අපි කරන්නේ ළමා චිත්‍රපට නෙමෙයි, අපි සිනමාව කරන්නේ වැඩිහිටියන්ට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දසුන් පතිරන කියන්නෙ වර්තමාන කලා ලෝකේ තරුන රංගන ශිල්පීන් අතර දක්ෂතම රංගන ශිල්පියා කිව්වොත් නිවැරදියි. දසුන් සෑම සම්මාන උලෙළකදීම පාහේ හොඳම රංගන ශිල්පියාට සම්මානනීය වුණු රංගන ශිල්පියෙක්. මේ මෑතකදී දසුන් සතිඅන්ත පුවත්පතක් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක්.

සිනමාවත් ටෙලිනාට්‍යත් අතර වෙනස ඔබට දැනෙන්නේ කොහොමද?

රංගන ශිල්පියෙක්ට මේ මාධ්‍ය දෙකේ කිසිදු වෙනසක් නැහැ. ඒකෙ වෙනසක් දකින්නේ ප්‍රේක්ෂකයා. සිනමාව සහ ටෙලිනාට්‍ය කියන දෙය ප්‍රේක්ෂක විඳීම අනුව තීරණය වෙන දෙයක්. මම රංගන ශිල්පියෙක් විධියට මේ දෙකම දකින්නේ එකක් විධියට. අපි කරන්නේ එක සමාන ලෙසකින් රංගනයට දායක වෙන එක. ඒක ටෙලිනාට්‍යද, සිනමාවද කියල වෙනසක් නැහැ.

දසුන් පතිරණව අභිප්‍රේරණය කරපු නිර්මාණයක් හෝ කලාකරුවෙක් ගැන කියනවා නම්,

මාව අභිප්‍රේරණය කරපු විශිෂ්ටයා තමයි මහේන්ද්‍ර පෙරේරා. ඒවගේම නිර්මාණයක් විධියට ගත්තහම බූඩි කීර්තිසේන කියන ප්‍රබල අධ්‍යක්ෂවරයාගෙ මිල්ල සොයා කියන චිත්‍රපටය මාව ගොඩක් අභිප්‍රේරණය කළා. ලෝක සිනමාව ගත්තහම බොහෝ නළුවන් ප්‍රමාණයක්, නිර්මාණ ප්‍රමාණයක් තිබෙනවා. ලියනාඩෝ ඩිකැප්‍රියෝට මම ඉතා කැමතියි. මුළු ලෝකයම ගත්තත් අපේ පරපුරේ බොහෝ අයත් මේක කියන දෙයක් මහේන්ද්‍ර පෙරේරා තමයි අපේ අභිප්‍රේරණය.

සමාජ මාධ්‍ය කලාකරුවෙක්ට බලපාන විධිය ගැන කතා කරනවා නම්?

සමාජ මාධ්‍යන් තුළ යම් ධනාත්මක දෙයක් මම දකිනවා. හැබැයි මම ඒකට ඇන්දිලා නැහැ. මට TicTok එකවුන්ට් එකක් නැහැ. මම ෆේස්බුක් එක දරුණු විධියට භාවිත කරන්නේ නැහැ. මම මගේ ෆොටෝ එකකට වැටෙන ලයික් ප්‍රමාණයෙන් මගේ ගැන තීරණය කරන කෙනෙක් නෙමෙයි. මම කැමති මගේ නිර්මාණමය දායකත්වය හඹා යමින් මාව වැලඳගන්න කැමැති මා වටා එක්වන මිනිස්සුන්ට. මම කැමැතියි මට මග්ෆේ නිර්මාන බලන ප්‍රේක්ෂකයෙක් ඒ නිර්මාණයේ නම කියලා කතා කරනවා නම්. සමාජ මාධ්‍ය කියන්නේ නැතුවම බැරි අවශ්‍යම දෙයක් තමයි. ඒක ව්‍යාපාරයක් කරන්න කැම්පේන් එකක් කරන්න ඉතා සුදුසු දෙයක්. හැබැයි සමාජ මාධ්‍ය කියන්නේ ජීවිතය නෙමෙයි. මම ඒක මගේ ජීවිතය කරගෙන නැහැ.

ලාංකික ප්‍රේක්ෂකයා ගැන ඔබේ අදහස?

ප්‍රේක්ෂකයගේ මට්ටම අපිට කිසිම වෙලාවක තීරණය කරන්න බැහැ. ඔවුන්ගේ ධාරිතාවය අනුව තමයි මට්ටම තීරණය වෙන්නේ. අපි දෙන නිර්මාණය සමඟ තමයි ඔවුන් නිර්මාණය වෙන්නේ. දිගුකාලීනව ටෙලිනාට්‍යක් නරඹමින් රසවිඳිමින් තමයි ගුණාත්මක ප්‍රේක්ෂකයෙක් නිර්මාණය වෙන්නේ. ප්‍රේක්ෂකයාව මොට කිරීම වගේම ප්‍රේක්ෂකයාගේ රසඥතාව හදන වැඩේ තිබෙන්නේ අපේ අතේ. ඔවුන් ඔවුන්ට අවශ්‍ය දෙය භාරගන්නවා. අපිට මේ සම්බන්ධයෙන් ඔවුන්ට ‍ෙදා්ෂාරෝපණය කරන්න බැහැ.

දැන් ඉන්න තරුණ පිරිස යූ ටියුබ්, නෙට්ෆ්ලික්ස් වගේ ගොඩක් ප්ලැට්ෆෝම්ස්වල දේවල් අතපත ගානවා. මේ දෙවල් හරහා ඔවුන් තුළ වෙනම ධාරිතාවයක් නිර්මාණය වෙලා තිබෙනවා. නිර්මාණය අවුල් නම් ඔවුන් ඒක කෙළින්ම ප්‍රතික්ෂේප කරනවා. ලංකාවේ ප්‍රේක්ෂකයා ඉතා හොඳින් යාවත්කාලීන වෙන කෙනෙක් කියලා කියන්න පුළුවන්.

අර්බුදය හමුවේ කලාවට සහ රංගධරයෙක්ට තිබෙන අභියෝග?

ඉස්සරහට වැඩක් කරනවා කියන එක හීනයක් වගේ. අර්බුදය එන්න පෙරත් අපිට අපහසුකම් තිබුණා. අර්බුදය පැමිණීමත් සමඟ වුණේ කබලෙන් ළිපට වැටුණා වගේ වැඩක්. දැන් තත්ත්වය තවත් බරපතළයි. අපිට කොළඹින් පිටත වැඩක් කරන්න බැහැ. අපිට අවශ්‍ය තිරපිටපතක් රචනා කරන්න බැහැ. පිරිවැයට අවශ්‍ය විධියට තමයි නිර්මාණය කරන්න සිදුවෙලා තිබෙන්නේ. මේ මොන දෙය වුණත් අපි මේ දෙය කරන්න ඕනෙ. මේක දාලා යන්න අපිට බැහැ. අපි රඟපෑම ඇරෙන්න වෙන කිසිම වෘත්තියක් කරන්නේ නැහැ. අපේ පරපුරේ මේ වගේ වෘත්තීය රංගන ශිල්පීන් කිහිප දෙනෙක් ඉන්නවා. මේක අපි ආසාවට කරන දෙයක් නෙමෙයි. එහෙව් පිරිසකුත් ඉන්නවා. අපි එහෙම අය නෙමෙයි. මේක වෘත්තීයමය රංගන ශිල්පීන්ට ඉතා අපහසු කාලයක්. ඉස්සරහට මොනවා වෙයිද කියන්න අපි දන්නේ නැහැ. මේකට රජය තුළ පවා නිසි ක්‍රමවේදයක් නැහැ. ඇත්තටම සාමාන්‍ය ජනතාවට තෙල් ටිකවත් දීගන්න බැරි රජයකින් ඔය වගේ දේවල් බලාපොරොත්තු වෙන්නත් බැහැ. මොන අර්බුදය පැමිණියත් අපි අපේ අරගලය සිනමාව තුළ කරගෙන යනවා.

ඔබ ලංකාවේ සිනමාව තුළ ආන්‍ෙදා්ලනාත්මක චරිත රඟපාපු කෙනෙක්. ඒක ඔබට බලපෑ විධිය ගැන කතා කරනවා නම්,

ඒ ප්‍රේක්ෂකයා අපේ රංගනයන් අර්ථකථනය කරන විධිය. බොහෝ දෙනා මම හුස්ම චිත්‍රපටය වෙනුවෙන් කළ රංගන දායකත්වය බලලා ඒ රංගන ශිල්පිනිය සමඟ මම යහන්ගත වූවාද කියා පවා ඇහුවා. මම එතකොට පෙරළා අහපු දෙයක් තමයි මම එතකොට රංගනයේදී මිනිස්සු මරණවද? මම ගැහැනියක් දූෂණය කරනවාද? කියලා. යම් රංගන ශිල්පිනියක් සමඟ නිරුවත් දර්ශනයක රඟපෑවා කියා අපිට ඇති වන්නේ ඇය පිළිබඳව ගෞරවයක් මිසක වැරදි වැටහීමක් නෙමෙයි. ඒක රංගනයක් පමණයි. ප්‍රේක්ෂකයා කියන මේ දේවල් බොහෝමයක් අපිට සාමාන්‍යයි. රමණය කරනවා කියන එකත් හරියට දවල් කෑම කනවා වගේ වැඩක්. රමණය කියන්නේ මිනිස්සුන්ගෙ අත්‍යවශ්‍ය අවශ්‍යතාවයක්. ලංකාවේ මිනිස්සුන්ට මේ ගැන තිබෙන්නේ ලොකු ඇරියස් එකක්. මේ නිකන් උගුරට හොරා බෙහෙත් බොනවා වගේ වැඩක්. අපි කරන්නේ ළමා චිත්‍රපට නෙමෙයි. අපි සිනමාව කරන්නේ වැඩිහිටියන්ට. අනික මෙවැනි දේවල් තේරුම් ගන්න පුළුවන් පිරිසකට. ඒවයේ Nude තිබෙන්න පුළුවන්, Violance තිබෙන්න පුළුවන් Bla Bla මම සයපෙති කුසුම රඟපෑවා, හුස්ම රඟපෑවා, දැවෙන විහඟුන් චිත්‍රපටයේ රඟපෑවා. මිනිස්සු මට සයපෙති කුසුම රඟපාන්න එපා කියපු අවස්ථා පවා තිබුණා. එක විධියකට කොටු වෙලා රඟපාන්න මම ෂාරුක් ඛාන් නෙමෙයිනේ. යූත් එකට මේවා ගැන ඇරියස් නැහැ. මේ හැම ප්‍රශ්නයක්ම තිබෙන්නෙ යල්පැනගිය ලෝකයේ මිනිස්සුන්ට.

ඔබේ ඉදිරි වැඩ කටයුතු ගැන කතා කරනවා නම්,

අරුණ ජයවර්ධන අධ්‍යක්ෂවරයාගෙ මාරියා කියන චිත්‍රපටය මේ දිනවල අන්තර්ජාතික සිනමා උළෙලවල්වල පෙන්වනවා. සුදේශ් වසන්ත කියන අධ්‍යක්ෂවරයාගෙ සීරුවෙන් කියන චිත්‍රපටය මම ජැක්සන් ඇන්තනී කියන විශිෂ්ටයා සමඟ රඟ දක්වනවා. මහැදුරු ආරියරත්න ඇතුගලගෙ සහෝ කියන චිත්‍රපටය තිරගත වීමට නියමිතයි.

ගිහාන් සචින්ත