අපි ප්රේශ්නෙක ඉන්නවා නම් ඒවත් අමතක වෙනවා දරුවො එක්ක කාලෙ ගෙවද්දි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘“සැලෙනා නුවන්” මේ දිනවල ඉතා ඉහළ ප්‍රේක්ෂක අවධානයක් ආකර්ශනයක් දිනාගෙන ඉදිරියෙන්ම විකාශනය වන ටෙලි නිර්මාණයක්.  එහි ප්‍රධාන චරිතයෙන් දායක වන පුංචි තිරයට එකතු වුණු අලුත්ම මුහුණක් ගැනයි මෙවර සඳැල්ලෙන් කතාබහ කරන්නෙ. සඳැල්ල කවරයද හැඩ කරමින් අප හා එකතු වන ඇය නමින් තුලංගා ජයකොඩි.

මේ දිනවල තුලංගා පුංචි තිරයේ කතාබහ කෙරෙන චරිතයක් වෙලා ඉන්නවා නේද?

ඔව්. ඇත්තටම  දෙරණ නාළිකාවේ විකාශය ​ෙවන ‘“සැලෙනා නුවන්”  ටෙලි නිර්මාණයේ ‘“‘රම්දි” චරිතය නිසා අද වෙද්දී මට ලොකු ප්‍රේක්ෂක ආදරයක් ලබා ගන්න හැකිවෙලා තියෙනවා. ‘රම්දි කියන්නෙ ගැමි පරිසරයක ජීවත් වන අහිංසක තරුණියක් නිසා වෙන්න ඇති මේ චරිත රංගනයට බොහෝ දෙනෙක්ගෙ කැමැත්ත ඇත්තෙ.

ඉතින් මේ රංගන අත්දැකීම ගැන කතා කරමු?

මේ මගේ පළමු රංගන අත්දැකීම. විශේෂයෙන්ම කියන්න ඕනෑ මේ මගේ ජීවිතේ බලාපොරොත්තුවක් සඵලවීමක්. මොකද මම ගොඩක් කැමැත්තෙන් හිටියා ටෙලි නිර්මාණයකට සම්බන්ධ වෙන්න. ඉතින් ඒ බලාපොරොත්තුවූ හීනය අද වෙද්දී සැබෑවෙලා තියෙනවා. මුලින්ම  පොඩි චකිතයක් තිබුණා රංගනයට දායක වෙද්දි නම්. ඉතින් මේ නිර්මාණයේ විදියට අහිංසක චරිතයක් රඟදැක්වීම සහ ගැමි ජීවිතයක් ගත කිරීම හැමදේම ලස්සන අත්දැකීමක් වුණා.

අපි මෙහි රූගත කිරීම් කරන ස්ථානයත් හරිම ලස්සනයි. සුන්දර වටපිටාවක් තියෙන්නෙ. ඒ පරිසරය, ගම්වාසීන්, ඔවුන්ගෙ කතාබහ, ඒ ගම් ප්‍රදේශයේ ජීවත් වන විදිය, ඔවුන්ගේ ඒ වගාවන් හැමදේම එක්ක සුන්දරත්වයක් තමයි දනින්න තියෙන්නෙ. ඒ ගම්වාසීන් අපිට ලොකු සහයෝගයක් ලබා දෙනවා මේ වැඩකටයුත්ත කර​ෙගන යන්න. හරිම හොඳ මිනිස්සු පිරිසක් එහි ඉන්නේ. ඉතින් මේ දේවල් එක්ක මට දායක වෙන්න ලැබුණු මේ රංගන අවස්ථාව ගැන සතුටුයි.

තුලංගා ජීවත් වෙන්නේ ගැමි පරිසරයකද? නාගරික පරිසරයකද?

මම ජීවත්වෙන්නෙ හෝකන්දර ප්‍රදේශයේ. එහි තියෙන්නෙ ගමත්, නගරයත් අතර පරිසරයක්. ඒකත් හරිම සුන්දරයි.

කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න මං විවර වෙන්නෙ කොහොමද?

මම මුලින්ම නිරූපණ කටයුතු සහ වෙ​ෙළඳදැන්වීම් කළා. ඒ දේවල් අවුරුදු පහක් විතර තිස්සේ කරනවා.

මාව මේ චරිතයට සම්බන්ධ කර ගන්නෙ “සැලෙනා නුවන්” නිර්මාණයේ අධ්‍යක්ෂවරයා ශ්‍රියන්ත ප්‍රසාද් මහත්මයා සහ දෙරණ නාළිකාවේ උප සභාපති ලක්සිරි වික්‍රමගේ මහත්මයා. ඒ දෙදෙනාටම විශේෂයෙන් ස්තුතිවන්න වෙන්න ඕනෑ. ඒ වගේම මේ නිර්මාණයේ තිර පිටපත් රචක නිදුක් මදුෂික ඇතුළු මේ නිර්මාණ කණ්ඩායමේ හැමෝගෙම සහයෝගය මට ලැබුණා මගේ චරිතය සාර්ථකව කරගෙන යන්න.

ගෙදරින් තහංචි තිබුණෙ නැද්ද රංගනයට අවතීර්ණ වෙනවට?

නැහැ. අම්මයි තාත්තයි මම කැමති දේ කරන්න ඉඩ දීලා  තියෙනවා. ඒ නිසා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනවට එයාලගෙන් ලොකු අකමැත්තක් තහංචියක් තිබුණෙ නැහැ. මගේ දක්ෂතා අම්මා තාත්තා හඳුනාගෙන තියෙනවා. ඒ අංශයන්ගෙන් ඉදිරියට යන්න ඉඩදීලා තියෙනවා. ඒක මට ලොකු ශක්තියක්.

පුංචි කාලෙ ඉඳන්ම කලා හැකියාවන් තිබුණද?

මම පුංචි කාලෙ ඉඳන් නර්තනයට දක්ෂතා තිබුණා. පාසලෙත් මම නර්තනය තමයි වැඩිදුර හැදෑරුවේ. මම පාසල් ගියේ කෝට්ටේ ආනන්ද බාලිකාවට. ඒ පාසල තුළ නර්තනයෙන් ලොකු ජනප්‍රියත්වයක් තිබුණා. ඉතින් ඒ කාලෙදි මගේ ලොකුම බලාපොරොත්තුව වුණේ නර්තනය පැත්තෙන් ඉදිරියට ගිහින් නර්තන ගුරුවරියක් වෙන්න. ඉතින් පුංචි කාලෙ ඒ හිතපු හීනයට යන්න හැකිවෙලා තියෙනවා.

ඒ කියන්නේ තුලංගා වෘත්තියෙන් ගුරුවරියක්?

ඔව්. මම නර්තන ගුරුවරියක්. පුංචි දරුවන්ට තමයි ඉගැන්වීම් කරන්නෙ.

ඉතින් ඒ දරුවොත් එක්ක ගෙවන ජීවිතේ ගැනත් කියමු?

ඇත්තටම හරිම සුන්දරයි. හරිම ආදරණීය දරුවො ටිකක් ඉන්නෙ. ඉගෙන ගන්නත් හරිම ආසයි. ඒ වගේම දක්ෂයි. ඇත්තටම පුංචි දරුවො එක්ක ඉද්දි කාලය ගත වෙනවා දැනෙන්නෙ නැහැ. අපි ප්‍රශ්නෙක ඉන්නවා නම් ඒවත් අමතක වෙනවා දරුවො එක්ක කාලෙ ගෙවද්දි. මටත් ගොඩක් ආදරෙයි පුංචි දරුවො. ඉතින් පාසල තුළ හරිම සතුටින් ඒ කාලය ගත කරනවා.

ගුරු වෘත්තිය කරන ගමන් කලාව කරන්නෙ විනෝදාංශය විදියටද?

ඔව්. ගුරු වෘත්තියටත්, කලාවටත් මම ගොඩක් ආදරෙයි. නමුත් කලාව කරන්නෙ මම විනෝදාංශය විදියට. ගුරුවරියක් විදියට වෘත්තිය කරන ගමන් ඉදිරියේදී කලාව පැත්තෙන් හොඳ නිර්මාණ සහ හොඳ චරිත රංගනයන් ලැබුණොත් ඒවටත් දායක වෙලා කලා අංශයෙනුත් ලස්සන ගමනක් යන්න කැමතියි.

ධනු විජේරත්න / ඡායාරූප - සජීව ලක්ෂාන්