අපි දෙන්නට අපේ දැනුම සහ ලබාගත් අත්දැකීම් අනාගත පරපුරට ලබාදීමටයි අපි උත්සහ කරන්නේ
වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නැතත්, චාමර කපුගෙදර සහ අජන්ත මෙන්ඩිස් යනු, මෙරට ක්‍රිකට් ලෝලීන්ගේ වගේම ක්‍රිකට්වලට ආදරය කරන ලෝකයේ බොහෝ දෙනාගේ ආදරය අදටත් ලබන ක්‍රිකට් තරු දෙකකි. සරලව කිවහොත් ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකි. මේ දෙදෙනා එක්ව අලුත් ‘ඉනිමක්’ ආරම්භ කර තිබෙනවා. ඒ තමයි තලවතුගොඩ ඔස්ටේෂියා ක්‍රිකට් ඇකඩමිය බාර ගැනීම. ඒ නිසා, දැන් ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණ ක්‍රිකට් උගෙන ගන්න ආසා කරන ළමයින්ට වගේම, තරුණයින්ට මේ ප්රවීනයින් දෙදෙනා යටතේ පුහුණුවීම් සහ උපදේශකත්වය ලබා ගන්න පුළුවනි. චාමර සහ අජන්ත යනු එදා ක්‍රිකට් පිටියේදී සිටි හොඳ යහළුවෝ දෙන්නෙක් වගේම අදටත්, ඒ මිත්‍රත්වය තියෙන වඩා නිහතමානි ක්‍රීඩකයින් යැයි කියන්න පුළුවනි. එයාලගෙ මේ අලුත් වැඩේ ගැන වගේම, මේ දෙන්නා රඟපෑමටත් ඒමේ අදහසක් තියෙන බව තමයි ආරංචිය? ඉතින් අපි ඒ ගැනත්, එයාලගෙ අතීත මතකයන් ගැනත්, මේ හමුවෙදි අපි අහමු.
චාමර කපුගෙදර
කපු ඉස්සෙල්ලම කියමු මේ අලුත් වැඩේ ගැන?
මේක ඇත්තටම අජන්තයි මමයි කාලයක සිට කරන්න හිතාගෙන හිටපු දෙයක්. ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තට පස්සෙ නැවත අපට ක්‍රිකට් වෙනුවෙන් මොනවද කරන්න පුළුවන් කියන දේ ගැන අපි නිතර කතා වුණා. අපි දෙන්නම ක්‍රිකට් සමාජවල, පුහුණුකරුවන් ලෙස අද කටයුතු කරන නිසා, ඒ අත්දැකීමත් ලබා ගන්න අපට පුළුවන්. ඒ එක්ක දක්ෂතා ඇති ළමයින් අපේ රටේ ඕනෑ තරම් සිටිනවා. ඒ සෑම දෙනෙක්ම පාසල් ක්‍රිකට් ක්ෂේත්රයේ සිටින අය නෙවෙයි. ඇකඩමි වලින් පුහුණු වන අයත් සිටිනවා. විශේෂයෙන්ම අජන්ත මෙන්ඩිස් පවා ක්‍රිකට් මුලින්ම පටන් ගත්තෙ ඇකඩමියකින්. ඉතින් ඒ නිසා අපේ අත්දැකීම් මේ විදියට ඕස්ටේෂියා ආයතනය සමග එක්වී බෙදා දෙන්නට පුළුවන් වීම ගැන අපි සතුටු වෙනවා. මේ සමගම අපි කාලයක් තිස්සේ බලා සිටි දේ, ඒ කියන්නෙ අපි ලද දැනුම සහ අත්දැකීම් නව පරපුරට ලබා දෙන්න දැන් තමයි අපට අවස්ථාවක් ලැබී තිබෙන්නෙ. මෙහිදී අපි උගන්වන්නෙ ක්‍රිකට් විතරක් නෙවෙයි. ජීවිතය ජයගන්න තව බොහෝ දේ තියෙනවා. අපි ඒ සියලු දේ ගැන ලෝභ නැතුව නව පරපුරට ලබා දීමට සූදානම්. සමබල ආහාර පාන රටාවක සිට, නිරෝගිමත් ජීවිතයකට අවශ්‍ය සියලු දේ කියා දීමට අපි තව විශේෂඥයින් මේ වැඩේට යොදා ගන්නවා.
ඒ අලුතින් පටන් ගත්ත වැඩේනෙ. අජන්ත සහ කපු ජාතික පිලට ක්‍රීඩා කළ කාලයේ මතකයන් අවදි කළොත්, මුල්ම මතකය එන්නෙ කොතැනින්ද?
පැරණි මිත්‍රත්වයක් තියෙන්නෙ. මට මතක විදියට, ‘අජා’ මුලින්ම කන්ඩායමට එක්වුණේ 2005 දී විතර. අපි ජාතික කණ්ඩායමේ පුහුණුවීම් කරද්දි, එයාට පන්දු යැවීම කරන්නයි තිබුණෙ. එයා පාසල් ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස එච්චර ක්‍රීඩා කරලා තිබුණෙත් නැහැ. එයාගෙ ආරම්භයත් ක්‍රිකට් ඇකඩමි එකක. ඒ විදියට ඇවිත් හිටපු අජන්ත සහ මා අතර මිත්‍රත්වය වර්ධනය වුණේ එක හා සමාන අදහස් තිබුණු නිසයි. එ් වගේම එකම වයසෙ වගේ. ජාත්‍යන්තර තලයට ආ පසු එදා කණ්ඩායෙම් සිටි ක්‍රීඩකයින් අතරින් තරුණ ක්‍රීඩකයින් හැටියට හිටියෙ මම, සචිත්ර, උපුල්, තරංග, අජා, කුලේ, මාලිංග වගේ අය. ඒ නිසා නිතරම අපි හොඳ යාළුවෝ වුණා.
ඒ කාලයේ සංචාරවලදි මුහුණදුන් හොඳ මතකයන් එහෙමත් ඇති?
2010, විස්සයි - විස්ස ලෝක කුසලාන තරගාවලිය පැවැත්වුණේ බටහිර ඉන්දීය කොදෙව්වලදියි. අවසන් පූර්ව තරගයේදී අපි පරාද වුණා. ඉන්පසුව අපට එහි සිට ඇමරිකාව බලා යාමට තිබුණා. එහේ තරග සංචාරයකට. ඊට පෙර දින දෙකක විතර නිවාඩුවක් අපට ලැබුණා. අවසන් පූර්ව තරගය පැරදුණාම, අපි ඔක්කොම හරිම කණගාටුවෙන් හිටියෙ. මොකද අපි හොඳ සූදානමකින් දිනන්නමයි ගියේ. ඒ නිසා පසුව අපේ මානසිකත්වය හොඳින් තියා ගන්න ඕනෑ නිසාත්, අවසන් පූර්ව තරගය දක්වා ආ නිසාත් ඇමරිකා සංචාරයට පෙර සාදයක් පැවැත්වූවා. ඒ සාදය ඉවර වෙලා, මම අජාට කිව්වා, රවි බොපාරා, මට ටී ෂර්ට් එකක් දෙනවා කීවා. ඒක ගන්න යමු කියලා. ඔන්න ඉතින් අපි දෙන්නා එහා හෝටලයට පයින් ඇවිද ගෙන යමින් හිටියෙ. ඒ වෙලාවෙ වෑන් එකක් ඇවිත් නතර කළා. ඒකෙ හිටපු අය ඔයාලා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නේද කියලා අපි දෙන්නගෙන් ඇහුවා? ආ නගින්න නගින්න මල්ලි අපිත් මේ පොඩි පාටියකට යන ගමන් කියලා කිව්වා. ඉතින් අපි දෙන්නා වාහනයට නැග්ගා. සිංහලෙන් කතා කළ නිසා ගියත්, එයාලා අපි කැලෑවක් ඔස්සේ තිබූ පාලු පාරකින් දුරකට එක්කගෙන ගියා. ගිහින් අපට සංග්‍රහ කළා. ඒත් අපට ඇතිවුණේ ලොකු බයක්. පාළු කැලෑවක් අතරින් මහ රෑ යද්දි ලොකු බයක් ඇතිවුණේ. ආපසු ගෙනල්ලා බැස්සුවත්, ආයෙත් නම් ඒ වගේ මෝඩ වැඩ කරන්නෙ නැහැ කියලා අපි දෙන්නා හිතා ගත්තා. කොහොම හරි රවි බොපාරාත් අපට මිස් වුණා.
දෙදෙනා එකට ක්‍රීඩා කළ තරග අතරින් හොඳම මතකය තියෙන තරගය මොකක්ද?
2010 විස්සයි - විස්ස තරගාවලියේදී ඉන්දියාව පරාජය කරලා අපි සෙමි ෆයිනල් ආ තරගය හඳුන්වන්න පුළුවනි. එදා අවසන් පන්දුවට පහර දීලා මට තරගය දිනා දෙන්න පුළුවන් වුණා. ඊට පෙර ආසියානු කුසලාන අවසන් තරගයේදී ‘අජා’ විකට් 6ක් හෝ 7ක් අරගෙන අපට විශිෂ්ඨ ජයක් ලබා දුන්නා. ඒක ඉතාම සුවිශේෂි පන්දු යැවීමක්. ඒ වාර්තාව වෙනුවෙන් ෆීල්ඩ් එකේ සිටීමත් මම ලැබූ වාසනාවක්.
දේශීය ක්‍රිකට් තරගවලදි දෙන්නා එකම කණ්ඩායමට නෙවෙයිනෙ ක්‍රීඩා කළේ? අජාගෙ පන්දු හමුවේ, කපු, ලකුණු ලබාගෙන තියෙනවද? නැත්නම් අවුට් වූ වාර ද වැඩි?
මම එයාගෙ පන්දු යැවීම් හමුවේ ලකුණු ලබාගෙන තිබෙනවා. හැබැයි ඊට වඩා අවුට් වෙච්ච අවස්ථා තමයි වැඩි. අන්තර්ජාතික ක්‍රිකට් පිටියේදි මට මතක විදියට හරිම හාස්‍යජනක දෙයක් වුණා. අපි ක්‍රීඩා කළේ ඉන්දියාව එක්ක වගේ මට මතකයි. අන්තිමට පන්දුවට පහර දෙමින් සිටියෙ ‘අජා’. විකට්ටුවෙන් ඈත්වෙලා පුල් පහරක් එල්ල කළා. හැබැ පන්දුව ගියේ ගහපු දිහාවට නෙවෙයි. තර්ඩ්මෑන් දෙසින් හතරේ සීමාවට. ඒ විදියට ඊළඟ පන්දුවටත් එහෙම වුණා. තුන්වෙනි සහ හතරවැනි එකටත් ඒ දේම වුණා. පස්සෙ ක්‍රීඩාගාරයට ආපු අජා, කොහොමද ‘මචං’ මගේ ‘ක්‍රිකට්’ එක කියලා ඇහුවා. අපි ඔක්කෝටම හිනාව නවත්තාගන්න බැරිව ගියා.
කපු ඇත්තම කියන්න. ඔය දෙන්නටම රඟපෑමට කතා කරනවා නේද? මොකද හිතන්නෙ? කැමති නැද්ද ඒකට?
මට නම් කතා කරලා තියෙනවා. ළඟකදි නම් හැබැයි ආරාධනා ලැබුණේ නැහැ. අන්තිමට මම අපේ මිතුරු ‘සචිත්ර’ගෙ මියුසික් වීඩියෝ එකට හිටියෙ. ඒ හිටියෙත් යාළුකමට. තවත් මියුසික් වීඩියෝ දෙකකට විතර හිටියා.
දෙන්නම හොඳ යාළුවෝ වෙච්ච එකේ රඟපාන්නත් ආවොත් නේද හොඳ?
මෙහෙමයි, රඟපෑමට එහෙම තදබල උනන්දුවක් නම් නැහැ. හැබැයි ඒ අත්දැකීම මොන වගේද කියලා බලන්න ආසයි. ලැබෙන චරිතයත් මට ගැලපෙනවද කියලා බලන්න ඕනෑ. කතාවක, තියෙනවනෙ හැම පැත්තෙන්ම ප්රේක්ෂකයො ආමන්ත්‍රණය කරන්න පුළුවන් චරිත. අන්න ඒ වගේ චරිතයක් නම්, හිතලා බලනවා.
ඔය ගොල්ලො එකට එකතු වෙලා සිංදු - සාජ්ජ එහෙමත් දානවලු නේද?
සිංදු කියනවා. අපේ සිංදු කියන්න පුළුවන් ක්‍රීඩකයින් පිරිසකුත් ඉන්නවනෙ. සචිත්ර, මිලින්ද එහෙම. ඉතින් එක්තරා අවස්ථාවක අපි එකතුවෙලා ප්‍රසංගයක් කළොත් හොඳයි කියලත් අපි හිතලා තියෙන්නෙ. ඉදිරියේදි බලමු.
අජන්ත මෙන්ඩිස්
‘අජා’, කපු බොහෝ දේ ඔබ ගැන කිව්වා. කපු නම් ආරාධනාවක් ආවොත් රඟපෑමට සූදානම්ලු? මොකද කියන්නෙ ‘අජා’ කැමතිද රඟපාන්න? යාළුවෝ දෙන්නම එකම නිර්මාණයක රඟපාන්න කැමති නැද්ද?
හිතලා බලන්න ඕනැ. බැරි වෙන එකක් නැහැ, හැබැයි ඉතින් මට නම් ගැලපෙන්නෙ දුෂ්ට චරිතයක් තමයි.
එදා ‘කපු’ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළ විදිය ගැන අද ඔබට හිතෙන්නෙ කොහොමද?
‘කපු’ ඇත්තටම දුර්ලභ ගණයේ ක්‍රීඩකයෙක්. එයා එයා වෙනුවෙන් ලකුණු ගහන්න ගියා නම් අදටත් ජාතික පිටියේ ඉන්න තිබුණා. ඒත් එයා නිතරම ක්‍රීඩා කළේ තමාට වඩා කණ්ඩායමේ ජයග්‍රහණය ගැන හිතලා. නිතරම මැච් එක ගැන හිතුවෙ. එදා බටහිර ඉන්දීය කොදෙව්වලදි විස්සයි - විස්ස අර්ධ අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව පරාජය කරන්න අපට ලොකු ලකුණු ප්‍රමාණයක් හඹා යන්න තිබුණා. ඇන්ජලෝ සහ කපු හොඳ සබඳතාවයක් දුන්නා. ඒත් අන්තිමට – අන්තිම පන්දුව ලකුණු තුනක් ගහන්න ඕනැ වුණා. කපු ලකුණු 6ක් ලබාගෙන තරගය නිම කළා. අදටත් මට ඒ අවස්ථාව මතකයි. ‘කපු’ ඒ වගේ විශිෂ්ට ක්‍රීඩකයෙක්.
යාළුවකු විදියට මොන වගේ කෙනෙක්ද?
හොඳ යාළුවෙක්. ඊටත් වඩා හොඳ සහෝදරයෙක්.
ඔබ තැබූ අදටත් නොබිඳි ලෝක වාර්තාවේ මතකයන් ගැනත් ‘කපු’ කිව්වා? කොහොමද ඔබට ඒ මතකය?
අඩුම තරග සංඛ්‍යාවකින් වැඩිම කඩුළු ලබාගෙන වාර්තාවක් තබන්න අවස්ථාවක් ලැබුණා. ඒ තරගයේදී අපේ කණ්ඩායමේ සිටි වඩාත් දක්ෂ පන්දු රකින්නන් වුණේ, ඩිල්ෂාන්, සචිත්ර සහ කපු වගේ ක්‍රීඩකයින්, පිතිකරු අසලම පන්දු රකිමින් සිටියෙ. කපු සාමාන්‍යයෙන් ‘කැච්’ මිස් කරන කෙනෙක් නෙවෙයි. විශිෂ්ට පන්දු රකින්නෙක්. ඒත් එදා ඉතාම ලෙහෙසි උඩ පන්දුවක් අත්හැරියා. වර්ල්ඩ් රෙකෝඩ් එක 17න් තියන්න තිබුණු එක අන්තිමට 19 වුණා. ඒ උඩ පන්දුව රැක ගන්න බැරිවීම ගැන කපු හරියට දුක් වුණා. ඒත් එදා මට වර්ල්ඩ් රෙකෝඩ් එක තියන්න පුළුවන් වුණා.
ඉතින් මේ හමුවෙදි ‘අජා’ට තවත් මොනවද කියන්න තියෙන්නෙ?
අපි දෙන්නට අපේ දැනුම සහ ලබාගත් අත්දැකීම් අනාගත පරපුරට ලබාදීමට මේ විදියට ඔස්ටේෂියා ක්‍රිකට් ඇකඩමියට සම්බන්ධවීමට ලැබීම එක්ක අපි හොඳම දෙයක් කරන්නයි බලාපොරොරොත්තුව.
සඳුන් ගමගේ