා විදුහල යන විදුහල් දෙකටම මම ක‍්‍රීඩා කළා. මම ශ්‍රී ලංකා වයස 19 න් පහළ ක‍්‍රීඩා කරලා නෑ. නමුත් මගේ පාසල වෙනුවෙන් ලකුණු දහසක් රැස්කර දස්කම් දැක්වුවා. ඒ වගේම මගේ ක‍්‍රීඩා සමාජය වන එස්.එස්.සී. සහ මම සේවය කරන සම්පත් බැංකුවෙන් ලැබුණු සහ ලැබෙන සහයෝගය අමතක කරන්න නම් බෑ. 

මම කවදාවත් නායකත්වය දරන්න කියලා හිතාගෙන හිටපු කෙනෙක් නෙවෙයි. නමුත් නිවැරදි තීරණය නියම අවස්ථාවේදී ගන්න කෙනෙක්. ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ යන ක‍්‍රීඩකයන් දෙපාර්ශ්වයෙන්ම සහයෝගය නොලැබුණේ නම් මට නායකයා හැටියට සාර්ථක වෙන්න බෑ. ක‍්‍රීඩකයෝ මම කියන දේ අහනවා. මමත් ක‍්‍රීඩකයෝ කියන දේ අහනවා. ඒ අවබෝධය තිබීම කණ්ඩායමකට ඉතාමත් වැදගත්. 

ඔබට සියලුම දෙනා එකතු කරගත් නායකත්වයක් තිබෙනවා නේද?

එම තත්ත්වයට කණ්ඩායමේ අවබෝධය ඉතාමත් වැදගත්. පුහුණුකරුවන් ඇතුළු කාර්ය මණ්ඩලය මෙන්ම ක‍්‍රීඩකයන් පාලනය කරන ආකාරය ඉතාම වැදගත්. අපි සියලුම දෙනා එකම වයස් කාණ්ඩයේ ඉන්න ක‍්‍රීඩකයන් වීම නිසා ඕනෑම දෙයක් කතා කරලා විසඳගන්න පුළුවන්. 

ක‍්‍රීඩකයන් මම කියන දේ පිළිගන්න නම් මගේ දක්‍ෂතා විශේෂයෙන්ම ගොඩක් වැදගත් වෙනවා. භානුක, දුෂ්මන්ත, කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක සහ වනිඳු ඇතුළු ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් මගේ දක්‍ෂතා අනුව මට ගෞරව කරනවා. මමත් ඔවුන්ට ගෞරවය දක්වනවා. ඒ නිසා තමයි ඔවුන් මගේ මතයට රොක්වෙලා ඉන්නේ. 

ආසියානු කුසලාන ජයග‍්‍රහණය ලැබූ අවස්ථාවේදී ඇතිවුණේ මොනවගේ හැඟීමක්ද?

ඇත්තටම කිව්වොත් කියාගන්න බැරි ලොකු සතුටක් ඇතිවුණා. ලාබාල කණ්ඩායමක් නිසා බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුණේ නෑ අපි ආසියානු ශූරයන් වෙයි කියලා. රටේ වර්තමාන තත්ත්වය තුළ ජනතාවට එවැනි ජයග‍්‍රහණයක් ලබාදීමට හැකිවීම ගැන මට පුදුම සතුටක් ඇතිවුණා. ශ්‍රී ලංකාව තුළ සහ විදේශවල සිටින ජනතාවට කාලයකට පසුව ක‍්‍රිකට් ජයග‍්‍රහණයකින් හිත පුරා සතුටු වෙන්න ලැබීම ගැන මම හදවතින්ම සතුටු වුණා. ඒක වචයෙන් විස්තර කරන්න පුළුවන් හැඟීමක් නෙවෙයි. 

ආසියානු කුසලානය ජයග‍්‍රහණය කළ පසු මුලින්ම මතක් වුණේ කාවද?

මගේ පවුලේ සාමාජිකයන් අපේ ජයග‍්‍රහණය පියවි ඇසින් බලාගන්න ඩුබායි ක‍්‍රීඩාංගණයට පැමිණ සිටියා. ඒ නිසා තනිකමත් දැනුණේ නෑ. ඒ වගේම ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු නිලධාරීන් සිටියා. ඔවුන් සියලු දෙනා අපිට ඒ අවස්ථාවේදීම සුබ පැතුවා. 

ආසියානු ශූරයන් වෙයි කියලා බලාපොරොත්තුවක් තිබුණද?

ශූරතාව දිනන්න පුළුවන් වෙයි කියලා මගේ හිතේ කොණක බලාපොරොත්තුවක් තිබුණා. අපේ කණ්ඩායම එවැනි තරගාවලිවල පළමු තරගය සාර්ථක නොවන ගතියක් තියෙනවා. ඒ නිසා තමයි මම තරගාවලියට පිටත්ව යෑමට පෙර කිව්වේ ඇෆ්ගනිස්තානය පරාජය කළ යුතුයි කියලා. පසුගිය තරගාවලි කිහිපයක් ගත්තොත් අපේ කණ්ඩායම දෙවැනි තුන්වැනි තරග වනවිට ස්ථාවර වෙලා තියෙනවා. ආසියානු කුසලානයේදීත් එයම ප‍්‍රදර්ශනය කළා. 

එම ජයග‍්‍රහණයත් සමඟ කණ්ඩායමේ එකමුතුව තවත් ඉහළ ගියා නේද?

ඇත්තෙන්ම කිව්වොත් ඒක අපි පසුගිය කාලයේ අත්දැකීම් නොලබපු දෙයක්. වයසින් අඩු ක‍්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් හැටියට ලබපු හොඳ අවස්ථාවක්. ක‍්‍රීඩා කළ හෝ නොකළ ක‍්‍රීඩකයන් ඇතුළු සියලුම දෙනා අනෙක් කෙනාගේ දස්කම් අගය කරන තත්ත්වයක් ඒ ජයග‍්‍රහණයත් සමඟ නිර්මාණය වී තිබෙනවා. එය ශ්‍රී ලංකා ක‍්‍රිකට් අනාගතයට ඉතාමත්ව වැදගත්. 

ජයග‍්‍රහණයෙන් පසුව ලැබුණු ප‍්‍රතිචාර ගැන හිතෙන්නේ මොනවද?

අපේ රටට පය තබන විට අපි හිතුවේ නෑ ඒ ආකාරයට උණුසුම් ලෙස අපිට ප‍්‍රතිචාර දක්වයි කියලා. හිතුවට වඩා පිළිගැනීමක් ලැබුණා. අපිව බලන්න, අතින් අල්ලන්න ඒ වගේම අත්සනක් ගන්න ජනතාව පොරකෑවා. ඒක පුදුම අත්දැකීමක්. මට ඇතැම් අවස්ථාවල හිතාගන්න බැරි වුණා ජනතාව අපිට කොතරම් ආදරෙයිද කියලා. 

ලෝක කුසලාන තරගාවලියේ බලාපොරොත්තුව කොහොමද?

හැම කණ්ඩායමක්ම දක්‍ෂයි. එහි තර්කයක් නෑ. කිසිදු කණ්ඩායමක් අවතක්සේරු කරන්න හොඳ නෑ. තරගයෙන් තරගයට ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. නැමීබියා, එක්සත් ආරාබි ආදි සියලුම කණ්ඩායම් හොඳ තත්ත්වයක ඉන්නවා. 

ආසියානු කුසලානය ජයග‍්‍රහණය කරලා අවසන්. දැන් එය ඉතිහාසයට එකතුවෙලා. දැන් අපි ඉදිරි තරගාවලිය ගැන බලන්න ඕන. හිත යට තියෙන්නේ සුබවාදී දෙයක්. අපි කණ්ඩායමක් හැටියට ක‍්‍රීඩා කළොත් අපිට ලොකු අවස්ථාවක් තියෙනවා සෙසු කණ්ඩායම් පරාජය කරන්න. ලෝකයේ ප‍්‍රබල කණ්ඩායම්වලට අභියෝග කරන්න හැකියාව තියෙන කණ්ඩායමක් මට ඉන්නවා. 

I යොහාන් භාසුරු
I සේයාරූ- සුමුදු හේවාපතිරණ