ලංකාවේ කඳුකරයේ හැදෙන උසැති ගස් විශේෂයක පිපෙන සපු මල පවනේ වෙලී පාවී පොලොව මත වැතිරෙන්නේ හාත්පස සුවඳ කරමිනි. හමන පවනටද සුවඳ බිඳක් මුසු කරන්නට නිර්ලෝභී වන සපු මල සිංහල සුභාවිත ගීතයද හැඩ කළ බව මට මතකය. සපුමල් සුවඳක් සේ... නමින් මහාචාර්ය අමරා රණතුංග ගීතයක් ගැයූ හැටි මට මතක් වේ. එසේම සපුමල් සුවඳක් නමින් චන්දි කොඩිකාර නවකතාවක් ලියූ බවද මට මතකය. නමුත් මේ කියන්නට යන සුවඳ සපු මල ඒ එකක්වත් නොවේ. කුමාරදාස සපුතන්ත්‍රී නම් වන ගීත රචකයාය. සැබැවින්ම ගී ලොව ‘සපූ’ නම් වන සපු මල සුවඳමය.
පුරා වසර අසූවක් ජීවත් වෙමින් ඉන් වසර හැටක් පමණම සිංහල සුභාවිත ගීතය පෝෂණය කරන්නට කැපවුණු, අරුත්බරව කල් ගෙවූ ‘සපූ’ වෙනුවෙන් උපහාර ගී ප්‍රසංගයක් පවත්වන්නට පිරිසක් සූදානම් වෙති. මෙම 18 වැනිදා මහරගම ‘යූත්’ රඟහලේදී ප්රසංගගත වන ‘සපුමල සුවඳමය’ ගී ප්‍රසංගයට මෙරට ප්‍රවීණ ශිල්පීන් රැසකගේ දායකත්වය ලැබේ.
සුසිල් අමරසිංහගේ සංගීතයට, සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, ටී. එම්. ජයරත්න. බණ්ඩාර අතාවුද, දයාන් විතාරණ, ජානක වික්‍රමසිංහ, ආනන්ද වීරසිරි, විහඟ විජේසේකර මෙහි ගී ගයන ශිල්පීන්ය.
‘ඇසුවේද කවුරුන් හෝ ඔබෙන් ....
ඇඬුවේ ඇයිද ප්‍රේමේ නමින්...’
ඒ ගැන නොව, මේ උපහාර ගී ප්‍රසංගය ගැන අහන්නට සුවඳැති සපු මල මම සඳැල්ලට කැඳවීමි.
“මොකක්ද සපු අයියා, මේ ප්‍රසංගය?’‘
“මේකනම් මගෙ දුවයි පුතයි දෙන්න සංවිධානය කරන ප්‍රසංගයක්”
“ඒ කියන්නෙ ඔබේ දුවත් පුතත් කලාවට, ඒ කියන්නෙ ගීතයට සම්බන්ධකම් කියනවද?”
“දුව නම් කලාවට ටිකක් විතර සමීපයි. එයා වැඩ කරන්නෙ අයි ටී එන් එකේ. නම පමදා සුහර්ශී. එයානම් ගීත කීපයක් ලියලත් තියෙනවා. නමුත් පුතා නම් පරිගණක ඉංජිනේරුවෙක්. එයා කලාවට සම්බන්ධයක් නැහැ. ඒ වුණත් ඒ දෙන්නට තමා සපුමල සුවඳමය නමින් ගීත ප්‍රසංගයක් පවත්වන්න ඕනැ වුණේ.”
“මට මතකයි පහුගිය අවුරුද්දෙත් සපුමල සුවඳමය නමින් උපහාර ගී ප්‍රසංගයක් කළුතරදි පැවැත්වුණා.”
“ඔව්. ඒ මගෙ මිත්‍ර පිරිසකගෙ වුවමනාවට වුණු වැඩක්.”
“මේ ප්රසංගයෙ ලොකු වෙනසක් මම දැක්කා. ඒ තමයි මෙහි ගී ගයන්නෙ ශිල්පීන් විතරයි. ඒ කියන්නෙ ගායිකාවකගෙ හඬක් මේ ප්‍රසංගයෙදි ඇහෙන්නෙ නැහැ. ඇයි ඒ? සපු අයියා ගැහැනුන් එක්ක තරහින්ද?”
“අනේ නැහැ. නමුත් ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ මගෙ ගී වැඩි හරියක් ගායනා කරලා තියෙන්නෙ ගායකයන් මිස ගායිකාවන් නෙවෙයි. විශේෂයෙන් මගේ ජනප්‍රියම ගී ගායනා කරලා තියෙන්නෙ ගායකයන්. ඒ නිසා ගීත තෝරද්දි ගායිකාවකගෙ ගීතයක් තෝරාගැනීම අසීරු වුණා. එහෙම නැතුව වෙන ප්‍රශ්නයක් නෙවෙයි.”
සපූ සිනාසුනේය.
මාරම්බරී, චන්ද්‍ර මඬල බැද්ද වටින් මෝදුවෙලා, දොඹ මලින් මලට, එපා සඳේ ඔබේ සිනා මේ රැයේ වැනි අතිශය ආදරණීය ප්‍රේම ගීත සමුදායක්ම ලියා ඇති සපුතන්ත්රීට ගැහැණු ‘ඇලජික්’ වීමට කිසිසේත්ම බැරිය.
මේ වනවිට ගීත දහසක් පමණ ලියා ඇති සපුතන්ත්‍රී හැත්තෑව අසූව වැනි දශක වලදී ගී නොලියූ ගායකයකු ගායිකාවක නොමැති තරම්ය. මෙම ප්‍රසංගයේ ගී නොගයන වික්ටර් රත්නායක, අබේවර්ධන බාලසූරිය, ලක්ෂ්මන් විජේසේකර වැනි ශිල්පීන්ද ඒ අතර වෙති. අද ලක්ෂ්මන් ජීවතුන් අතර නැත. ඔහු එදා ගැයූ ගී මෙදා ගයන්නේ‘ ඔහුගේ පුත් විහඟ විජේසේකරය.
“සපු අයියා, ලක්ෂ්මන් නැමැති ඔබේ ලෙංගතු මිත්‍රයා නැති පාඩුව ඔබට තදින් දැනෙන්න ඇති?
“ඇත්තටම. ලකී කියන්නෙ මගෙ හොඳම මිතුරෙක්. එදා ඔහු ගැයූ ජනප්‍රියම ගීත අද ඔහුගෙ පුත් විහඟ ගයනවා. ඒ ගැන නම් සතුටු වෙන්න පුළුවන්’‘
“ඔය කියන ගී සියල්ලම වගේ ලියැවුණේ හැත්තෑව අසූව වගේ දශකවල නේද?”
“ඔව්. ඒ කාලෙ මම ගුවන් විදුලියේ වැඩසටහන් නිෂ්පාදකවරයෙක්. ඉතින් බොහෝ ශිල්පීන් ශිල්පිනියන් ගුවන් විදුලියට ගොඩවෙනවා. මගෙත් එකක සුහද වෙන අය මට කියලා ගීතයකුත් ලියවා ගන්නවා. ඒ විදිහට තමා මේ ගීත කන්දරාවම ලියැවුණේ.”
“එදා ගීත රචකයො ගීත ලියලා මුදල් ගත්තෙ නැහැ කියලා තමා මම අහලා තියෙන්නෙ?”
“ ඒ කාලෙ මොන මුදල්ද? අපි ගීත ලිව්වෙ හිතවත් කමට. කවුරු හරි ගායකයෙක් ඇවිත් ‘ට්‍රැක්’ එකක් දීලා කියනවා අනේ සපූ මට මේකට වචන ටිකක් දාලා දෙන්න කියලා. ඉතින් මම තනුව අහලා වචන දාලා දෙනවා. එච්චරයි. සමහරෙක් නම් ඒ සිංදුව කැසට් එහෙකට දීලා ලැබෙන සල්ලි වලින් පොඩි ගානක් මට දෙන අවස්ථා තිබුණා. එහෙම නැතුව අපි එදා ගීත ලියලා සල්ලි මත්තෙ මැරුණෙ නැහැ.”
“හැබැයි අද එදා නොමිලෙ ලිව්ව සිංදු වලට ගානක් ලැබෙනවා නේද?”
“ආචාර්ය රෝහණ වීරසිංහගෙ පුතා කලිඳුගෙ සී මියුසික් යූ ටියුබ් නාලිකාවෙන් විතරක් මට මාස්පතා මුදලක් ලැබෙනවා. මේ නහින දෙහින කාලෙ අපි ජීවත් වෙන්නෙ ඒ මුදලින් තමා. ඒක ඉතාමත්ම වටින වැඩක්.”
“නමුත් අද දවසෙ ඔබේ අතින් ගීත ලියැවෙන්නෙ නැහැ?”
“මම ගීත දහසක් විතර ලියලා තියෙනවනෙ. ඒ අතරෙ ජනප්‍රියම ගීත රාශියකුත් තියෙනවා. ඉතින් ඒ මදැයි. මම එදා ලියු ගීත ගැන හිතලා සතුටින් ජීවත්වෙනවා.”
“නමුත් එදා සපුතන්ත්‍රි තරම් හපනෙක් හිටියෙ නැහැ නේද ට්‍රැක් වලට වචන දාන්න.”
“යාලුවොනම් එහෙම කියනවා තමා. ඇත්තටම ට්‍රැක් වලට වචන දාන එක හරිම අපහසු වැඩක්. ඒත් මට ඒ අපහසු වැඩේ අහුවුණා. ඒ නිසා මම වචන දාපු හුඟක් ගීත ජනප්‍රිය වුණා.’‘
“ඒ නිසා ‘ට්‍රැක්’ නම් සපූ. සපූ නම් ‘ට්‍රැක්’ වුණා. එහෙමද?”
“ඔව්’‘
හැත්තෑව දශකයේ කිසියම් දවසක රෝහණ වීරසිංහගේ සරල ගී වැඩ සටහනක් වෙනුවෙන් අරාජිකයි මා හද රජ දහනම්,අම්මේ ඔබ මා හැර ගිය දා සිට නම් ගීතය ලියා ගී පදරචකයකු වූ ඉනික්බිති එඩ්වඩ් ජයකොඩිටත් ඊටත් පසු සුනිල් එදිරිසිංහටත් ගීත කිහිපයක්ම රචනා කළේය. ගී දහසක් දක්වා ඔහුගේ පදරචනා ගණන වැඩිවූයේ එලෙසිනි.
කෙසේ වෙතත් අද දවසේ කුමාරදාස සපුතන්ත්‍රි යනු සක්‍රිය ගීත රචකයකු නොවේ. එහෙත් එදා ලියූ ගී නිසා ඔහු හෙටත් ගී ලොව ජනප්‍රියම රචකයෙකි. එය එක් අතකින් වාසනාවකි. නමුත් වාසනාවට පමණක් කෙනෙක් ගීත රචකයකු කළ නොහැකිය. වික්ටර් රත්නායකගේ වදන් වලින් කියනවානම් හැදෑරීමක් නැතිව වැදෑරිය නොහැකිය. සපූ සතුව අසමාන හැකියාවක් නොවීනම් ඔහුට කිසිසේත්ම ගී ලොව ‘සපු මල’ වන්නට නොහැකිමය. සැබැවින්ම සපූ යනු අප්‍රමාණ මිනිසෙකි. ඒ නිසා ඔහුට උපහාර පිදිය යුත්තේ ඔහුගේම පුතු සහ දියණිය නොවේ. වෙනත් පාර්ශ්වයන්ය. එහෙත් මේ කනපිට හැරුණු ලංකාවේ එවැනි යහපත් දේ බලාපොරොත්තු වීම වැරදිය.
එබැවින් තවත් ප්‍රශ්න නොනගා මම සපූට සඳැල්ලෙන් බැස යෑමට ඉඩදෙමි.
එහෙත්, ‘හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන්’
දහ අට වැනිදා මහරගම ‘යූත්’ රඟහලේදී සුවඳවත් වන ‘සපු මල සුවඳමය’ ප්‍රසංගය වෙනුවෙන් සුබ පතන්නටද අමතක නොකරමි.
ශාන්ත කුමාර විතාන