අපට එමිනෙම්ලගෙ නිර්මාණ කරන්නවත් මෙච්චර කාලයක් ගතවුණේ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඉස්සර බොරළු පාර

ගාලු පාර ගාලු පාර

සුද්දා තාර දාපු

ගාලු පාර ගාලු පාර

අද අපි කවුරුත් යන්නේ

අද අපි කවුරුත් යන්නේ

පාරේ ගාලු පාරේ

පාරේ ගාලු පාරේ

ජිප්සීස් කියන්නේ කලින් කලට හරි අමුතු විදියෙ, වෙනස් නිර්මාණ සංගීත ලෝකයට දායාද කළ කණ්ඩායමක්. වසරේ තුන්සිය හැටපස් දවසේම වගේ කාර්යබහුල ජිප්සීල්ලා ගැන අද විශේෂයෙන් කතා වන්නේ ‘ගාලු පාරේ’ ගීතය නිසයි. මේ ගීතය ජිප්සීස් සුනිල් පෙරේරා හෙවත් ආදරණීය සුනිල් අයියා ජීවත්ව සිටියදී නිර්මාණය කළ අවසන් ගීතය වීමද විශේෂත්වයකි. නමුත් මේ ගීතය අද මෙලෙසින් මියුසික් වීඩියෝවක් ලෙස එළි දැක්වී තිබෙන්නේ සුනිල් අයියා නොමැතිවය. මෙම මියුසික් වීඩියෝවේ රූප රචනය වෙනදා මෙන් නිර්මාණය වූවක් නොවේ. ද්විමාන හෙවත් 2D ග්‍රැෆික් ඇනිමේෂන් පරිගණක  නිර්මාණයක් ලෙස මෙය නම් කළ හැකියි. ගාලු පාරේ ගීතය එලෙසින් වඩාත් නිර්මාණාත්මක ග්‍රැෆික්කරණයෙන් නිර්මාණය කළ දක්ෂයා කවුද කියලා ඔබ දන්නවාද?

ඔහු නමින් රැන්ඩි ක්‍රිස්ටෝෆර් පෙරේරාය. මේ රැන්ඩි යනු ලංකාවට වඩා ජාත්‍යන්ර සංගීත කරළියේ නමක් දිනූ ග්‍රැෆික්කරණයේ නිර්මාණ ශිල්පියෙකි. ලෝ ප්‍රකට ‘එමිනෙම්’ ඇතුළු සංගිත කණ්ඩායම්වල නිර්මාණවලට දායකත්වය ලබාදී ඇති රැන්ඩි ගාලු පාරේ ග්‍රැෆික්කරණය කළ විදිය මොන වගේද කියා මුලින්ම අපි අහමු.

රැන්ඩි ක්‍රිස්ටෝෆර් පෙරේරා, හෙවත් ලෝකයේ බොහෝ දෙනා ඔබව දන්නේ රැන්ඩි ක්‍රිස් (Randy Chriz)  ලෙසයි. රැන්ඩි මීට කලින් කළ වැඩ ගැන කෙටියෙන් කියමු?

දේශීය වශයෙන් ගත්තොත් රවී ජේ - චරිත අත්තලගේ ඇතුළු මියුසික් වීඩියෝ සම්මාන පවා දිනාගත් නිර්මාණවලට දායක වුණා. නමුත් වැඩි හරියක් නිර්මාණ කරලා තියෙන්නේ ජාත්‍යන්තරවයි.  එහිදී ‘එමිනෙම්’ සංගීත කණ්ඩායමට කළ නිර්මාණ විශේෂයෙන් හඳුන්වන්නත් පුළුවනි.

අපි රැන්ඩිගෙ ඒ ජාත්‍යන්තර වැඩ ගැන වෙනත් දවසක කතා කරමු. දැන් අපට කියන්නකො ජිප්සීස්ලගෙ මේ ගාලු පාරේ, නිර්මාණයට ප්‍රවේශ වූ විදිය ගැන?

සුනිල් අයියා ජීවත්ව සිටියදී එයා හිතාගෙන ඉඳලා තියෙන්නේ මේ ගීතයට අවශ්‍ය රූපරචනය, වීඩියෝකරණය කරන්න. ගාලු පාර දිගේ ගිහින් ෂූට්  කරන්න තමයි එයා හිතාගෙන ඉඳලා තියෙන්නෙ. එයාගෙ මනසේ ඇඳී තිබුණු ඒ චිත්‍රය එයා මල්ලි පියල් එක්ක කතා කරලා තිබුණෙ.  ජිප්සීස්ලා කලින් කලට කළ නිර්මාණ සියල්ලම හොඳටම හිට් වුණානෙ. ඉතින් සුනිල් අයියා කියලා තියෙන්නෙ එයාලගෙ මේ ගීතයත් ඉතාම හොඳට කළ යුතුය කියලයි. මේකත් හොඳ හිට් එකක් වේවි. විශේෂ එකක් වේවි කියලා එයාලා හොඳට සැළසුම් කරලා කළ ගීතයක්. ඒ නිසා සමහර විට මේක එයාලගෙ අන්තිම හිට් එක වෙන්නත් පුළුවන් කියලා කිව්වලු. කොහොම නමුත් කොවිඩ් එහෙම ආ නිසා මියුසික් වීඩියෝව කිරීමේ කටයුතු පස්සට ගිහින්. ඒ අතරේ සුනිල් අයියා මිය යාමත් එක්ක කලින් සැළසුම් කළ පරිදි එයාලා මේ ගාලු පාරේ මියුසික් වීඩියෝව වීඩියෝකරණය කිරීම අත්හැරලා වෙනත් විකල්පයක් තමයි හොයලා තියෙන්නෙ. ඒ අනුව පියල් පෙරේරා ඇතුළු ජිප්සීස් කණ්ඩායම අවසානයේ තීරණයක් අරගත්තෙ මේක ඇනිමේෂන් (පරිගණක සජීවීකරණ නිර්මාණයක් ලෙස) ඉදිරිපත් කිරීමටයි. ඔන්න ඔය විදියට තමයි මේ වැඩේ මට පැවරුණේ. එයාලා අපට කතා කළේ BNS (භාතිය – සන්තුෂ්ලා) හරහායි.

ඉන්පස්සේ අපි ජිප්සීස්ලාව හමුවන්න දිනයක් දාගත්තා. එයාලා අපට මේ ගීතය අහන්න කිව්වා. එයා ඇහුවාම මගේ මනසට ආවේ රසවත් චිත්‍රයක්.

කාර් වෑන් ලොරි අස්සේ

කන්ටේනර් යන්නේ

අලි තඩි බස් මැද්දේ

ත්‍රීවිල් රිංගන්නේ

ඉගිලී ගෙන පිම්මේ

මැති ඇමතිල යන්නේ

නැතිනං අයින් වුනේ

ගුටි කන්නයි වෙන්නේ

මේ විදියට ගීතය අහද්දී චිත්ත රූප මගේ මනසේ මැවුණා. සුනිල් අයියාගෙ මනසෙ තිබූ යම් යම් අදහස්, රෝස පාට කාර් එක එහෙම එයාම ප්ලෑන් කරලා තිබුණු දෙයක්. ඉතින් එයාලා ඇත්තටම රූගත කරන්න හිතාගෙන හිටිය දේ තමයි අපි ‘ඇනිමේෂන්’ විදියට කළේ. එයාලගෙ අදහස්වලට අනුව අපේ අදහස් තමයි අපි ඇනිමේෂන් විදියට කළේ.

මේ ග්‍රැෆික්කරණය කරන්න කොච්චර කාලයක් ගත වුණාද? මොකද ද්වීමාන සජීවීකරණ වැඩක් ඇනිමේෂන් වැඩක් කරන්න සෑහෙන්න හිතන්න වෙනවා වගේම කාලය ගත වෙනවනෙ?

අපට මාස දෙකහාමාරක් විතර ගියා.

ඒ කියන්නේ අසීරු කටයුත්තක්?

ඔව්. අපට එමිනෙම්ලගෙ නිර්මාණ කරන්නවත් මෙච්චර කාලයක් ගතවුණේ නැහැ. මගේ උදවුවට තවත් මල්ලි කෙනෙක් ඉන්නවා. ඉතින් සමහර තැන්වලදි විතරක් එයත් සහාය වුණා.

මේ ‘ගාලු පාරේ’ මියුසික් වීඩියෝව රූගත කරලා කරන්න සිදුවුණා නම් විශාල මුදලක් යන බව පියල් කිව්වා. හැබැයි මේ විදියෙ ඉතා උසස් තත්ත්වයේ ග්‍රැෆික්කරණ කටයුත්තකදීත් ඔබට විශාල මුදලක් යන්න ඇති  නේද?

මේ වෙනුවෙන් ඇත්තටම සෑහෙන මුදලක් වැය වුණා. නමුත් සුනිල් පෙරේරා සහ ජිප්සීස් කියන්නේ ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ සළකුණක්. ඒ වගේම එයාලට තියෙන ගරුත්වය නිසා වෙනත් වැඩවලදී අය කරන මුදල වගේ අපි අය කරන්න ගියේ නැහැ. අනෙක ලංකාවේ නිර්මාණ අපි බොහොමයක් නොකරන්නෙ විශාල මුදලක් වැය වෙන නිසයි. ඒ නිසා තමයි අපි ජාත්‍යන්තරව අපේ බජට් එකට හරියන වැඩ බාරගන්නෙ. අපේ ඉන්ඩස්ට්‍රි එක ලොකු නැහැනෙ. ඒත් ලංකාවේ අපට වැදගත් කියලා හිතෙන නිර්මාණවලට අපි අපේ දායකත්වය ලබාදෙනවා. අපි මේකට අය කළේ සාමාන්‍යයෙන්  අපි ගන්නා මුදලින් හයෙන් එකක වගේ. ඒකත් ඇත්තටම ඉතින් ලොකු මුදලක්. ජිප්සීස්ලාට මේ වැඩේදි අනුග්‍රහය දක්වන්න සිංගර් සමාගම සිටියා. ජිප්සීස්ලා කොහොමටත් ඒ කාලයේ ඉඳලම  සිංගර් දැන්වීම් එක්ක කටයුතු කරමින් හොඳ සබඳතාවයක් තියෙනවනෙ.

මේ ග්‍රැෆික්කරණයේදී වැඩියෙන්ම අසීරු වූවේ කොතැනද?

මේකෙ චරිත වැඩියිනෙ. ඒ නිසා මුහුණු හරියට හඳුනා ගන්න පුළුවන් විදියට ඇඳීම අසීරු දෙයක්. සමහර අවස්ථාවලදී ඒ රූපවල කට විවර වෙනවා ගීතය ගයනවා වගේ. ඉතින් ඒවගේ විසි දෙනෙකුගේ විතර ග්‍රැෆික්කරණය කිරීම ඉතා අසීරු දෙයක්. ඒක ඇනිමේට් වෙන අතරෙ ඇත්ත වගේ තියෙන්නත් ඕනැනෙ. 2D ඇනිමේෂන් වගේ දෙයක් තමයි ඒ වෙනුවෙන් යොදා ගත්තෙ.

පියල් පෙරේරා

පියල් අපට කියන්නකො මේ ගීතය ලියුවෙ කවුද?

අපේ බොහොමයක් ගීත වගේ මේ ගීතය ලියුවෙත් චන්ද්‍රදාස ප්‍රනාන්දු.

තනුව?

මම කළේ. සංකල්පය සුනිල් අයියගෙ. සංගීතය රෙකෝඩ් කළේ දුෂාන් ජයතිලක. ගීතය ගයන්නේ සුනිල් අයියා, මම සහ ජිප්සීස් කණ්ඩායම.

ගාලු පාරේ රෙකෝඩ් කරලා කොච්චර කල්ද?

මට මතක විදියට අවුරුදු හතක් හෝ අටක් විතර වෙනවා. වෙන සිංදුවකට මම මේ මෙලඩි එක හදලා තිබුණා. සුනිල් අයියා කිව්වෙ මල්ලි මේ මෙලඩි එක හොඳයි අපි වෙන එකකට දාගමු කියලයි. එතකොට තමයි ගාලු පාරේ කළේ. කොළඹ ඉඳන් ගාල්ලට යන සිද්ධීන් අපිට ගීතයකින් පෙන්වන්න පුළුවන් නම් හොඳයි කියලා සංකල්පය ගැන කිව්වෙ එයා. මේ ගීතය චන්ද්‍රදාස ප්‍රනාන්දු ලිව්වෙත් සුනිල් අයියාගෙ තිබූ අදහස්වලට අනුවයි. ගීතය මේ විදියට කරලා තිබුණත් අවුරුදු පහක් විතර යනකල් අපට මියුසික් වීඩියෝව කරන්න බැරි වුණා. එහෙම කළොත් විශාල මුදලක් යන නිසා වැඩේ ටිකක් පස්සට ගියා. කොළඹ ඉඳන් ගාල්ලට යනකම්ම ෆිල්ම් කිරීමේ අදහස සුනිල් අයියට තිබුණෙ. අපි මේක සාමාන්‍ය විදියට කරමු කියලා මම කිව්වත්, නැහැ මල්ලි සමහර විට මේ ගීතය ජිප්සීස්ලගෙ අවසන් හිට් එක වෙන්න පුළුවන්. ඒ නිසා අපි කරන  එක හොඳටම කරමු කීවා. ඒ නිසා තමයි මේකට කල් ගියේ. ඒ වෙනුවෙන් සෑම  ප්‍රසංගයකින්ම ලැබෙන මුදලින් කොටසක් මේ වෙනුවෙන් වෙන් කරන්න පවා කටයුතු කළා. කොහොම හරි සුනිල් අයියා නැතිවීම එක්ක අපි මේක ෆිල්ම්  නොකර ලෝප්‍රකට ග්‍රැෆික් නිර්මාණකරනයේ ප්‍රමුඛයෙක් වන රැන්ඩි ක්‍රිස්ට්’ අපි නොහිතපු විදියට ඉතා විශිෂ්ට නිර්මාණයක් කළා. ඒක තමයි මේ ඔබ රසවිඳින්නේ.

සඳුන් ගමගේ