අපි යන්නේ ‘අමුවෙන් පාර දිගේ‘ යන ගමනක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ගයාන්, සචින්, ඉඳුවර ඇතුළු තරුණයින් කණ්ඩායමක් එකතුවෙලා අලුත් වැඩකට සූදානම් වෙනවා. මොකක්ද මේ වැඩේ?

අපේ "RAWDS" සංගීත කණ්ඩායමේ පළමු සංගීත ප්‍රසංගය දෙසැම්බර් මස හතරවෙනි ඉරිදා සවස හයයි තිහට මහරගම ජාතික තරුණ සේවා රංග ශාලාවේදී එළිදක්වන්නට සූදානම් වෙනවා. "RAWDS" සංගීත කණ්ඩායම විසින් ඉදිරිපත් කරන "Quantumania 2022" සංගීත ප්‍රසංගයේදී ලංකාවේ ජනප්‍රිය ගායක ගායිකාවන් මෙන්ම පාරදිගේ නාට්‍ය කණ්ඩායමේ රංගන ශිල්පීන්ද එකමුතුවෙන් අපූරු රාත්‍රියක් බවට පත්වෙනවා. ඒ අනුව එදාට වස්ති, ෆැලන් ඇන්ඩ්‍රියා, දනිත් ශ්‍රී, ප්‍රියාන් රාජපක්ෂ, උද්දික ප්‍රේමරත්න, ගයාන් ගුණවර්ධන, සජිත් චතුරංග, ඉඳුවර සූරියබණ්ඩාර ඇතුළු RAWDS සංගීත කණ්ඩායම එක්ක ප්‍රසංගය පවත්වනවා. මෙම ප්‍රසංගය නිවේදනය කරන්නේත් "පාරදිගේ" නාට්‍යයේ "බණ්ඩා"ගේ චරිතය රඟපාන කුසල් මධුරංගයි.

"RAWDS" සංගීත කණ්ඩායම බිහිවෙන්නත් අපූරු අතීතයක් තිබෙනවා...?

ඔව්... ඇත්තටම. RAWDS සංගීත කණ්ඩායම බිහිවෙන්නේ පාර දිගේ සංගීත කණ්ඩායම පටන් ගත්තට පස්සෙයි. මේ ටෙලිනාට්‍යයේ සචිත්, ඉඳුවර, මම (අභී, ජූඩ්, භානුක) වීදි ගායකයින් විදිහටයි රඟපාන්නේ. ඒ වෙනකොට ටෙලිනාට්‍යය ඇතුළෙත් අපි තුන්දෙනා කවදාහරි සංගීත කණ්ඩායමක් කරන්නට දැක්මක් තිබුණා. සැබෑ ජීවිතේදීත් අපි තුන්දෙනාම සංගීතයෙන් ඉහළට යන්න ඕනකමක්, උනන්දුවක් තිබුණා. ඒ නිසාම අපිටත් පාරදිගේ නාට්‍ය ඇතුළේ සංගීත කණ්ඩායමක් බිහිකරගන්න ඕනවුණා. ඒ නිසා ටෙලිනාට්‍යෙය් අපේ සැබෑ ජීවිතේදීත් එකළඟ ගිය ගමනක් අවසානයේ සංගීත කණ්ඩායමක් දක්වා දුරදිග ගියා. ටෙලිනාට්‍යය ඇතුළේදී වගේම අපේ ඇත්ත ජීවිතයේදී "අපි බෑන්ඩ් එකක් පටන් ගමු නේද මචං" කියලා හැමතිස්සෙම අහන්න පටන් ගත්තා. ඒකට "RAWDS" කියන නම තිබ්බේ සද්ධා මංගල සූරියබණ්ඩාර මහතායි. " RAW" කියන්නේ "අමු" කියන අර්ථයයි. "ROAD" කියන්නේ පාර. අමුවෙන් පාරදිගේ යන ගමන විදිහට තමයි RAWDS නමින් බිහිවුණේ. අපේ සංගීත කණ්ඩායමේ සාමාජිකයන් අට දෙනෙක් ඉන්නවා. අපේ මුල්ම ගීතය "සිමෙන්ති බංකුවේ" පාර දිගේ ටෙලිනාට්‍යයෙන් බිහිවුණා. ඒක ඉතා ජනප්‍රිය ගීතයක් වුණා. ඉදිරියේදී තව අලුත් ගීත කිහිපයක්ම "RAWDS" සංගීත කණ්ඩායමෙන් බිහිකරන්න බලාපොරොත්තු වෙනවා.

"RAWDS" බිහිවෙන්නේ අද ඊයෙක නෙමෙයි නේද?

නෑ... "පාර දිගේ" ටෙලිනාට්‍යයෙන් එක්ක "RAWDS" හෙමි හෙමීට අලුත් වුණ 2019 අවුරුද්දේ ඉඳන් "RAWDS" ගොඩනැගෙන්න මහන්සි වුණා. ඔය අතරේ පාස්කු ප්‍රහාර, ඇඳිරි නීති, කොවිඩ් වසංගතය, ආර්ථික ගැටලු ආදී දේවල් නිසා ඒක කල්ගත වුණා. අපේ පළමු ප්‍රසංගය මීට අවුරුද්දකට පමණ පෙරයි කරන්න සූදානම් වුණේ. ඒ වෙනුවෙන් පුදුම මහන්සියක් ගත්තා. එදාම ඇඳිරිනීතිය දැමුණා. අපේ පළමු ප්‍රසංගයේදී සිදුවුණ එම සිදුවීමෙන් අපි මානසිකව එක මොහොතකින් ඇද වැටුණා. එදා අපි ගෙදර ඇවිත් "කමක් නැහැ අපි ප්‍රසංගයක් කරමු" කියලා මේ කොල්ලෝ ටික එක හිතින් අධිෂ්ඨානය කළා. ඒ ප්‍රසංගය තමයි සජිත් චතුරංග අතට අරගෙන "Quantumania 2022" නමින් "RAWDS" සංගීත කණ්ඩායමේ පළමු ප්‍රසංගය පවත්වන්න සූදානම් වුණේ. ඊට පෙර අපි විවාහ උත්සව, උපන්දින සාදවලට කණ්ඩායමක් විදිහට සහභාගි වෙලා තිබුණත් කණ්ඩායමේ පළමු ප්‍රසංගය වන්නේ මෙයයි.

පාර දිගේ කණ්ඩායමත් මේ ප්‍රසංගයට සහභාගි වන බවයි ආරංචිය...?

ඔව්... මේකේ බර 98% ක් අතට අරගෙන කරන්නේ සචිත් චතුරංගයි. (අභී) එදාට වෙනස්ම ප්‍රසංගයක් වේවි. ගීත ගායනය, වාදනය පමණක් නොව, රඟපෑම්ද තියෙනවා. වේදිකාවේදීත්, ලංකාවේ ජනප්‍රියම සම්මානය ගත් කුසල් මධුරංග මෙම ප්‍රසංගයේ නිවේදකයෙක් මෙන්ම ගීත ගායනයෙන්ද එකතු වෙනවා. ඊට අමතරව පාරදිගේ ටෙලිනාට්‍යයෙන් "සප්‍රයිස්" කිහිපයක්ම තිළිණ කරන්නත් බලාපොරොත්තු වෙනවා. මේ හැම කටයුත්තකදීම ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතාගෙන් විශාල සහයෝගයක් වගේම ආශීර්වාදයක් අපට ලැබෙනවා. පාරදිගේ නාට්‍යයට සම්බන්ධ වුණ හැමෝම එදාට එදින ඉඳීවි. ඒ නිසා එදාට මේ ලස්සන අත්දැකීම විඳින්න හැකිවේවි.

ගයාන් ගුණවර්ධන (භානුක) එහෙම RAWDS ගැන කියද්දී අභීගෙනුත් (සජිත් චතුරංග) මේ ගැන අහන්නට අපි අමතක කළේ නැහැ.

ප්‍රසංගය අවසානයේදී හරි අපූරු කටයුත්තකට කට්ටිය සූදානම් වෙනවා නේද?

ඔව්. මෙම ප්‍රසංගය වෙනුවෙන් මට මගේ යාළුවෝ ගොඩාක් උදව් කළා. පසුගිය කාලේදී අපි ප්‍රසංගයේ බැනර් පාරදිගේ එල්ලුවා. එක දවසක් පාන්දර තුනහමාර විතර වෙනකන් බැනර් එල්ලලා අපි ගෙවල්වලට ගියා. ටික වෙලාවකින් මගේ යාළුවෙක් කතා කරලා "මචං අපේ බැනර් එක ඉරලා කෙනෙක් නිදාගන්න අරගෙන" කියලා කිව්වා. ඒ වෙද්දී පැය විසිහතරක්වත් ගිහින් තිබුණේ නැහැ. ගෙදරින් යන්න එපා කියද්දීත් මම ඒ මහ රූම එතැනට ගියා. හිතේ කේන්තියෙන් එතනට ගියාට දැකපු දර්ශනයෙන් මාව පුදුම විදිහට සංවේදී කළා. කකුල් නැති මනුස්සයෙක් අපේ බැනර් එක ගලවගෙන ඒක බිමට දාගෙන ගුලි ගැහිලා නිදාගෙන හිටියා. මට නිදාගන්න තැනක් නැහැ මහත්තයෝ, බිම හරි සීතලයි. ඒකයි මේක ගත්තේ." කියද්දී මට පුදුම දුකක් හිතුණා. ඒ නිසා මේ ප්‍රසංගයෙන් පස්සේ අපිට ලැබෙන යම් මුදලකින් සැබෑවට සිඟමන් යදින අසරණ මිනිසුන් දහදෙනෙක් පමණ සොයාගෙන අපිට පුළුවන් ආකාරයේ හොඳ උපකාරයක් කරන්නට බලාපොරොත්තු වෙනවා.

I දිශානි
සේයාරූ- සුමුදු හේවාපතිරණ