අප්‍රේල් 14 වැනිදා සියතේ යන සංජයගේ ඉරුන්දති



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන සංජය වෙදාරාච්චිගේ කුළුඳුල් ටෙලි නිර්මාණය වන ඉරුන්දති අවුරුදු ටෙලි චිත්‍රපටයක් ලෙස අප්‍රේල් 14 වැනිදා සියත රූපවාහිනි නාලිකාවේ උදැසන 10ට විකාශය වීමට නියමිතව ඇත. චාලක රණසුරියගේ තිර රචනාවෙන් හැඩවුණ මෙම ටෙලි චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ වෛද්‍ය දර්ශන උකුවෙලය.

ඉරුන්දති හි ප්‍රධාන භූමිකා ත්‍රිත්වය වන්නේ අරුන්දති, නන්දිමා හා අරවින්දය. ඊට පණ පොවන්නේ ප්‍රමිලා තෙනුජනා, දුලීකා මාරපන හා නිරෝෂන් විජේසිංහය. ඔවුන් තිදෙනාට අමතරව ශනුකි යුනාරා, කිර්ති රත්නායක, චාමර ප්‍රියදර්ශන හා තිලකරත්න සමරක්කෝඩි යන නළුනිළියන් රංගනයෙන් දායක වී ඇත.

ඉරුන්දති කතාව දිග හැරෙන්නේ මෙසේය. අරවින්ද හා නන්දිමා සාර්ථක පවුල් ජිවීතයක් ගෙවන අඹුසැමි යුවලකි. ඔවුන්ට සනායා නමින් පාසල් යන ගැණු දරුවෙකුද සිටියි. දිනක් උදෑසන රැකියාවන් සඳහා පිටත්ව යන ඔවුන්ට ඉරුන්දති නම් සාරියකින් හැඩවුණ සුන්දර තරුණියක් පාර මාරුවෙමින් සිටිනු දක්නට ලැබේ. අරවින්දට ඇය කෙරෙහි සිතක් පහළවන අතර, නන්දිමාටද ඉන් සැකයක් මතුවෙයි. ඉරුන්දති යනු පාසල් ගුරුවරියකි.

නියමිත වෙලාව අල්ලා හැමදාම පිටත්වන අරවින්දට උදෑසන පාර මාරුවෙමින් සිටින ඉරුන්දති කිහිප වතාවක් මුණ ගැහෙයි. ඉරුන්දති දකින අරවින්දගේ මුහුණ වෙනස් වන ඉරියව් දැක නන්දිමා කෝපයට පත් වෙයි. ඇය හැම විටම අරවින්දට අඩපාලි කියා ඔහුව සමච්චලයට පත් කරයි. අරවින්ද මෙසේ ඉරුන්දතිට වශිවන්නේ ඇයට ඇති දිගු කොණ්ඩය නිසාවෙන් බව නන්දිමා තේරුම් ගනියි.
ඇයද ඉන් පසුව ඉරුන්දති මෙන් හැඩවන්නට උත්සාහ ගන්නා අතර, අරවින්ද ඇයව හාස්‍යයට ලක් කරයි. අරවින්ද හා නන්දිමාගේ ආරවුල් මැද කතාවේ ඉතිරිය ගලා යන අතර, කුතුහලයෙන් පිරූණු අවසානයක් ප්‍රේක්ෂකයාට දකින්නට ලැබෙයි. එමෙන්ම මෙහි අවසානය සිදුවන්නේ වර්තමාන සමාජයටද ඉතා හොඳ පණිවිඩයක්ද එකතු කරමිනි.

මෙම ටෙලි චිත්‍රපටයේ සංස්කරණ කටයුතු සිදු කර ඇත්තේ ඉන්දක උදයනය. කැමරාකරණය සහ ආලෝක කරණයෙන් මහේෂ් කරුණාරත්නද,  නිෂ්පාදනය කළමනාකරණයෙන් සංජුල දිවාරත්නද,  සහය අධ්‍යක්ෂණයෙන් ඉදුනිල් දැරණියගල හා ශෂිකා ෆොන්සේකාද සහය වී තිබේ. ඉරුන්දති හි තේමා ගීතය රචනා කොට ඇත්තේද සංජය වෙදාආරච්චි වන අතර, ශේයාල් ද සිල්වා හා ශම්මිකා අමානි ගීත ගායනයෙන් ඊට සහය වී ඇත. සංගීත අධ්‍යක්ෂණය සිදු කොට ඇත්තේ විශාරද ලසන්ත රත්නායකය.

බුද්ධික සේනාධීර