අපේ කලාතරු සැමරු ආදරවන්තයන්ගේ දිනය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ආදරය යනු හුස්ම පොද මෙන් ජීවිතය ඇඳ බැඳ තබන රැහැන් පටකි. දෑඟිලි බැඳෙන, සිතුවිලි ඒකාත්මික වන, හදවතට දැනෙන ඒ දිනය උදාවී ඇත. අද පෙබරවාරි 14 වැනිදා ආදරවන්තයන්ගේ දිනයයි. ලොවම සෙනෙහසින් සමරන මේ දිනය දින දසුනේ සටහන් වීමට පාදක වූයේ නම් කඳුළු කතාවකි. ආදරවන්තයන්ගේ දිනය හා සබැඳි කතා ගොන්නක් ඇති නමුත් ඒ සියල්ලම කඳුළු කතාය. මෙවැනි කතා බොහෝමයක් සමගින් ලෝකයම ආදරය සමරනු ඇත. ඒ සමග අපේ තරු ආදරය ගැන මෙලෙස අදහස් බෙදා ගත්ත.

ළහිරුකා ඒකනායක

මම හිතන්නේ ආදරය කියන්නේ දෙන්නට දෙන්නා තේරුම් ගැනීම, විශ්වාසය, ගරුත්වය, සහයෝගය, කැපවීම වගේ දේවල් මත රැදුණු දෙයක්. සමහර වෙලාවට ටිකක් ලෝභ හිතෙන දෙයක් මට නම්. ඒත්, ආත්මාර්ථකාමි වෙලා ලබාගන්න පුළුවන් දෙයකුත් නෙමෙයි හැබැයි. අපි ආදරය කරද්දි නොගැළපිම් වෙන්න පුළුවන්. හැබැයි දවසක ආදරය කරලා වෙන් වෙන්න වුණත් නැවත හමුවීමකදී හොඳින් කතාබහ කරලා ඉන්න පුළුවන් වෙන තරමට අපේ තේරුම් ගැනීම වැදගත් වෙන්න ඕනා. ඉතින් මට නම් ආදරය කියන්නෙම හරි ලස්සන හැගීමක්.

සප්නා පාදුක්ක

ආදරය කියන්නේ එක දවසකට විතරක් සීමාවෙච්ච, වෙන්කරල සමරන්න පුළුවන් දවසක් නෙවෙයි. ආදරය කියන්නේ හැම හුස්මකම, හැම හිනාවකම, හැම වචනෙකම සහ හැම තත්පරේකම තියෙන්න ඕනි දෙයක්. මම දකින හා මම පතන ආදරේ අන්න එහෙම වෙන්න ඕනා. ආදරය කියන්නේ දෙදෙනෙක් අතර ඇතිවන ආත්මිය බැදීමක්. ඒක බලෙන් ලබාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ඉබේම හදවත් තුළ මතුවන හැඟීම් සමුදායක්. දෙදෙනෙක් අතර ඇතිවෙන ආදරය එකිනෙකා තේරුම් අරගෙන ඉදිරියට අරගෙන යන්න පුළුවන් නම් මම හිතන්නේ ඒ ආදරය සදාකාලික එකක් වෙන්න පුළුවන්.

අභිලාෂි සංතුෂ්කා

මම විශ්වාස කරන විදිහට මේ ලෝකේ පවතින්නේ ආදරය කියන දේ මතයි. ආදරය කියන දේ තමා අපිව ජිවත් කරන්නේ. මේ ලෝකය තුළ ආදරය විවිධත්වයෙන් ලබන්න පුළුවන්. දෙමව්පියන් දරුවන්ට වගේම සහෝදර, සහෝදරියන්ට, නැදැයින්ට ඥාති මිත්‍රාදින්ට එකිනෙකා කෙරෙහි ආදරය දක්වන්න පුළුවන්. තවත් පැතිකඩකින් බැලුවොත් ගුරුවරුන්ට සිය ශිෂ්‍යන්ටත් ආදරය දක්වන්න පුළුවන්. මම දකින්නේ ආදරය කියන්නේ අන්න එහෙම දෙයක්. මමත් දැන් වයස අවුරුදු විසි දෙකක තරුණියක්. ඉතින් මටත් අන් අය කෙරෙහි ආදරය දැනෙනවා. අපි හැමෝටම ආදරය අතවශ්‍යයි. ඉතින් එය දිනකට සිමා වෙන්න හොඳ නැහැ.

ලෝචනා ඉමාෂි

සාමාන්‍ය මනුෂ්‍යයෙකුට ජීවත් වෙන්න කැම, බීම, ඔක්සිජන් අවශ්‍ය වගේම ආදරය කියන දේත් අතවශ්‍යයි.  කවුරු මොනවා කිව්වාත් මට ආදරයක් අවශ්‍ය නැහැ කියලා. ඒක තාවකාලිකයි. අපිට විතරක් නෙවෙයි සතා සිව්පාවුන්ටත්, ගහ කොළ මේ හැම දේටමත් ආදරය කියන දේ අවශ්‍යයි. ඉතින් අපි හැමෝටම ආදරය කියන දේ නැතුවම බැරි දෙයක් විදිහටයි මම දකින්නේ. තවත් දෙයක් තමයි ආදරය කියන දේ තුළින් කෙනෙක්ව ලස්සනට හැඩ කරන්න පුළුවන් වගේම කැත කරලා විනාශ කරලා දාන්නත් පුළුවන්. ඉතින් ඒක හින්ද මම කියන්නේ අපි මොන දේ හිතුවත් ආදරේ නැතුව අපි කාටවත් ජීවත් වෙන්න බැහැ.

මනිෂා කන්දේකුඹුර

ආදරය කියන්නේ බලෙන් ලබාගන්න දෙයක්වත් තව කෙනෙක්ගේ හිතේ බලෙන් ආදරේ ඇති කරවන දෙයක්වත් නෙමෙයි. ඒක ඉබේම හදවත් තුළ ඇතිවෙන දෙයක්. ආදරේ කියන්නේ හරි පරිස්සමෙන් කරන්න ඕන දෙයක් කියලයි මම විශ්වාස කරන්නේ.  ආදරය කියන්නේ සල්ලි වලට රටට ලෝකෙට පේන්න කරන දෙයකුත් නෙමෙයි. අනික් දේ තමා ආදරය කියන්නේ රාගයවත් නෙමෙයි. ආදරය කියන්නේ ඒ දෙන්නට දෙන්නා තුළ ගොඩනඟා ගත්ත හරි අමුතු හැඟීමක්. ඒ හැඟිම් එකිනෙකාව සමිප කරවනවා නම් අන්න ඒකට තමා සැබැ ආදරය කියන්නේ.

හිමායා බණ්ඩාර

ආදරය තුළ ලොව පවතිනු ඇත. ආදරය තුළ මනුෂත්ව්‍ය ඉතිරි යනු ඇත. ආදරය තුළ සැම වේදනාවකම පහව යනු ඇත. ඉතින් හැමදාම ආදරය අවශ්‍යය ලොවකට කුමකටද ආදරණිය එක් දිනයක්. අප උපදින්නේ ආදරය තුළින් බව අමතක වුවන්ට එය යළි මතක් කරවන්නද, නැත්නම් ආදරය තුළ මනුෂත්ව්‍ය තිබෙන බව අමතක වුවන්ට යළිත් මතක් කරවන්නද, දිනකට ආදරය සිමා කරන්නට බැරිය. නමුත්, ආදරණිය දිනයේදී ඔබට තවත් අයෙකුට ආදරය පවසන්නට තෝරා ගත හැකිය. එහෙනම් නොපමාව ඔබේ ආදරය ආදරණිය දිනයේදි අන් අයට පවසන්න තෝරාගන්න. 

තනාෂා සතරසිංහ

මට වැලෙන්ටයින් එකට කියලා මුලින්ම ලැබුණේ ලස්සන ටෙඩි බෙයාර් කෙනෙක්. ඒ මගේ මුල්ම පෙම්වතාගෙන්. එතකොට මගේ වයස නම් හරියට මතක නැහැ. මම අනුමාන කරන විදිහට මට එතකොට වයස අවුරුදු දහඅටක් හෝ දහනමයක් ඇති. වැලෙන්ටයින් දවසක ලැබුණ නිසා ඒක මගේ මතකයේ අදටත් තියෙනවා. ඊට පස්සේ නම් මට වැලෙන්ටයින් එකට කියලා තැගී ලැබුණේ මගේ සැමියාගෙන්. මේ පාරත් එයා මට ලස්සන තැග්ගක් දෙයි කියලා ඉතින් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

අශිකා මතසිංහ

ගොඩක් වෙලාවට මගේ සැමියාගෙන් තමයි වැලෙන්ටයින් එකට තැගි ලැබුණේ. මට මතකයි ඔහු එක පාරක් මට අපෝ වර්ගයේ ලස්සන පෝන් එකක් ගෙනැත් දුන්නා. ඒ 2018 වසරේදි තිබුණ වැලෙන්ටයින් එක දවසේ. ඒක නම් මගේ මතකයේ අදටත් තියෙනවා. ඔහු මාව පුදුම කළා ඒ තැග්ග දීලා. මුලින් රතු රෝස මලක් දුන්නා. මම හිතුවේ ඒක විතරයි කියලා. පස්සේ තමයි මට පෝන් එක ගෙනැත් දුන්නේ. ඒ දවස හා ඒ සිදුවීම මට නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ.

තාර්යා කෙනඩි

මට ලැබුණේ ටී ෂර්ට් එකකුයි රෝස මලකුයි. වැඩි කාලයක් නම් නැහැ ඒ තැග්ග මට ලැබිලා. මගේ මතකය හැටියට නම් 2023 වසරේදි තිබුණ වැලෙන්ටයින් දවසේදී තමයි ඒක මට ලැබුණේ මගේ පෙම්වතාගෙන්. ඔහුව මට මුණ ගැහුණෙත් ඒ දවසේ නිසා අදටත් ඒ තැග්ග වගේම ඒ මොහොත මගේ මතකයේ තියෙනවා. ඉතින් ඔහු දුන්න පළමුවැනි තැග්ග ඒක මට. ඊට පස්සෙත් ඔහු මට තැගි දුන්නා. ඒත්, වැලෙන්ටයින් දවසේ දුන්න එක මට විශේෂයි.

ධනංජි තාරුකා

පාසල් කාලේදී තමයි මට වැලෙන්ටයින් එකට කියලා තැග්ගක් ලැබුණේ. ඒක මගේ මුල්ම පෙම්වතාගෙන්. අපි දෙන්නම පාසල් යනවා එතකොට. මට වයස අවුරුදු දහසයක් විතර ඇති මේ තැග්ග ලැබෙන කොට. මම හිතන්නේ ඔහු මට වඩා වසරක් හෝ දෙකක් වැඩිමහල්. මුලින්ම දුන්නේ රතු රෝස මලක් එක්ක ලියුමක්. ඒ එක්කම මට ෆර්ෆියුම් එකකුත් ඔහු දුන්නා. මුලින්ම වැලෙන්ටයින් එකට කියලා මට ලැබුණ තැග්ග ඕක. ඉතින්. අදටත් ඒක මගේ මතකයේ තියෙනවා.

ගීතිකා රාජපක්ෂ

මට වැලෙන්ටයින් එකට තැග්ගක් මුලින්ම ලැබුණේ මම නමය වසරේ ඉගෙන ගන්න කොට. එතකොට මට අවුරුදු දහතරක් විතර ඇති. මම මුලින්ම ඉගෙන ගත්තේ ගමේ පාසලේ. ශිෂ්‍යත්ව විභාගේ පාස්වෙල මම නගරේ පාසලට ආවා. හැබැයි මම ඉගෙන ගත්ත ගමේ පාසලේ අයියා කෙනෙක් මගේ පස්සෙන් ආවා මගේ ආදරේ ඉල්ලගෙන. ඒ අයියා තමයි මට මුලින්ම වැලෙන්ටයින් එකට කියලා රෝස මලකුයි, චොකලට් එකකුයි තැගි කලේ. ඒත්, මම ඒක ගත්තේ නැහැ. කොහොමත් පාසල් යන කාලේ මගේ උනන්ඳුව තිබුණේ අධ්‍යාපනයට පැත්තට විතරයි. 

ඉෂංකා අබේසේකර

පළවෙනි පාරට මට වැලෙන්ටයින් එකට තැග්ගක් කියලා ලැබුණේ 2011 වසරේ. ඒ මගේ හිටපු පෙම්වතාගෙන්. එයා එතකොට හිටියේ එංගලන්තයේ. කප්රුක හරහා තමයි එයා මට මේ තැග්ග එව්වේ. හාට් එකක් හැඩේට හදපු ලස්සන රෝස පාට කේක් එකකුයි කහපාට ටුවිට් බර්ඩ් කෙනෙකුයි තමා මට එයා වැලෙන්ටයින් තැග්ගක් විදිහට එව්වේ. ඒක මට කවදාවත් අමතක වෙන්නේ නැහැ ඉතින්. මොකද වැලෙන්ටයින් දවසක මට ලැබුණ පළමු තැග්ග එක නිසා. අදටත් ඉතින් මට ඒ මතකය තියෙනවා.