අනුන්ට අත පය ඉස්සුවාට සටන් නළුවෙක් වෙන්නෙ නැහැ - වසන්ත කුමාරවිල
Qවසන්ත.. ජීවිතේ කොහොමද?
ජීවිතේ හොඳයි. මේ දවස්වල වැඩ කටයුතු කිහිපයක්ම කරනවා. ලංකාවේ දැනට සැලසුම් කරගෙන යන චිත්‍රපට කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. ඒ නිසා ඒවා ගැන පරීක්ෂණ මට්ටමින් පොඩි වැඩ ටිකක් කරගෙන යනවා.
Qඔබව දැන් වැඩිපුරම සිනමාවෙන් දකින්නෙ සටන් නළුවෙක් විදිහටයි?
ඔව්.. හැබැයි මගේ ගමන සටන්කරුවාගෙන් තමයි පටන් ගත්තෙ. ඒ සටන්කරුවා බොහෝ දුර ගිහින් පරිණත වුණාට පස්සේ තමයි සටන් නළුවා බවට පත්වෙන්නෙ. හැබැයි අපේ රටේ පොඩි සටන් ජවනිකාවට ගන්න කෙනාටත් සටන් නළුවා කියලා කියනවා. ඒක වැරදියි. සටන්කරුවා කාලයක් තිස්සේ රංගනයත් එක්ක ලොකු හැදෑරීමක් කළ යුතු වෙනවා. නමුත් අපේ රටේ එහෙම කිසිම දැනුවත් බවක් නැතිව වටිනාකමක් නැතිව 'සටන් නළුවා' කියලා කියනවා. හැබැයි ලෝකය බැලුවොත් සටන් නළුවා කියන්නෙ පට්ටම චරිතයක්.
Qවසන්තගේ මේ ගමනේ ආරම්භය කොතැනද?
මම සම්බන්ධ වුණු පළවෙනි චිත්‍රපටය වුණේ හේමසිරි සෙල්ලප්පෙරුම මහතාගේ 'කියලා වැඩක් නැහැ' චිත්‍රපටයයි. ඒ වෙද්දි මම සාමාන්‍ය පෙළ විභාගය කරලා තිබුණෙත් නැහැ. සිනමාව ගැන දැනුමකුත් නැතිව රඟපාන්න ආසාව තිබුණු නිසාම මගේ අයියා, හේමසිරි මහතාට කියලා මම සටන්කරුවෙක් විදිහට සම්බන්ධ කර ගත්තා. මට අවුරුදු නවයේ ඉඳන් මම කරාටේ ක්‍රීඩාව ඉගෙන ගත්තා. මම මුලින්ම සටන් කරන්නෙ සමන් ගුණතිලක මහතා එක්කයි. සටන් නළුවා කියූ පමණින් ඔහු ගුටිකන්නම උපන් කෙනෙක් නෙවෙයි. නිර්මාණවල තියෙන වෙනස්වීම් එක්ක ඒ චරිතය වෙනස් වෙනවා. 'ධර්ම පුත්‍ර' වගේ චිත්‍රපටවල මම සටන් නළුවා වුණාට ඒ චරිතය හීරෝ චරිතය වුණා.
Qසටන්කරුවෙක් හැටියට සිනමාවට පිවිසුණු ඔබට පුංචි තිරයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා?
ඔව්.. සටන්කරුවෙක් හැටියට සිනමාවට පිවිසිලා චිත්‍රපට තිස් ගණනකට විතර සම්බන්ධ වුණාට පස්සේ තමයි මම ටෙලිනාට්‍යවලට සම්බන්ධ වුණේ. ඒ 'නිරංජනා' ටෙලිනාට්‍යයට. ඒ 2005 වසරෙදි. ඒක දැවැන්ත ටෙලිනාට්‍යයක්.
Qමෑත කාලෙදි විකාශය වුණු 'අක්ෂි' ටෙලිනාට්‍ය ඔස්සේ වෙනස්ම භූමිකාවක් රඟපාන්න වසන්තට අවස්ථාව ලැබුණා. ඒ ශාන්ගේ කුළුඳුල් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය?
ඔව්. මම හැම වෙලාවකම කියන දෙයක් තමයි අපේ රටේ බොහෝ අධ්‍යක්ෂකවරුන් අලුත් අත්හදා බැලීම් කරන්න හරි බයයි. නමුත් ශාන් ජයරත්න කියන පොඩි කොලුවා නියමයි. ඔහු මාව මානප්පෙරුම කියන සංකීර්ණ චරිතයට තෝරාගත්තා. එවැනි චරිතයකට මම වගේ කෙනෙක් තෝරාගැනීම ගැන මම ගොඩක් සතුටු වුණා. ඔහු මාව ඒ චරිතයට තෝරාගැනීම මම හිතන්නෙ අත්හදා බැලීමක් කියලයි. ඒක හරි අවදානමක්. නමුත් මට පුළුවන් උපරිමයෙන් ඒ චරිතය කළා කියලා හිතනවා. නව පරපුරේ අධ්‍යක්ෂකවරුන් එක්ක මනප්පෙරුම කියන්නෙ මෑත කාලෙදි මම රඟපෑ හොඳම චරිතයක් කියලා කිව්වොත් නිවැරදියි.
Qනැවතත් ඔබව සටන් නළුවාගේ චරිතයෙන් දකින්න ලැබෙන නිර්මාණ මොනවද?
නිර්මාණ කිහිපයකටම මට ආරාධනා ලැබිලා තියෙනවා. මේ අවුරුද්දෙ සහාය නළුවා සම්මානය ලබාගන්නත් මට අවස්ථාව ලැබුණා. ඉතින් චිත්‍රපට කිහිපයකටම දායක වෙලා තියෙනවා. වැඩ අවසන් කරපු චිත්‍රපට වගේම තව චිත්‍රපට කිහිපයක්ම රූගත කිරීම් කරන්න ඉදිරියේදි සූදානමින් ඉන්නවා. මම වෘත්තියෙන් සටන් අධ්‍යක්ෂකවරයෙක්. ඉතින් ඉදිරියේදි නව තාක්ෂණය භාවිත කරමින් නිර්මාණවලට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. ලංකාවේ සිනමාවට හොඳ අනාගතයක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. අපි කරන දේ හරියට කරනවනම් ඒකට හොඳ ප්‍රතිඵලයක් ලැබේවි. දැන් 70, 80, 90, 2000 කියන කාලය නෙවෙයි. දැන් සිනමාකරණය හරි වෙනස්. නව තාක්ෂණය භාවිත කරමින් අපේ නිර්මාණ ජාත්‍යන්තරයට ගෙනියන්න හැකි මාවතක් අපි හොයාගන්න ඕනෙ. අපෙන් පස්සෙ එන තරුණ පරපුරට මම හැම වෙලාවකම කියන්නෙ මේක මාර විෂයක්. සටන් නළුවා සහ සටන් අධ්‍යක්ෂකවරයා කියන්නෙ පුළුල් චරිත දෙකක්. මේක ඉතා වැදගත් විෂයක්. 'ජවාන්' වැනි චිත්‍රපට වර්තමානයේදි අතිශය ජනප්‍රිය වෙන්නෙ මේ සටන් නිර්මාණ නිසයි. ඒ ආකර්ෂණය ඇතිවෙන්නෙ සටන් නිසයි. ඒ වගේ සටන් ජවනිකා නැත්නම් මිනිස්සුන්ට බලන්න දෙයක් නැහැ. ඒ අය සටන්වලට කෝටි ගණන් වියදම් කරනවා. අපේ නිර්මාණ එතැනට ගන්න බැරිවුණත් අපි කරන ටික හරියට කරන්න ඕනෙ.
Qවසන්ත ඒ වෙනුවෙන් නව තාක්ෂණය භාවිත කරනවා නේද?
ඔව්. මම හරිම ආඩම්බරයෙන් කියන දෙයක් තමයි ලංකාවේ කේබල් තාක්ෂණයට අදාළ සියලුම දේවල් සටන් වෙනුවෙන් ලංකාවට ගෙනත් තියෙනවා. මට වෙනමම කේබල් කණ්ඩායමක් ඉන්නවා. මගේ අංශය තුළදි අරක නැහැ, මේක නැහැ කියලා කාටවත් කියන්න ඉඩ තියලා නැහැ. ඒ වගේ අනිත් අංශ ටිකත් සම්පූර්ණ වුණොත් ඉදිරියේදි සිනමාවේ බොහෝ වැඩ කරන්න අවස්ථාව ලැබේවි.
Qඇත්ත කියන්න.. වැඩියෙන්ම කැමති සටන් නළුවාටද? සටන් අධ්යක්ෂකවරයාටද?
ඇත්තම කිව්වොත් මම සටන්කරුවාගේ සිට සටන් අධ්‍යක්ෂකවරයා දක්වාම කැමතියි. මගේ ආරම්භය වුණේ සටන්කරුවායි. ඉතින් සටන්කරුවා, සටන් නළුවා, සටන් අධ්‍යක්ෂකවරයා, ප්‍රධාන නළුවා, චරිතාංග නළුවා සහ නිෂ්පාදකවරයා දක්වා මේ ආපු දුර ගැන මට සතුටුයි. ඒ භූමිකා හයටම මම එක වගේ ආදරෙයි. ඒ චරිත හයම සිනමාව කියන දේ ඉගෙන ගන්න මට ලොකු ශක්තියක් වුණා. ඒ නිසා ඒ චරිත හයටම මම එක වගේ කැමතියි. එක වගේ ආදරෙයි. මගේ ජීවිතේම සිනමාව වෙලා තියෙන්නෙ. මේක ඇතුළේ ඉගෙන ගන්න දේවල්වලින් බොහොමයක් තවමත් භාවිත කරලා නැහැ අපි බලමු ඉදිරියේදි. සටන් නළුවා හා සටන් අධ්‍යක්ෂකවරයා කියන්නෙ ගහගැනීම නෙවෙයි. අනුන්ට අත පය ඉස්සුවාට ඔහු සටන් නළුවෙක් වෙන්නෙ නැහැ. ඒක ඉතා පුළුල් විෂයක්.
Qඅද ආයෙමත් වසන්තගේ ඒ ආගමනය දිහා හැරිලා බලද්දි මොකද හිතෙන්නෙ?
පුදුමාකාර සතුටක් දැනෙනවා. ආයේ අවුස්සලා මම ගැන හොයලා බැලුවොත් සටන්කරුවෙක් විදිහට ඇවිත් ලංකාවේ වගේ රටක මේ වගේ තැනකට කෙනෙක්ට එන්න හරි අමාරුයි. කිසිම දෙයක් මට මල් වට්ටියක දාලා ගෙනත් දුන්නෙ නැහැ. 'මම' කියන කෙනාට මාර ආත්ම ශක්තියක් තියෙනවා. සිනමාවේ හොඳම කියන තැනට එන්න මම අවුරුදු විසි ගාණක් ගුටි කෑවා. ආපහු හැරිලා බලද්දි මම කාටවත් අභියෝග කරලා නැහැ. හැබැයි මම මාවම අභියෝගයක් කර ගත්තා. ගොඩක් අය මේ සටන් හරි සරලයි කියලා හිතන්නෙ. හැබැයි ඒක තමයි නිර්මාණයක අමාරුම කොටස වෙන්නෙ. සටන් ජවනිකාවක් ඇතුළෙ රඟපාන්න හරි අමාරුයි. හැබැයි මම රඟපාන්නෙ කැමරාවක් ඉස්සරහ විතරයි. මම සාමාන්‍යයෙන් පොළොවේ පහ ගහලා ජීවත්වෙන මනුස්සයෙක්. මම පොරක් වෙන්නෙ කැමරාවක් ඉස්සරහදි විතරයි.
I දිශානි
I සේයාරූ - සුමුදු හේවාපතිරණ