අපෝ කිසිම දවසක එයා රඟපාන්න ඕනැ කියලා නැහැ
අධ්යක්ෂවරයකු වීමේ සිහිනයක්, බලාපොරොත්තුවක් මටත් තිබුණා. හැබැයි ඒක ඉක්මනින් සිද්ධ වෙච්ච කාරණාවක්. ඒ බලාපොරොත්තුව ඉක්මන් කළේ මාලින්ද මධුශංක සහ කපිල සුදත් යන මගේ මිත්රයින් දෙදෙනා. කාලයක් තිස්සේ වැඩක් කරමු කියල මට කිය කියා හිටියෙ මේ යාළුවො දෙන්නා. ඒ හරහා තමයි පණ්ඩුක වීරසේකර කියන තරුණයා මට හමුවුණේ. ඔහු නිසා තමයි මගේ අධ්‍යක්ෂණයේ සිහිනය මේ තරම් ඉක්මනට සිදුවුණේ. ක්ෂණිකව කතා කරලා ක්ෂණිකව කළ නිර්මාණයක්. ඒ නිසා මට ඒ අවස්ථාව ලබා දුන්න තරුණ කණ්ඩායමට මම බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම ස්වර්ණවාහිනියට මම ස්තූති කරන්නෙ ඒ අවස්ථාව මේ තරුණ කණ්ඩායමට ලබාදීම පිළිබඳවයි. ඒක හරි වටිනවා. ඒ නිසා අපට තරගකාරී ප්රවාහයට එකතු වෙන්න පුළුවන් වෙලා තියෙනවා. ස්වර්ණවාහිනියත්, අපේ කණ්ඩායමත් දිනුම්. මොකද වැඩි පිරිසක් නරඹන නාට්‍යයක් බවට මේ නාට්‍යය පත්වෙලා.
දන්නවනෙ, මෙහෙම කියන මේ ධනංජය සිරිවර්ධන ගැන. ආයෙ අමුතුවෙන් හැඳින්වීම් කරන්න ඕනැත් නැහැනේ. ලියන්න, කියන්න, රඟන්න, මේ සෑම දෙයකටම දක්ෂ කවුරුත් ආදරය කරන ධනංජය සිරිවර්ධන ගැන අද හැමෝම කතා වෙන්නෙ, සිදාදියේ සමනළියෝ නාට්‍ය නිසයි. එය ඔහුගේ කුළුඳුල් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයයි. සිදාදියේ සමනළියන් පස් දෙනෙක්, නැතිනම් මේ නාට්‍යයේ රංගන ශිල්පිනියන් පස් දෙනෙක් අධ්‍යක්ෂණයෙන් ධනංජය මෙහෙය වූවේ කොහොමද? ඒ වගේම මෙහි අවස්ථා කීපයක් වෙනුවෙන් ධනංජය ඕස්ට්‍රේලියාවෙ සහ නවසීලන්තයෙ රූගත කිරීම් කළේ කොහොමද? ඒ ගැන විස්තර කියන්න තමයි ධනංජය මේ විදියට අද සඳැල්ලට ආවෙ.
ධනංජය ඉතින්?
ඉතින් මුලින්ම මම මේ නාට්‍යයට එක්වූ සියලු දෙනාට ස්තූති කරන්න කැමැතියි. සිදාදියේ සමනළියෝ කියන්නේ මගේ අධ්‍යක්ෂණය විතරක් නිසා ගොඩ ගිය නාට්‍යයක් නෙවෙයි. සමස්ත නිෂ්පාදන කණ්ඩායම, නළු නිළි පිරිස වගේම ස්වර්ණවාහිනිය වගේම මේ නාට්‍ය හදන්න සෑම අංශයකින්ම සහයෝගය දුන්න හැමෝගෙම නිර්මාණයක්.
කොහොමද ඔබගෙ ආදරණීය බිරිඳ ශෂිනි මේ නාට්‍ය ගැන මොනවද කියන්නෙ? එයාටත් රඟපාන්න ආසලු ද?
අපෝ කිසිම දවසක එයා රඟපාන්න ඕනැ කියලා නැහැ. එයාට එහෙම ඕනෑත් නැහැ වගේ. එයා මේ නාට්‍ය නරඹනවා. මේ වැඩේ කරන්න හරියට මට උදවු කරනවා. ඒ දවස්වල මගේ වැඩ ගැන හොඳම විචාරය කළේ අම්මා. දැන් විවාහයෙන් පස්සෙ ශෂිනි. ඇය තමයි මගේ වැඩ ගැන හොඳම විචාරය ලබා දෙන්නෙ. ඇය කියන දේත් අහන්න වෙනවා. අම්මගෙ විචාරයත් මේ නාට්‍යයට ළඟදීම ලැබේවි.
සිදාදියේ සමනළියන්ට ප්‍රතිචාර කොහොමද?
මම හිතන්නෙ ඒ ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ. හැමෝටම පේන්න තියෙනවනෙ. කොහෙ හරි ගියාම මිනිස්සු ඒ ගැන මා එක්ක කතා කරනවා. හොඳ ප්‍රතිචාර තියෙන්නේ. නාට්‍යයේ ඉදිරිය ගැනත් අහනවා.
කොහොමද මේ අධ්‍යක්ෂණයේ භූමිකාව? විශේෂයෙන්ම ප්‍රධාන චරිත පහකට දායක වී සිටින ශිල්පිනියන් මෙහෙය වීම?
මේ නාට්‍ය නරඹන බොහෝ දෙනා අහලා තිබුණු දේ තමයි කවුද මේකෙ අධ්යක්ෂවරයා කියලා? ඉතින් හොයාගෙන යද්දි මම තමයි කියලා දැනගෙන තියෙන්නෙ. ඒක ඇත්තටම යම්කිසි අභියෝගයක් වගේම පුහුණුවක්. ඒ පුහුණුව ලබමින් ඉන්න බව කියන්න පුළුවන්.
මේකෙ පිටපත ලිව්වෙ අරුණ ජයවර්ධන. පිටපත කියවද්දිම මගේ ඔලුවට ආ චරිත කීපයක් තිබුණා. නිතර දුටු චරිතවලට වඩා මේ වගේ චරිත මීට පෙර නොකළ ශිල්පිනියන් තෝරා ගන්න මට ඕනැ වුණා. ‘යශෝධා’ අක්කා මීට පෙර මේ විදියෙ චරිතයක් කරලා තිබුණෙ නැහැ. ඒ නිසා ඇයගෙ රූපය මැවිලා තිබුණා. බොහොම කට සැර කාන්තාවක්. ඒ ගැහැණිය ඇතුළෙ බොහොම ප්‍රේමණීය, ආදරණීය, මවක් වගේ වෙච්ච චරිතයක් ඉන්නවා. ඒ ස්වභාවය තමයි යශෝධා අපූරුවට ඉදිරිපත් කරන්නෙ. අනෙක් අය තෝරා ගත්තෙත් ඒ ඒ චරිතවල ස්වභාවයට අනුවයි.
මේ මල් වගේ වූ රංගන ශිල්පිනියන් මෙහෙයවද්දී මුහුණ දුන් රසමුසු දේ එහෙමත් ඇති?
විශේෂම දේ තමයි මේ චරිත රඟපාන අලුත් ශිල්පිනියන්ට වෙලාවකට මම රඟපාලා පෙන්නනවා. කාන්තා චරිත ඒ විදියට රඟපාලා පෙන්වද්දි එයාලට හිනා. රේවතීට උපදෙස් දුන්නෙ දමිළ භාෂාවෙන්. පොඩ්ඩක් පොඩ්ඩක් දමිළ කතා කරන්නත් පුළුවන් නිසා එහෙම කළා.
‘යශෝධා’ ප්‍රවීන ශිල්පිනිය මෙහෙය වීම ඔබට මොන වගේ අත්දැකීමක් ද ගෙන දුන්නෙ?
යශෝධා කියන්නෙ වසර 35ක විතර රංගන ක්ෂේත්රයේ අත්දැකීම් සම්භාරයක් ඇති ප්‍රවීන රංගන ශිල්පිනියක්. ඇයගෙන් මේ නාට්‍යයට ලැබෙන දායකත්වය අති ප්‍රබලයි. විශිෂ්ටයි. ඒ වගේම බොහොම ආදරණීයයි. ඇය මට කලින් පෙර පරම්පරාවේ ශිල්පිනියක්. ඒත් මේ ලොකේෂන් එකට ආවම බබෙක් වගේ. එයාගේ පාඩුවෙ මම කියන දේ අහගෙන ඉන්නවා. රංගන ශිල්පිනියකට තිබිය යුතු හොඳම දේ ඇය ළඟ තියෙනවා. ඒ කියන්නෙ අධ්යක්ෂවරයා අලුත් ද? පරණ ද? කියන දේට වඩා පිටපතේ තියෙන චරිතය ජීවමාන කිරීමට තමයි ඇය උත්සාහ ගන්නෙ. ඒ චරිතය සොයා ගන්න නම්‍යශීලි වෙලා ඇය අධ්යක්ෂවරයාට අපූරු සහායක් ලබා දෙන්නෙ. ඇයගේ තියෙන සුවිශේෂත්වය එයයි. මේ චරිතයේ දී ඇය කෙතරම් සැර පරුෂ වුණත් ‘මෙන්ඩි’ කියන චරිතයට මිනිස්සු පුදුමු විදියට ආදරෙයි.
වෙනත් රසවත් සිදුවීම් මොනවද?
මා ගැන අහලාවත් නොතිබුණු නවක ශිල්පිනියක් මම මෙහි එක් චරිතයකට තෝරා ගත්තා. පස්සෙ දවසක තමයි මම දැන ගත්තෙ ඇය යශෝධා විමලධර්මවත් දන්නෙ නැහැ කියලා. ඇය ඒක පත්තරේටත් කියලා තිබුණා. මම ඇයට කිව්වෙ මාව හඳුනගන්න ඕනැ නැහැ, චරිතය හොඳටම කළාම මට ඒ ඇති කියලයි. ඇත්තටම මම චරිතවලට ගත්තෙ 99% ක්ම ඒ චරිතයට සුදුසුම කෙනා. එයාලා ඒ චරිතවලට සාධාරණය ඉටුකරලා තියෙනවා. රූගත කිරීම් අතරතුරේ විවේකයක් ලැබුණම ඒ අය ටික් ටොක් ගහගන්නවා. නිදහසේ සැහැල්ලුවෙන් ඉන්නවා. දැන් එයාලට මම නළුවෙක් ද කියලා මතකත් නැති තරම්. අධ්යක්ෂවරයා කියලා තමයි දන්නෙ.
මේ නාට්‍යයේ ඉතා සුළු කොටස් කීපයක ඔබ පෙනී සිටිනවනේ. ඒ වෙනුවෙන් ඕස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට රූගත කිරීම් කරන්න ගිය විශේෂ හේතුව?
‘බොස්’ නමැති චරිතය වෙනුවෙන් මම නෙවෙයි ඒකට පෙනී සිටින්න සිටියෙ. ඒත් අපේ නිෂ්පාදක කණ්ඩායම මට බල කළේ ඒකට පෙනී සිටින්න කියලයි. ඉතින් ඒ අතරේදි වෙනත් ප්‍රසංගයකට ඕස්ට්‍රේලියා සහ නවසීලන්තයට ගිය මොහොතක ඒ අවසරයෙන් මම තීරණය කළේ ඒ කොටස් එහිදී රූගත කළොත් හොඳයි කියලයි. ආගන්තුක චරිතයක්. මුහුණවත් හරියට නොපෙනෙන චරිතයක්. අපි ඒ රූගත කළ විදිය, ගිය වියදම ඒ සියල්ල ගැන කතා නොකර ඒ මැජික් එක ප්‍රේක්ෂකයාට දැනෙන්න ඉඩ හරිමු. නාට්‍ය ඉදිරියට නරඹද්දි එයාලට ඒ කුතුහලය තියේවි.
නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාවට ගියාම අපේ ශ්‍රී ලාංකිකයෝ පුදුමාකාර විදියට අපට ආදරයක් දැක්වුවා. රූගත කළේ ‘වන් ට්‍රි හිල්’ කියන හරි අපූරු ලොකේෂන් එකේ. ඒක තියෙන්නෙ ඕක්ලන්ඩ්වල. ඒ කන්ද උඩට ගියාම මුළු ඕක්ලන්ඩ් සිටි එකම පේනවා. නවසීලන්තයට යන බොහෝ දෙනා ‘වන් ට්‍රි හිල්’ වෙත යන්න අමතක කරන්නෙ නැහැ.
ධනංජය මීට පෙර ගිය රටවල් අතරින් කැමැතිම රට?
ඉස්සෙල්ලාම රූගත කිරීම් වෙනුවෙන් ගිය ජපානයට මම ආසයි. ඊට අමතරව යුරෝපයේ බොහෝ රටවලටත් ගිහින් තියෙනවා. ඒත් මගේ හිත ඇදී ගියේ මුලින්ම ගිය ජපානයටයි.
සඳුන් ගමගේ