අපි දකින අත් දකින දේවල් හිතේ තැන්පත් වෙලා වස්තූ බීජ නිර්මාණය වෙනවා
කැසට් පටයේ සිට යූ ටියුබ් තෙක් ගීත මාධ්‍යය කලාව වෙනස් වූ කාලය පුරාවටම ඔහුගේ ගීත මල්ල හිස් නොවිණි. සෑම කාලයකම පැරණි පරපුර, නව පරපුර වෙනසක් නොමැතිව ඔහුගේ ගීත ගායනා කරන්නට ප්‍රිය කළහ. ප්‍රේක්ෂකයෝ අසන්නට ප්‍රිය කළහ.
ඈත වන්නියේ ගුරුගෙයි පාර අසා
නුඹෙ ඉසව්වට එන්නට හිතෙයි ළමා
සාර සියක් ෙදාම්නස් මැද දෝර ගලා
ඔය උණුහුම මට දැනුණේ දෝස නසා
අබේවර්ධන බාලසූරිය හා නිරංජලා සරෝජිනී ගායනා කරන මේ ගීතය සේම භාතිය සන්තුෂ්, නිරෝෂා විරාජිනී ගායනා කරන ගීත රැසකම පද රචනාවල හිමිකරු වන ඔහු නිලාර් එන් කාසිම් ය.
කාලයේ තාලයට, ගායක ගායිකාවට ගැළපෙන අන්දමට සිය ගේය පද රචනා වෙනස් කරන්නට ඔහුට ඇත්තේ විසල් හැකියාවකි.
“මම කවි ලියන්න පටන් ගත්තේ උසස් පෙළ පන්තිවල ඉන්නකොට.. ගුවන් විදුලියට, පත්තරවලට මම කවි ලිව්වා.. ටික කාලයක් යද්දී මටම තේරුණා මගේ කවිවල ගීතමය ලක්ෂණ තියෙනවා කියලා.. ඒ නිසාම මම ගීත මාධ්‍ය අධ්‍යයනය කරන්න පටන් ගත්තා.. විශ්ව විද්‍යාලයට ඇතුළු වෙද්දීත් මගේ ගීත කීපයක් ගුවන් විදුලියේ විකාශනය වන ජනප්‍රිය ගීත බවට පත් වෙලා..”
මේ වන විට නිලාර් එන් කාසිම් නේත්‍රා රූපවාහිනී නාළිකාවේ අධ්‍යක්ෂ ලෙසත්, ජාතික රූපවාහිනියේ වැඩසටහන් අධ්‍යක්ෂ ලෙසත් කටයුතු කරමින් සිටියි. ඒ අතරේම ශ්‍රී ලාංකේය ගේය පද රචක සංගමයේ සභාපති, කර්තෘ හිමිකම් වෙනුවෙන් කටයුතු කරන ACPO SL සංගමයේ සභාපතිත්වය යන ධූර උසුලමින් එම කටයුතුවල ද නියැළෙයි. රූපවාහිනී නිවේදකයෙකු ලෙස ද කටයුතු කරන්නේ නිවේදනයට ඇති සමත්කම් පෙන්වමිනි. වෙළෙඳ දැන්වීම්වලට ගීත, (ජින්ගල්ස්)ප්‍රාසාංගික පිටපත් රචනා කිරීම් වලට ද මැදිහත් වේ. කුමන කටයුත්තක නියැළුණ ද ගීත ලිවීම නම් ඔහු අතින් මඟ හැරෙන්නේම නැත.
“මම පරිපාලන කටයුතු කරන්නේ අද ඊයේ නෙමෙයි... දැනට වසර විස්සක විතර ඉඳලා මගේ වෘත්තීය ජීවිතය වුණේ පරිපාලනය.. කලාව, ගී පද රචනා ක්ෂේත්‍රයේ මේ වෙද්දී වසර 30කට ආසන්න කාලයක් රැඳිලා ඉන්නවා.. මට දවසකට මූණ දෙන්න අභියෝග රැසක් තියෙනවා.. භාෂාවත් ඒ වගේ අභියෝගයක්.. නේත්‍රා චැනලයේ මම දමිළ භාෂාවෙන් වැඩ කරනවා.. රූපවාහිනියේ සිංහල භාෂාවෙන් වැඩ කරනවා.. ගී සංගම්වල ගැටලු විසඳලා, ඒ වැඩකටයුතු කරනවා... ඔය හැම දේම අතරේ ගීත ලියනවා.. එකකට එකක් නොගැළපෙන ක්ෂේත්‍රවල රැඳිලා හිටියත්, ඇත්තටම වැඩ තුලනාත්මකව කරගෙන යද්දී මේ වැඩ අපහසු නෑ...”
ඔහු සිය කටයුතු තුලනාත්මකව සිදු කරන බවට කිසිදු සැකයක් නැත්තේ, කෙතරම් කාර්ය බහුල වුවත් වසරකට ඔහුගේ පද රචනාවලින් හැඩ වූ ගීත කිහිපයක්ම නිකුත් වන නිසාය. මෙතරම් කාර්ය බහුල ඔහුට ගීපදවලට නිමිති ලැබෙන්නේ කෙසේදැයි මට තිබුණේ කුතුහලයකි.
“නිර්මාණයකට නිමිත්තක් එන වෙලාව කියන්න බෑ.. අපි දකින අත් දකින දේවල් හිතේ තැන්පත් වෙලා වස්තූ බීජ නිර්මාණය වෙනවා. සමහර වෙලාවට වාහනේ යන අතරතුරේදී නිමිත්තක් හිතට එනවා.. සමහර වෙලාවට ගී පදම ඔළුවට එනවා.. ඒ වගේ වෙලාවට මම කරන්නේ එක්කෝ වාහනේ පැත්තක නවත්තලා ඒක ලියාගන්නවා.. එහෙම නැත්නම් වොයිස් මැසේජ් එකක් විදියට සේව් කර ගන්නවා... හැබැයි සිංදුවක් පරිපූර්ණත්වයට පත් කරන්න නම් මට හුදෙකලා අවකාශයක් ඕනේ.. ගොඩක් වෙලාවට රෑට හෝ සති අන්තයේ තමයි මම ඒ නිදහස හොයා ගන්නේ.. මම පැත්තකට වෙලා ඉන්නවා නම් ගෙදර අය දන්නවා මම මේ වෙලාවේ නිදහසේ කරන්න ඕනේ වැඩක් කරන්නේ කියලා.. එයාලත් මට බාධාවක් කරන්නේ නෑ..”
දමිළ බස ඔහුගේ මුල් භාෂාව වුවත්, ඉගෙනුම ලැබුවේත් වැඩ කටයුතු කරන්නෙත් සිංහල භාෂාවෙන් නිසාම වඩාත් සමීප බස වී ඇත්තේ සිංහලයි. ඔහුගේ ගීත අතරින් සීයට 98ක් පමණම නිර්මාණය වී ඇත්තේ සිංහල භාෂාවෙනි.
“මම දමිළ ගීතත් ලියලා තියෙනවා.. සිංහල දෙමළ මිශ්‍ර ගීතත් ලියලා තියෙනවා..”
භාෂා කිහිපයක් දැන සිටීමේ වටිනාකම වන්නේ මෙයයි.
දශක තුනක් පුරාවට පෙර පරපුර වෙනුවෙන් සේම නව පරපුර වෙනුවෙන් ද ගීත රචනා කිරීම වෙනස්ම ආකාරයේ අභියෝගයකි.
“පෙර පරපුර බොහෝ වේලාවට උනන්දු වුණේ හොඳ වැඩක් කරන්න.. ආර්ථික වටිනාකමටත් වඩා ආත්ම තෘප්තිය ගැන එයාලා අවධානය යොමු කළේ. ඒ වගේම අපි ලියන ගීතවල සාහිත්‍යමය සුන්දරත්වය ගැනත් අවධානය යොමු කළා. ඒත් නව පරපුරේ වැඩි දෙනෙක් උත්සාහ කරන්නේ ආර්ථික නිෂ්පාදනයක් කරන්න.. සමාජ මාධ්‍යය ඔස්සේ ජනගත වෙන නිසා ගීතවලට සාහිත්‍යමය වටිනාකමට වැඩිය වෙළෙඳපොළ වටිනාකම වැඩි වෙලා..”
මුදල්වල වටිනාකම බොහෝ සේ ඉහළ ගොස් ඇති සමයක ගීත මාධ්‍යයට පමණක් මුදල් බලපෑම් නොකරන්නේ නැත.
විශේෂයෙන්ම වර්තමානයේ බිහිව ඇති බොහොමයක් ගී පද රචකයින් සම්බන්ධයෙන් ඔහුගෙන් විමසා සිටියේ ගී පද රචක සංගම්වල ද ධූරයන් දරමින් ගී පද රචකයෙකු ලෙස ඉහළින්ම රැඳී සිටිනා නිසාමය.
“සංඛ්‍යාත්මකව බිහිවන නිර්මාණ අතරේ හොඳ නිර්මාණ අතළොස්සක් තියෙනවා.. ඒත් ඒ අතළොස්සටත් සාහිත්‍යමය ශික්ෂණයක් ලැබෙන්න ඕනේ.. වර්තමානයේ කවිවලට තනු දාලා ගායනා කරනවා.. ඒ කවි කොයි තරම් ලස්සන වුණත්, ගීත මාධ්‍යයි කවියයි අතරේ ලොකු වෙනසක් තියෙනවා.. ගීතයට ඊට ආවේණික වුණ ලක්ෂණ තියෙනවා.. මේ ලක්ෂණයන්ගේ වෙනස වටහාගන්නේ නැතුව ගීත නිර්මාණය කරන්න බෑ... හැබැයි මේ දේවල්වලට අපිට තරුණ පරපුරටම ෙදාස් කියන්න බෑ.. මොකද මෙහෙම වෙන්නේ ජ්‍යෙෂ්ඨයින්ගෙන් ඔවුන්ට නිසි මඟ පෙන්වීමක් නොලැබෙන නිසා.. මේ වෙද්දී ශ්‍රී ලාංකීය ගේය පද රචක සංගමය තීරණය කරලා තියෙනවා ගී පද රචනා සම්බන්ධයෙන් වැඩමුළු මාලාවක් අරඹන්න..”
වර්තමාන ගී පද රචකයින්ටත්, ගී පද රචනා ගැන ඉගෙන ගැනීමට සේම, ගී පද රචකයෙකු වීමට බලාපොරොත්තුවෙන් ඉන්නා අයටත් මෙය සුබ ආරංචියක් බව නිසැකය.
“දීර්ඝ කාලයක් තිස්සේ ඉඳලා තියෙන ගැටලුවක් තමයි ගී පද රචකයින්, සංගීතඥයින් සැඟවී යෑම.. කාලෙකින් හම්බවෙන මිත්‍රයින් මගෙන් අහනවා අලුතෙන් සිංදුවක් ලිව්වේ නැද්ද කියලා.. හැම මාසෙකම මගේ ගීත පටිගත වීම් සිද්ද වෙන නිසා මම ඒ ආසන්නයේ ජනගත කෙරුව ගීතයක් ගැන කියනවා. එතකොට එයාලා අහන්නේ ආ ඒ සිංදුව මම කීප සැරයක්ම ඇහුවා.. ඒක ලිව්වේ ඔයාද කියලා.. මොකද ගීතය නිර්මාණය වුණාට පස්සේ ගායකයා හෝ ගායිකාව ජනප්‍රිය වෙනවා මිසක් පද රචකයා ජනප්‍රිය වෙන්නේ නෑ.. රූපවාහිනී ගුවන් විදුලි මාධ්‍යය ගී පද රචකයාගේ හෝ සංගීතඥයාගේ සදාචාරමය අයිතිවාසිකම්වලට ගරු කරන්නේ නැති නිසා ඔවුන්ගේ නම් විකාශය කරන්නෙත් නෑ..”
ඉතින් සැබෑය. ගී පද රචකයින් සේම සංගීතඥයින් ද සැඟවී යන්නේ නොදැනීමය. කර්තෘ භාග සම්බන්ධයෙන් වුවත් ගැටලු පැන නඟින්නේ, ඔවුන්ගේ නමවත් ගීත විකාශය කරන විට ප්‍රසිද්ධ නොකරන නිසාය. මේ වන විට සංගීත අධ්‍යක්ෂවරුන්ගේ හා ගී පද රචකයින්ගේ සංගමය කොපිරයිට් සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටියි.
“වාණිජමය අරමුණකින් ගීත නිර්මාණය කරද්දී බුද්ධිමය දේපළ පනත යටතේ ගී පද රචකයාට වගේම සංගීතඥයින්ට කර්තෘ භාගයක් ගෙවන්න බැඳිලා ඉන්නවා.. ඒත් මේ ක්‍රියාවලිය නිසි පරිදි තවමත් සිදු වන්නේ නෑ.. අපි ඉදිරියේදී මේ ක්‍රියාවලිය විධිමත් කරන්න කටයුතු කරගෙන යනවා..”
ගීතයට සම්බන්ධ සංගම් රැසක් බුද්ධිමය දේපළ අයිතිවාසිකම් කෙරෙහි මේ වනවිට අවධානය යොමු කර ඇති නිසාම කර්තෘභාග ගැටලුව ඉක්මනින් විසඳෙනු ඇත.
ගායක ගායිකාවන් වෙනුවෙන් සේම ටෙලිනාට්‍ය හා චිත්‍රපටිවලටත් නැතුවම බැරි ගී පද රචකයා වන්නේ නිලාර් එන් කාසිම් ය. මෑතක විකාශය කෙරුණු ගින්දරී, ස්වර, පාරදිගේ, සාරිගප්පි ඇතුළු චිත්‍රපට 50කටත් වැඩි සංඛ්‍යාවකට හා ටෙලි නාට්‍ය විශාල සංඛ්‍යාවකට ද ඔහුගේ ගීත තේමා ගීත වශයෙන්ම සේම අන්තර්ගත ගීත ලෙසින් ද නිර්මාණය වී තිබේ. සරල ගීත නිර්මාණයකට වඩා ටෙලි නාට්‍යයකට හෝ චිත්‍රපටියකට ගීත නිර්මාණය කිරීම වෙනස්ම කටයුත්තකි.
“සරල ගීතයක් ලියද්දී අපි කැමැති විදියට හිතේ හැටියට ලියනවා.. රූප රචනා නිර්මාණය කරනවා නම් ඒ කරන්නේ ගීතයේ පදවලට අනුව.. ඒත් ටෙලි නාට්‍යයකට හෝ චිත්‍රපටියකට එහෙම හිතු මනාපේට ලියන්න බෑ.. අපි තිර පිටපත ගැන අවධානය යොමු කරන්න ඕනේ.. චිත්‍රපටිය පුරාවෘත්තයක් නම් ඒ කාලේ භාෂාව ගැන අධ්‍යයනයක් තියෙන්න ඕනේ.. ප්‍රේම ජවනිකාවක් වෙනුවෙන් ලියන ගීතයක් නම් ඒ පෙම් යුවලගේ සමාජ පසුබිම, ඒ මොහොත ගැන හිතන්න ඕනේ.. රූප මාධ්‍යය මුල් කරගෙන කරන ගීත නිසා පුළුල් අධ්‍යනයකින් පස්සේ තමයි ගී පද රචනාවන් කරන්නේ.. මම දැන් අවුරුදු 25ක් විතර රූප මාධ්‍යය එක්ක කටයුතු කරන නිසාම වෙන්නැති මට තිරපිටපතට ගැළපෙන ගීත ලිවීම අපහසු කාර්යයක් නෙමෙයි..”
අත්දැකීම්, යමෙකු පරිණතභාවයටත්, දක්ෂයෙකු බවටත් පත් කරන්නට සමත් වෙන හොඳම අවියය.
තාරුණ්‍යයේ හීන නම් සුන්දරයි
ඒ සොම්නසින් පාවේවා සිත සඳක් සේ
මේ ජීවිතේ සෝක කඳුළැල් නිවූ
සන්තෝසෙන්
තුන්යාමේ සිත පිරේවා
තාරුණ්‍යයේ හීනවල සිට දේදුන්න සේදී යන තෙක්මත්, දීප දීප දැල්වෙන දීපවාලි රාත්‍රිය දක්වාම නිලාර් එන්. කාසිම්ගේ පෑනෙන් ලියවෙන ගී පදවල අඩුවක් නොවේ.
පවනි උමයංගනා