අපේකමත් රැකගෙන අලුත් නිර්මාණ ටිකක් කරන්න වැඩ ආරම්භ කරලා තියෙන්නෙ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බාලිකාවියන් තක්සලා දොරෙන්
ඉස්සිලා හොරෙන් බලාවි ගස්සලා නුවන්
අනේ සර්, මට නිවාඩු නම් දෙන්න එපා සර්
මිසීට වැඩ තියෙන දාට නිවාඩු නම් දෙන්න එපා සර්
බොහෝ කලකට පෙර ඇසූ ගීත වුවත් අදටත් එම ගීතය අපගේ දෙසවන්වලට නුපුරුදු නැත. ජානක වික්‍රමසිංහයන්ගේ හඬින් ගැයූ මේ ගීතය එකල සමාජය පුරා පැතිර ගියේ බොහෝ වේගයෙනි.

“70,80 දශකවල ඉඳලා හිටිය ගායක ගායිකාවන් වගේම ඔවුන්ගේ ගීත අතරිනුත් අපේ මතකයේ තදින්ම රැඳෙන ගීත තියෙනවා. ගායක ගායිකාවෝ ඉන්නවා.. දැන් වගේ යූටියුබ් හරහා ගීත ප්‍රචාරය කරලා ජනප්‍රිය වෙන්න ඒ කාලේ බැරි වුණා.. ගුවන් විදුලි රූපවාහිනි හරහා අපේ ගීත ප්‍රචාරය වෙලා ජනතාව අතරට යනකම් අපි බලාගෙන ඉන්න ඕනේ.. එහෙම ජනප්‍රිය වුණු ගීත තවමත් ඔවුන්ගේ හිත්වල තියෙනවා...”

සදාතනිකව රසික හදවත් තුළ නැවතුණු ගීත පිළිබඳ සිහිපත් කරමින් ඔහු පැවසීය.

වර්තමානයේදී රියැලිටි වැඩසටහන් ඔස්සේ ගායක ගායිකාවන් විශාල සංඛ්‍යාවක් බිහි වන නමුත් ඔවුන්ගේ පැවැත්ම පිළිබඳ ඇත්තෙ දැඩි සංවේගයක් බව ද ඔහු පැවසුවේය.

“අපේ පැරණි ගායක ගායිකාවන්ගේ ගීත හරහා වේදිකාවට ඇවිත්, තවමත් ඔවුන් වැඩි දෙනෙක් සංගීත ප්‍රසංගවලදී ගායනා කරන්නේ අනුන්ගේ ගීත.. අලුතෙන් තරු බිහිවෙද්දී අද ඉන්න කට්ටිය ඊළඟ අවුරුද්දේ නැතුව යනවා... ඒ වගේම තමයි තමන්ගේම ගීත නිර්මාණය කරලා, ඒ ගීත ප්‍රසංගවල ගායනා කරන අය ඉන්නේ අතළොස්සයි..”

ඔහු කියන්නේය. අතීතයේ ගීත රාශියක් අපේ හදවත් තුළ තවමත් නිම්නාද දුන්නත්, යූ ටියුබ් ඔස්සේ ට්‍රෙන්ඩින් වූ ගීත අතරින් කලකට පසු යළි මතකයේ තිබෙන්නේ එහෙමත් ගීතයක් පමණකි.

“සුනිල් ආරියරත්න කියලා තියෙනවා, ගොළුවන් නොවන මනුස්ස ප්‍රාණීන්ට ගීත ගායනා කිරීමේ හැකියාව තිබුණාට ඔහු හෝ ඇය ගායකයෙක් නොවෙත් කියලා.. දැන් සිංදු කියන්නේ නැත්තේ ගොළුවෝ විතරයි..”

මින් දශක තුනකට පමණ පෙර පොළොන්නරුවේ සිට කොළඹට පැමිණ සිංහල සංගීතය ගැඹුරින් හැදෑරූ ජානක වික්‍රමසිංහයන් ගායක සංගමයේ සභාපතිවරයා ලෙසින් වසර හතරහමාරක් ද, එහි ලේකම් ලෙසින් වසර හතරහමාරක් ද කටයුතු කර තිබේ.

“මම පහුගිය කාලේ තනතුරුවලින් ඉල්ලා අස් වුණා.. දැන් මම පූර්ණකාලීන නිදහස් ගායකයෙක්.. ගායන සංගමයේ වැඩකටයුතු නිසා මගේ පෞද්ගලික වැඩ, කලා කටයුතු කර ගන්න වේලාව මදි වුණා.. දැන් මම, කලා වැඩවලට වැඩි අවධානයක් යොමු කරනවා..”
එම අවධානය යොමු කරන්නට ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසින් කොරෝනා කාලයේ සිට මේ වන තෙක් ඔහු නිර්මාණය කළ ගීත සංඛ්‍යාව 35කට වැඩි ය.

“ග්‍රැමෆෝන්, කැසට්, රේඩියෝ, ටීවී දැන් යූ ටියුබ් විදියට තාක්ෂණයේ වෙනස් වෙනකම්ම ආපු ගායක ගායිකාවෝ ඉන්නේ.. ඒ වැඩිදෙනෙක් දැන් අවුරුදු 70 80 ගණන්වල.. සමහරු මේ ලෝකේ නෑ.. ඒ වයස්වල ගායක ගායිකාවන්ට, යූ ටියුබ් වගේ විවිධ ඩිජිටල් ෆ්ලැට්ෆෝර්ම් ගැන අදහසක් නෑ.. ඒ නිසාම ඒ අය මේ වෙද්දී සමාජෙන් හැංගිලා ගිහින්.. එහෙම නොවී ඒ පිරිස් වෙනුවෙන් නිසි වැඩපිළිවෙළක් සැකසෙන්න ඕනේ..”

කාලයක් පුරා රසික සිත් සැනසූ කලාකරුවන්ව අමතක වී ඔවුන්ගේ ගීත පමණක්, නව කලාකරුවන් හරහා ගායනා කරවමින් තිබෙනවාට වඩා ඔවුන් ද සිහිපත් කරමින්, ඔවුන් වෙනුවෙන් කටයුතු කිරීම ජානකගේ කැමැත්තයි. සංගමයෙන් ඉවත් වුවත්, ඔහු සිය දැනුම නව සාමාජිකයින් හා බෙදා හදා ගන්නටත් ඉදිරි වැඩපිළිවෙළට සහය දැක්වීමටත් අමතක කරන්නේ නැත.

“මම ගායක සංගමයේ ඉද්දී අපි ගායක ගායිකාවන් වෙනුවෙන් දිගින් දිගටම වැඩ කළා.. මම ඉල්ලා අස්වෙන්න කලින් ගීතයක අයිතිය ගායකයාටත් ලැබිය යුතුයි කියලා නීතියක් ගෙන එන්න උත්සාහ කළා..”

ඔහු එසේ පවසනා විට මා මොහොතකට ගොලු වූයේ ගීතයේ අයිතිය ගායකයාට හැර වෙන කාට ලැබෙන්නදැයි සිතා ගත නොහැකිවය.
“ඇත්තටම ගීතයක අයිතිය තියන්නේ පද රචකයටයි, සංගීතඥයටයි. ගායකයාට පුළුවන් ගායනා කරන්න විතරයි.. ගීත රීමේක් කරද්දී, කවර් සෝන්ග්ස් කරද්දී ගායකයාගෙන් ඉල්ලීම් කරන්න වුවමනා නෑ. ඒ නිසාමදෝ වර්තමාන ඩිජිටල් ෆ්ලැට්ෆෝර්ම්වල ගායකයාගේ අයිතීන් ගිලිහිලා තියෙන්නේ..”

පද රචකයා ගීතය ලියා, සංගීඥයා තනු නිර්මාණය කළ පසු ගීත අයිතිය ඔවුන්ට තිබුණත්, ගීතය ඔස්සේ ජනප්‍රිය වන්නේ ද, ප්‍රසංගවලට, වැඩසටහන්වලට සහභාගී වෙමින් මුදල් ලබාගන්නේ ද ගායකයාය.

“අන්න ඒක තමයි අපේ අයට වුණු වැරැද්ද.. අතීතයේ ඉඳලා පදරචකයාගේ, සංගීතඥයාගේ කර්තෘ භාග ලැබුණේ නෑ.. ගායකයන් වෙන අපි, අපි තුන්දෙනා අතර තියෙන අන්‍යෙන්‍ය බැඳීම අමතක කළා.. දැන් ඒක හරියට පාරා වළල්ලක් වගේ ගායකයාට ගීතයේ අයිතිය අහිමි කරවලා තියෙනවා..”

පාද තුනක කනප්පුවක, එක් පාදයකට හානි සිදු වුවහොත් එය සිටුවා තැබිය නොහැකි සේම පදරචකයා, සංගීතඥයා හා ගායකයා යන තිදෙනා වෙන් වුවහොත්, එකිනෙකා අතර නිසි අවබෝධයක් නැති වුවහොත් පිටත සිටිනා පිරිස් ඉන් අයුතු ප්‍රයෝජන ගනු ඇත.
වර්තමානයේ ඔස්කා ආයතනය තිදෙනාගේම කර්තෘභාග නිසි පරිදි ගෙවීමට කටයුතු කරමින් සිටියි.  

“ගීතයේ පරම අයිතිය ගායකයටත් දෙන්න කියලා අපි ඉල්ලීම් කළා. තවමත් වෙළෙඳ අමාත්‍යංශයත්, අධිකරණ අමාත්‍යංශයත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් ඉන්නවා..”

මේ කිසිදු උත්සාහයක අදහස සංගීතඥයා හෝ පදරචකයා පහත හෙළීම නොවන බවත් ඔහු අවධාරණය කළේය. කලාව, මුදලට යට කිරීමේ අවශ්‍යතාවක් නොතිබුණ ද වර්තමානයේ මූල්‍යමය සවි ශක්තියක් කලාකරුවාට ද අවශ්‍යය බව ඔහු පැවසීය. කලාකරුවන්ට විශ්‍රාම වැටුප් ගෙවීමේ යෝජනාවක් මින් පෙර ගායක සංගමය ඉදිරිපත් කර තිබුණේ ද, සමහර වයස්ගත කලාකරුවන් වෙනුවෙනි. මේ වන විට වයෝවෘද්ධ වී සිටින බොහොමයක් ගායක ගායිකාවන්ගේ ගීත තවමත් ජනප්‍රිය වුවත් ඔවුන් ගැන සොයන්නට කිසිවෙකු නොමැති වග ඔහු සිහිපත් කළේ කනගාටුවෙනි.

“අපි දැන් ගීතයක අයිතිවාසිකම් ගැන කතා කළාට ඇත්තටම ගීතයක හැබෑම පූර්ණ අයිතිය තියෙන්නේ රසික ජනයාට... අපි ගීත නිර්මාණය කරන්නෙ ඒ අය වෙනුවෙන්නේ.. ඒ නිසා අපිට යුතුකමක් තියෙනවා හොඳ නිර්මාණ කරන්න.. හොඳම පද රචනයකට, හොඳම තනුවකට සුන්දර හඬක් මුසු වුණාම තමයි හොඳම නිර්මාණයක් බිහි වෙන්නේ..”

එවැනි උසස් අන්දමේ නිර්මාණ කරන්නට හැකි වූ ගායකයෙකු ලෙස ඔහුට තමන් ගැනම ආඩම්බර වෙන්නට අයිතියක් තිබේ.
“අදටත් අපේ පැරණිම ගීත ප්‍රසංගවල ගායනා කරනවා.. මේ වගේ ප්‍රසංගවලදී හොඳම සංගීත කණ්ඩායම් මට කිව්ව දෙයක් තියෙනවා.. අයියේ, ඔයාලගේ සිංදු කියද්දී අපිට ප්ලේ කරන්න මෙලඩි තියෙනවා කියලා..”

“අපි කතා නොකර ඉමු සිනා නොවී ඉමු ටික දවසක්
අපි දෑසින් දෑසට ළංව බලන් ඉමු එක මොහොතක්
කල්පයක් සේ දැනේවී... කල්පයක් සේ දැනේවී...”

එලෙස අපට ද කල්පයක් සේ දැනුණු කලකට පසුව ජානක වික්‍රමසිංහයන් යළිත් වර්තමාන ක්ෂේත්‍රයට ගැළපෙනා අන්දමින් වැඩ කිරීම ආරම්භ කර තිබේ.

“සිංදු දෙකකට වීඩියෝ නිර්මාණය කරගෙන යනවා මේ වෙද්දී.. දැන් වීඩියෝ අත්‍යවශ්‍ය දෙයක්නේ.. ඒ වගේම තමයි මගේම ගීතයක රීමේක් එකක් කළා.. ඒ ගීතය ගැන දැම්ම කියන්න බෑ.. ඒක මගේ රසිකයින්ට මම දෙන සර්ප්‍රයිස් එකක්.. අපේකමත් රැකගෙන යම් යම් නිර්මාණ ටිකක් කරන්න මම දැන් වැඩ ආරම්භ කරලා තියෙන්නේ..”

එය ඔහුගේ රසික රසිකාවියන්ට නම් සුබවාදී බලාපොරොත්තු එකතු කරන පුවතකි. කල්පයක් ලෙස අපට දැනුණු කලකට පසු යළිත් ඔහුගේ සුන්දරතම ගීත අලුත් ගීත ලෙසින්ම අසන්නට අපට අවස්ථාව ලැබෙනු ඇත.

රංචු ගැසෙන කොලු රෑනේ සිංදු කියන
නුඹේ ළඟදී විසේ කරලා බැනුම් අහන
පෙම්වතා මමයි..
අහංකාර නුඹේ හිතේ කෝඩුකාර පෙම්වතා මමයි.
ඉතින් ‘සඳැල්ලත්’ එක්ක එකතු වුණු ඒ පෙම්වතාට අපේ ස්තූතිය.

පවනි උමයංගනා