අපේ පවුලේ අක්කලා හතර දෙනාගේ හුරතලා වුණේ මම
මල්කාන්ති, නිර්මලා, නිරංජලා, සකුන්තලා අක්කලා හතර දෙනාම මට එක වගේ ආදරෙයි.
ලාංකීය කලා ක්ෂේත්රයේ මහ පවුලක බාල පුරුක ඔහු වෙයි. රටම දන්නා ඔහු ලලිත කලා විශාර ද මනෝජ් පීරිස්ය. මෙරට සංගීත ක්ෂේත්රයේ මහ බරැති පවුලක සාමාජිකයකු වුවද සමහර විටෙක වත්මන් පරපුරේ පාඨකයන් ඒ ගැන නොදන්නවාද විය හැකිය. මල්කාන්ති නන්දසිරි, නිර්මලා රණතුංග, නිරංජලා සරෝජිනි, සකුන්තලා පීරිස් අක්කලාගේ, ආදරණීය මල්ලි ඔහුම වෙයි. සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි සහ නැසීගිය විශාර ද විජේරත්න රණතුංග, අබේවර්ධන බාලසුරියගේ මස්සිනා මේ ආදරණීය මනෝජ් පීරිස්ය. සෙව්වන්දි රණතුංග, අනුරාධා නන්දසිරිගේ ආදරණීය පුංචි මාමා ඔහුය. ලංකාවම දන්නා ඒ කලා පවුලේ ආදරණීය මනෝජ් පිරිස් අද අපට මොනවද කියන්නේ බලමු.
‘මනෝජ් රූපවාහිනි තිරයේ මියුසික් වැඩ සටහනක් නම් එහි සංගීත අධ්‍යක්ෂණය ඉතින් ඔබම තමයි. එතැනින් පටන් ගනිමු.
සුපුරුදු විදියට රූපවාහිනි නාලිකා හතරක විතර සංගීත වැඩසටහන් මෙහෙයවීම සහ අධ්‍යක්ෂණය කරනවා. මැයි මාසය කියන්නේ අපට බොහෝම වැඩ තියෙන මාසයක්. පවතින තත්ත්වය එක්ක ඒ වැඩ බොහොමයක් අඩුවෙලා. ඒත් සුපුරුදු විදිහට රූපවාහිනි සංගීත වැඩ සටහන් ටික කරගෙන යනවා.
කොහොමද තව දුරටත් ගෙවන තනිකඩ ජීවිතේ?
මට හිතෙන විදියට තනිකඩකම සුන්දරයි. එක වෙලාවකට විඳගන්න අමාරුයි. ඒත් සමහර සිදුවීම් දකිද්දී මේ තනිකඩ ජීවිතේ හොඳයි කියලා හිතෙනවා. කොහොමටත් ජීවත් වීමට ඉතිරිව ඇති කාලයට වඩා ජීවත් වූ කාලය වැඩියිනෙ. ඒ නිසා ඉතුරු ටිකත් මේ විදියට හොඳයි කියලයි මට හිතෙන්නේ. මෙච්චර කාලයක් මේ විදියට ආවානම් ඉදිරියත් මෙහෙම හොඳයි.
ඒ කියන්නේ ‘තනියම’ ගෙවන ජීවිතයට කැමතියි.
මෙහෙමයි ජීවිතය තනියම ගෙව්වේ නැහැ. ආදරය ලැබුණා. ආදරය ලබනවා. ආදරය ලැබෙනවා. ඒ විදියට ආදරය එක්ක ආ ගමනක්. ගිවිස ගත් ආදරයක් නැතත් ආදරය අපි හැමෝටම අවශ්‍ය දෙයක්. අපි මිනිසුන්ට ආදරය කරනවා වගේම ගහට කොළට සතුන්ටත් ආදරය කරනවනෙ.
මනෝජ් ගෙදර පුසෝ රැළක් සහ බල්ලන් කීප දෙනෙක් ඇති කරනවා නේද?
ඔව් අප්පා එයාලා දැන් මගේම ජීවිතයේ කොටසක් වෙලා. හරියට පවුලක් බලා ගන්නවා වගේ වගකීමක් දැන් මට තියෙන්නෙ. පුසෝ 9 දෙනෙක් ඉන්නවා. මම ඉන්න පළාතේ අවට බල්ලො 10 ක් විතර මගේ යාළුවෝ. මගේ කාර් එක දැක්කාම එයාලා වට වෙනවා. මට තනියම පාරේ යන්න බැහැ. එයාලා පස්සෙන් එනවා. එතකොට එයාළට යෝගට් එහෙම අරන් දෙන්න වෙනවා. එඩ්වඩ් ජයකොඩි මහත්මයාලගේ ගේ ළඟ ඉන්න බල්ලො ටිකත් මා එක්ක හරි යාළුයි. චරිතාත් හරියට සතුන්ට සළකන උපකාර කරන කෙනෙක්.
සංගීතය හැරුණු කොට දැන් මේ විදිහට සතුන්ට උපස්ථාන කිරීම මගේ ජීවිතයේ කොටසක් වෙලා. එයාලට අසනීප වුණාම ප්‍රතිකාරවලට ගෙන යන්න ඕනෑ. රටේ ප්‍රශ්න එයාලට අදාල නැහැ. කෑම ටික එහෙම වෙලාවට දෙන්න ඕනෑ. හරි සුන්දරයි ඉතින්. දරුවන්ට කෑම හොයාගෙන යනවා වගේ එයාලගේ කෑම හොයාගෙන ගෙනැත් දෙන්න වෙලා.
හැබැයි ඉතින් මහා කලා පවුලක බාලයා වු මනෝජ් හුදෙකලා වෙලා වගේනේ පේන්නේ.
කොහෙත්ම එහෙම නැහැ. ආදරය ලබමින් ලැබෙමින් යන ගමනක්. මුළු ජීවිතයම බැඳී තිබෙන්නේ සංගීතය එක්ක. එ නිසා හුදෙකලාව ඉන්න එක තත්පරයක්වත් මට නැහැ. වැඩ එක්ක සෑම තත්පරයකදීම ක්‍රියාකාරි වෙන්න වෙලා.
පීරිස් පවුලේ හැමෝම සංගීතයට කලාවට සම්බන්ධයි ද?
මල්කාන්ති අක්කා, නිර්මලා, නිරංජලා සහ සකුන්තලා අක්කලා සහ මම සංගීතයට සම්බන්ධයි. මල්කාන්ති අක්කාට පසුව ඉන්නේ කුමාර් පීරිස් අයියා. එයා විතරයි සංගීතයට සම්බන්ධ නැත්තේ. අපේ පවුලේ අක්කලා හතරයි. අයියයි, මමයි.
ඒ මහා පවුල් ගහට එකතු වූ මහාචාර්ය සනත් නන්දසිරි කතිකාචාර්යවරයකු මෙන්ම සංගීත විශාරදවරයකුව සිටි විජේරත්න රනතුංගු සහ නැසීගිය අබේවර්ධන බාලසූරිය මස්සිනාලා අතරින් වඩා සමීප වුණේ කවුද?
තුන් දෙනාම එක විදියයි. ඒ අතරින් මගේ ගුරුවරයා වුණේ සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි. මම හැදි වැඩුනේ ශිල්ප හැඳැරුවේ එතුමා යටතේ. ලොකු අක්කා නිසා මම හිටියේ මල්කාන්ති අක්කා ළඟ. මගේ ගුරුවරයා වූ නිසා වඩාත් සමීපව ඒ ගුරු ඇසුර තිබුණේ ලොකු මස්සිනා සනත් අයියා එක්ක. විජේ අයියයි. අබේ අයියයි දෙන්නත් මට හරිම ආදරය කළා.
මනෝජ් විවාහ නොවී ඉන්න කොට ඒ මස්සිනාලා මොනව ද කිව්වේ?
එයාලා ඉතින් එහෙම විශේෂ දෙයක් කියලා නැහැ. මාත් ඒ කාලයේදිම විවාහ වුනා නම් හොඳයි කියලා සමහර විට හිතන්න ඇති. එත් එයාලා දැනගෙන හිටියා මට යෙහෙළියන් ගොඩක් ඉන්න බව. සමහර වෙලාවට මගේ සමීප යෙහෙළියන් එක්ක මම ඉන්නවා දැක්කාම, මල්කාන්ති අක්කා මගෙන් ඒ ගැන අහලා තියෙනවා. මෙයාට මෙච්චර යෙහෙලියන් සිටිය දී අපි මොකට ද බඳින්න කියන්නේ, කියලා ඇති වැඩකුත් නැහැ කියලා සමහර විට එයාලා හිතන්න ඇති. මගේ අම්මා තාත්තා නැති වුණේ මගේ බොහෝම තරුණ වයසේදී. ඉන් පස්සේ අම්මා වුණේ ලොකු අක්කා.
මනෝජ් ගණන් කළොත් මේ දක්වා මනෝජ්ට කොච්චර නම් ආදර සබඳතා තියෙන්න ඇති ද?
කොහොමද ඒ ගැන කියන්නේ? දවස් දෙකෙන් අහවර වෙච්ච ආදර සබඳතා පවා මට තිබුණා. මට ඒ කාලයේ ඉඳලම හිටියේ පිරිමි යාළුවන්ට වඩා ගැහැණු යාළුවෝ. ඒ නිසාමදෝ විවාහය කියන දේ ඉස්සරහට ආවේ නැහැ. මම ඔයාවම මැරි කරනවා කියලා කා එක්කවත් ඇසුරක් තිබුණේ නැහැ. ඒත් එදා වගේම අදටත් මට ඉන්නේ යෙහෙළියන්. එයාලගේ ආදරය සුන්දරයි.
අපි අක්කලා ගැන කතා කරමු. මුලින්ම ලොකු අක්කා මල්කාන්ති ගැන.? එයාව දකින්නේ කොහොම ද?
මල්කාන්ති අක්කා මගේ මව වගේ තමයි. එතුමිය තමයි මට මේ ගමන හදලා දුන්නේ. තබ්ලාවට අත තියන්න සහ සනත් අයියා ලවා උගන්වලා මාව මේ මාර්ගයට ගෙනැල්ලා දැම්මේ එයා. ඒ සම්පූර්ණ ගෞරවය හිමි වෙන්න ඕනෑ එයාට. අද මම මෙතැන ඉන්නේ එයා නිසයි.
නිර්මලා අක්කා ගැනත් කියමු.
මගේ පොඩි කාලයේ ඉදලාම එයත් මට හරිම ආදරෙයි. මම අසනීප වූ වෙලාවේ මාව බලා ගත්තේ එයා. මේ වගේ අක්කලා හතර දෙනාම හරිම ආදරෙයි මට. නිරංජලා අක්කා සහ අබේ අයියා ඒ දවස්වල එයාලගෙ පිටරට පැවැත් වූ ෂෝවලට මාවයි. ජගත් වික්රමසිංහවයි එක්කගෙන ගියා නිරංජලා හරිම ආදරෙයි මට. සකුන්තලා අක්කත් එහෙමයි. ඒ අතින් මම හරිම වාසනාවන්තයෙක්. පවුලේ අක්කලා ඔක්කෝගේන්ම ඒ විදියට එක ලෙස ආදරය ලබන්නත් පිනක් තියෙන්න ඇති මට. අපේ පවුලේ අක්කලාගේ හුරතලා වුණේ මම.
මේ විදියට පවුලේ ඔක්කෝගෙමයි, යෙහෙළියන්ගෙයි ආදරය නොඅඩුව ලබන මනෝජ් විවේකී වෙලාව ගත කරන්නේ කොහොම ද?
ශරීර සුවතාවය වෙනුවෙන් ඇවිදින්න යනවා. පීල්ලැවේ පංසල අවට පරිසරය නරඹමින් දවසේ කොයි වෙලාවක හරි ඇවිදින්න ආසයි. කාර් එක ඇතුළෙ ඇවිදින ඇඳුම් සහ සපත්තු දෙක නිතරම තියෙනවා. විවේකයක් ලැබුණ හැටියේ රවුම් දෙකක් ඇවිදිනවා.
මනෝජ් වැඩිපුර අහන්නේ කාගේ සිංදු ද?
පණ්ඩිත් අමරදේවයන්ගේ, සනත් නන්දසිරි ශූරීන්ගේ, වික්ටර් රත්නායක ශුරීන්ගේ සුනිල් එදිරිසිංහයන්ගේ වගේ භාවපූර්ණ සංගීතයයි. මම ඒකට හුරුවෙලා. එහෙමයි කියලා වෙන ශිල්පීන්ගේ ඒවා අහන්නෙ නැතුව ඉන්නෙ නැහැ. සංගීතය වෙන් කරන්න බැරි වින්දනයක් ගෙන දෙන විෂයයක්නෙ. ඒ කාගෙත් ‘ආදර ගීත’ තමයි වැඩිපුර අහන්නේ.
ඒ විදියට ආදර ගීත අහද්දී ජීවත්වීමේදී මතුවන ප්‍රශ්න දුක නැති වෙනවා.
මනෝජ්ගේ ජීවිතයම ‘ආදරය’ එක්ක බැඳුණු දෙයක්?
අනේ ඔව් ආදරයම තමයි.
ඒ ආදරය බෙදා හදා ගන්න තව තවත් යෙහෙළියන්ට ඉඩ තියෙනවා?
ඔව් පුළුවනි, මම මුලින්ම කිව්වේ මට ආදරය ලැබෙනවා. ඒ වගේම නිරන්තරයෙන් ආදරය මා වෙත ගලා එනවා.
සඳුන් ගමගේ