අපි 4 දෙනෙක් එකතුවෙලා අලුත්ම සංගීත කණ්ඩායමක් ආරම්භ කළා
ගායන ශිල්පියෙකු, රංගන ශිල්පියෙකු විදියට කලා ක්ෂේත්රයේ වැඩිම කතාබහකට ලක්ව සිටින චරිතයක් මෙවර සඳැල්ල කතාබහකට සම්බන්ධකර ගත්තා. ඒ ආදරණීය චරිතය ගයාන් ගුණවර්ධන.
මොකක්ද මේ අලුත් වැඩ කටයුක්ත?
අලුත් වැඩ කටයුත්ත කියන්නේ අපි 4 දෙනෙක් එකතුවෙලා අලුත්ම සංගීත කණ්ඩායමක් ආරම්භ කළා. “Rawds” නමින් මේ දිනවල පුංචි තිරයේ ජනප්‍රිය ටෙලි නිර්මාණයක් ‘‘පාර දිගේ’’ කියන්නේ. ඉතින් මේ ටෙලි නිර්මානය තුළ තමයි මුලින්ම මේ කණ්ඩායම ආරම්භ වෙන්නේ. ඉතින් ඒක අපි ඇත්ත ජීවිතෙත් ආරම්භ කරන්න හිතුවා.
මොකක්ද මේ "Rawds” කියන්නේ?
පාර දිගේ යන ගමනක ඉන්න තරුණයන්ගේ සංගීත හැඟීම් ප්රකාශනයක් තමයි "Rawds” කියන්නේ.
ඉතින් මේ කණ්ඩායම ගැන විස්තර කළොත්?
‘‘පාර දිගේ’’ ටෙලි නිර්මාණයේ අපේ සෙට් එකේ චරිත 5ක් තියෙනවා. ඒ චරිත 5 තමයි බන්ටි, භානු, බණ්ඩා, අභියා, ජූඩා මේ චරිත පහෙන් බන්ටි ලෙස දුෂේනි මියුරංගිත්, භානු ලෙස මමත්, බණ්ඩා, කුසල් මදුරංග, අභියා සචින් චතුරංගත්, ජූඩා ලෙස ඉඳුවර සූරියබණ්ඩාරත් රංගනයේ යෙදෙනවා. ඉතින් මේ තුළින් අපි පිරිමි ළමයි 4 දෙනා එකතුවෙලා තමයි මේ සංගීත කණ්ඩායම ආරම්භ කරගෙන යන්න හිතුවේ. අපි 4 දෙනා එක්ව තවත් ශිල්පීන් 5 දෙනෙක් එකතු කරගෙන කණ්ඩායමේ ශිල්පීන් 9 දෙනෙක්ගෙන් සන්නද්ධ වුණු සංගීත කණ්ඩායමක් එකෝස්ටික් සංගීත රටාවට එළියට දාලා තියෙනවා. මේ වෙද්දි ඒ තුළින් මංගල උත්සව, උපන්දින සාද, විවිධ ප්‍රසංග වැනි විවිධ උත්සවාකාර අවස්ථා ආවරණය කෙරෙනවා. ඒ වැඩ කටයුතු කෙරෙන අතරතුරේ ඉදිරියේදී ගීත ඇල්බමයකුත් නිකුත් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. මියුසික් වීඩියෝ ඇතුළත්ව.
ඇයි මෙවැනි දෙයක් කරන්න හිතුවේ?
‘පාර දිගේ’ ටෙලි නාට්‍යය ඇතුළෙත් මම ගිටාර් වාදකයෙක් සහ ගායන ශිල්පියෙක්. සචින් ඩ්‍රම්ස් වාදනය කරනවා. ඉඳුවර ගිටාර් වාදනය කරනවා. ඒ වගේ අපි මේ ටෙලියේ වගේම ඇත්ත ජීවිතෙත් මේ දේවල් කරනවා. ගීත වෙන වෙන ආකාරවලට ගායනා කරනවා. මෑෂප්, කවර්ස් කරනවා. මේ හැමදේම එක්ක තමයි අපිට හිතුණේ මේ දේ කරන්න. කොහොමත් මමත්, සචිනුත් මීට පෙර සංගීත කණ්ඩායම්වල ඉඳලා තියෙනවා. ඒ අත්දැකීම් අපට තියෙන නිසා මේ වගේ දෙයක් කළොත් හොඳයි කියලා හිතුණා.
කොහොමත් අපි මේ ටෙලිනාට්‍යය රූගත කිරීම් අතරතුරදී විවේකයක් ලැබුණමත් කරන්නේ ගීත ගායනය සහ වාදනය තමයි. ඇත්තටම සංගීත ජීවිතේ හරිම සුන්දරයි.
ඒ නිසාම මේ දේත් එක්ක තවත් සුන්දර වෙයි කියලා හිතලා තමයි කන්ඩායම ආරම්භ කළේ.
දැන් කොයිතරම් කාලයක් වෙනවද මේ කණ්ඩායම ආරම්භ කරලා?
ඇත්තටම පසුගිය කාලේ රටේ ඇතිවුණු ප්‍රශ්නත් එක්ක සෑහෙන හිත් රිදීම් එක්ක තමයි මේ කණ්ඩායම ආරම්භ කරන්න වුණේ. දැන් මාස 3ක්, 4ක් වගේ ආරම්භය සිද්ධ වෙලා, ගිය වසරේ නොවැම්බර්, දෙසැම්බර් වගේ පුහුණුවීම් කරගෙන කණ්ඩායම නිර්මාණය කරගෙන ආවා. ජනවාරි මාසයේ වගේ තමයි කණ්ඩායම එළියට දැම්මේ. ඒ එළිදැක්වීමත් එක්ක පළමු ප්‍රසංගයට ගිහින් හැමදේම සකස් කරගෙන ප්‍රසංගයට සූදානම් වෙද්දිම එදා දවසේ රටේ තත්ත්වයක් එක්ක ඇඳිරි නීතිය වැටුණා. ඒ නිසා ඒ ප්‍රසංගය කල් දමන්නට සිදුවුණා. එතැනින් පසුව දෙවන ප්‍රසංගයට සූදානම් වෙද්දි එයත් කල් දමන්නට සිදු වුණා. තෙවන ප්‍රසංගයත් අනුරාධපුරයේ පවත්වන්නට නියමිතව තියෙද්දි හර්තාල් වැටුණු නිසා කල් දමන්නට සිදුවුණා. එවැනි ප්‍රශ්න මධ්‍යයේ කෙසේ හෝ මංගල උත්සව සඳහා සහභාගිවෙලා මේ වැඩ කටයුත්ත ආරම්භ කළා. ඉතින් මේ වෙද්දි රටේ තියෙන ප්‍රශ්න මධ්‍යයේ අමාරුවෙන් තමයි මේ වැඩ කටයුත්ත කරගෙන යන්නේ. අපේ තරුණ කාලේ අපිත් ආසයි හොඳ නිර්මාණ කරගෙන ඉදිරියට යන්න. රටේ නම රඳවන්න. නමුත් අපිට තියෙන ප්‍රශ්න සහ මේ අභියෝග එක්ක මේ දේවල් කරගෙන යන්න අපහසුයි. කෙසේ හෝ මේ අභියෝග, ප්‍රශ්න මැඩගෙන අපි මේ දේ කරගෙන යනවා.
ඒ කියන්නේ පාර දිගේ යන ගමනේ ගල්, බොරළු, වළවල් ඔක්කොම අහුවෙනවා?
ඔව්, වැඩියෙන්ම තියෙන්නේ ගල්, බොරළු, වළවල් තමයි. කාපට් පාරක් නම් අපිට අහුවෙන්නෙම නැහැ. මේ කාලේ ඉතින් හැම ක්ෂේත්රයකටම ඒක පොදුයි.
දැනට "Rawds” සංගීත කණ්ඩායමෙන් බිහිවුණු ගීත නිර්මාණ තියෙනවද?
‘සිමෙන්ති බංකුවේ නිදන්න කලියෙන් අහස් මාළිගේ සැලැස්ම අැඳපන්’ කියලා නිලාර් එන්. කාසිම් පද රචනය කළ ගීතයක් අපි ගායනා කළා. ඒ ගීතය යම්තාක් දුරට ලංකාවේ ජනප්‍රිය ගීතයක්. අපේ කණ්ඩායමේ ගීතයක් තමයි ඒ. මේ ගීතයට මියුසික් වීඩියෝව ටෙලිනාට්‍යය ඇතුලෙම නිර්මාණය වෙලා තියෙනවා. මේ වෙද්දි you tube හරහා හොඳ ප්‍රතිචාරයක් ලැබෙමින් තියෙනවා. ඊට අමතරව තවත් ගීත නිර්මාණ කිහිපයක් කරගෙන යනවා. ඒවා ඉදිරියේදි එළිදක්වන්න සූදානමින් ඉන්නවා.
මේ වෙද්දි ප්‍රසංග වේදිකාවට කොයි වගේ ඉල්ලුමක්ද තියෙන්නේ?
ඇත්තටම මේ වෙද්දි අපේ සංගිත කණ්ඩායමට හොඳ ප්‍රතිචාරයක් තියෙනවා. U Tube හරහාත් ඒ ප්‍රතිචාර දක්වන පිරිසක් ඉන්නවා. මේ වෙද්දි ඩුබායි, ඉතාලි, ඕස්ට්‍රේලියා සංචාර සඳහා කණ්ඩායමට ආරාධනා ලැබිල තියෙනවා.
කණ්ඩායමේ වැඩිපුර ගායනා කරන්නේ කාගේ ගීතද?
බටහිර, හින්දි, දමිළ හැම වර්ගයකම ගීත ගායනා කරනවා. ඊට අමතරව ප්‍රවීන ගායන ශිල්පීන්ගේ ගීතත් ගායනා කරනවා. ඒ අතර ක්ලැරන්ස් විජේවර්ධන, එච්.ආර්. ජෝතිපාල, මිල්ටන්, පෙරේරා, මිල්ටන් මල්ලවආරච්චි, නුවන් ගුණවර්ධන, මගේ තාත්තාගේ හා මගේම ගීතත් ගායනා කරනවා. ඊට අමතරව 70, 80, 90 දශකවල ගීතත් එදා සිට අද දක්වා බිහිවුණ ගීත එකතුවකුත් අපි ළඟ තියනවා ගායනා කරන්න. ඒ ගීත අපිට ආවේනික වූ ගීත නාද රටාවෙන් අපි ගායනා කරනවා.
සාමාන්‍යයෙන් කණ්ඩායමක් එක්ක වැඩ කරද්දි පොඩි පොඩි ප්‍රශ්න ගැටලුවලට මුහුණදෙන්න වෙනවනේ? මේ එකතුව කොහොමද ගලාගෙන යන්නේ?
කණ්ඩායමක් එක්ක වැඩ කරද්දි කණ්ඩායම් හැඟීමක් තියෙන්න ඕනෑ මූලින්ම, ඉතින් අපේ මේ වැඩ කටයුත්ත ඇතුළේ අපේ බැඳීමක් තියෙනවා. ඒ වගේම හැමෝම ලොකු කැප කිරීමකින් වැඩ කරගෙන යන්නේ, මම තමයි මේ කණ්ඩායමේ වැඩිමල්ම කෙනා. ඉතින් මම තමයි තාත්තා වගේ මේ අය එක්ක කතාබහ කරගෙන වැඩට එකතු කරගෙන මේ ගමන යන්නේ. මේ තුළ ඉන්න හැම දෙනාටම මේ සම්බන්ධ කැපවීම එක්කම ඒ උණත් තියෙනවා. ඒ නිසාම ගොඩක් උනන්දුවෙන් වැඩ කරගෙන යනවා. විශේෂයෙන් සචින් චතුරංග මතක් කරන්නට ඕනෑ. ඔහුට දැඩි උනන්දුවක් තියෙනවා, මේ කණ්ඩායම ඉදිරි ගමනක් ගෙනියන්න. ඉතින් හරිම සුන්දරව මේ දේවල් කණ්ඩායම් හැඟීමෙන් සහෝදර ප්‍රේමයෙන් යුතුව කරගෙන යනවා.
මේ දේවල් එක්ක ගයාන්ගෙ අනෙක් වැඩ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ?
මම 2017 දි වගේ තමයි ටෙලි නිර්මාණ රංගනයට එකතු වෙන්නේ. එදා සිට 2022 දක්වා එකදිගට මේ වෙනුවෙන් සම්බන්ධවෙලා වැඩ කටයුතු කරගෙන යනවා. ඒ දේවල් එක්ක සංගීත කටයුතු ටිකක් අතපසු වුණා. නමුත් මගේ ‘‘නුගා’’ ඇකඩමියේ වැඩ කටයුතුත්, ශබ්දාගාරයේ වැඩත් අනෙක් ගීත නිර්මාණත් කරගෙන යනවා. ඒ වගේම මමත් තාත්තාත් එකතුවෙලා කරන ‘‘තාත්තයි - පුතයි’’ ප්‍රසංගය අනුරාධපුරයේ පවත්වන්න සැලසුම් කරලා තියෙනවා. එය කල් දමන්නට සිදුවුණ නිසා අගෝස්තු මාසයේ පැවැත්වෙයි. ඉදිරියේදී ඒ වගේම මමත් තාත්තාත් ජූලි 7 එංගලන්තයේ ප්‍රසංගයකට සම්බන්ධ වෙනවා. ජූලි 7 සිට ජූලි 12 දක්වා ඒ ප්‍රසංගය පැවැත්වෙනවා. ඒවා තමයි දැනට කරගෙන යන්නේ. ගොඩක් නිර්මාණ කටයුතු මේ වෙද්දි අඩාල වෙලත් තියෙනවා, රටේ තියෙන ප්‍රශ්න නිසා. විශේෂයෙන් මේ දිනවල පවතින ඩීසල්, පෙට්‍රල් ප්‍රශ්න නිසා ටෙලි නිර්මාණවල වැඩ කටයුතු ගොඩක් අතපසු වෙලා තියෙනවා. ඒ නිසා මේ ලැබුණු කාලෙන් පුළුවන් තරම් ගීත නිර්මාණ කිහිපයක් කරගෙන යනවා. ඇත්තටම දුකයි රටට මේ ඇතිවෙලා තියෙන තත්ත්වය ගැන.
මොකද අපිට කරගන්න දෙයක් නැතිව ගෙවල් ඇතුලේ හිරවෙලා ඉන්නවා. වැඩවලට සම්බන්ධ වෙන්න, රැකියාවලට යන්න විදියක් නැහැ. අපේ තරුණ කාලේ ගෙවල්වලට සීමාවෙලා. මේ තත්ත්වය ඉතා ඉක්මනින් නිමවෙලා රටට යහපත් කාලයක් උදාවේවා කියන දේ තමයි අපේ එකම ප්‍රාර්ථනය.
ධනු විජේරත්න