අන්න ලියපු එකා හිනා වෙනවා කියලා මනෝ අයියා කිව්වා - ගිරිරාජ් කෞෂල්‍ය රටම හිනස්සවයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මතක මං දිගේ ඈතට ඈතට ඈතටම ඇවිදිමින් සුහද කොකාගෙන් සිකුරු හතෙන් එහාට ඈතටම ඈතටම ඈතටම ඇවිදිමින් ''ගිරා සලකුණු'' රුඳුණු තැන් අස නැවතෙද්දී ඇත්තමයි ''ගිරා'' මතකය කෙතරම් සොඳුරුද හිතවත... යැයි ඔබට කියන්නට මට සිතුණා.

''මහා විශාල කරදරයක් වුණානෙ මේක''
''මොකෝ නෑ කියනවද?''

එසේ නොකියන්න යැයි කියන්නටද නොසිතේ. මක් නිසාද යත් එසේ කියන්නේද ඒ ගිරාමය. ඒ පාර ඒ මොකේදැයි ඔබට අසන්නට හිතුණොත් ඒ කියන්නෙ කතුරු මිතුරු චිත්‍රපටයේ යැයි ඔබට කියන්නට මට සිතුණා.

කතුරු මිතුරු... ඒ තමයි අපේ ආදරණීය ආමන්ත්‍රණය තුළ ගිරා, ගිරා අයියා, ගිරිරාජ් කෞෂල්‍යගේ නවතම සිනමා වියමන. ගිරාම ලියූ ගිරාම අධ්‍යක්ෂණය කළ කතුරු මිතුරු චිත්‍රපටයේ විශේෂ මාධ්‍ය දර්ශනය දෙවැනි වතාවටත් මා නැරඹූයේ මාත් නොදැනිම මම හිනාවෙන හෝරාවන් මට හමුවන්නේද සැබැවින්ම ඉතාමත් කලාතුරකින් වන නිසාමය. ලාංකික ප්‍රේක්ෂකාගාරය නිරායාසයෙන්ම එක්ව සිනාසෙන චිත්‍රපටයක් සිනමාහල් වෙත රැගෙන එන්නට ගිරිරාජ් කෞෂල්‍යයට තෙවැනි වතාවටත් පෙර දෙවතාවටත් වඩා හැකි වී ඇතැයි මට සිතෙන්නේ සිකුරු හතේ සහ සුහද කොකා නරඹමින් සිනාසුණාටත් වඩා කී ගුණයක්දෝ අනේ මාත් සිනාසුණ නිසාමය. එහෙත් දෙවැනි වතාවේ කතුරු මිතුරු නරඹමින් සිනාසුණ මා සමඟ සිටි ප්‍රේක්ෂකාගාරයම තත්ත්පර කිහිපයකට ගිරා විසින් හඬවන ලදී. එදා ඒ විශේෂ මාධ්‍ය දර්ශන නරඹන්නට අපි ගියේ වෙනදා මෙන් ළෙන්ගතුව හිනාවෙන, කතා කරන මාධ්‍ය අපේ සොඳුරු මිතුරාණ, ගිරිරාජ් කෞෂල්‍ය ද දකින හිනාවෙන කතා කරන දසුනේ සුවයත් විඳිනු රිසින්මය. එහෙත් ඇසට අසුවන මායිමේ ගිරා සිටියේ නැත. චිත්‍රපටය රිදී තිරය මත දිගහැරෙන්නට තත්ත්පර කිහිපයකට පෙර දර්ශන තලය තුළට Live පැමිණි ගිරා ප්‍රේක්ෂකාගාරය ඇමතූයේ තත්ත්පර කිහිපයකට හැම දෑසකටම ළතෙත් වූද, නිරායාස වූද කඳුළක් නංවමිනි. ආදරණීය ගිරිරාජ් කෞෂල්‍ය.. එදා අප ඇමතූයේ මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන මොහොතකය. ලාංකික කලාව සහ සිනමාව තුළ ප්‍රහසනයේ උපරිම රසය තම නිර්මාණ වෑයම් ඔස්සේ නිසඟයෙන්ම සිනා උල්පත් නිර්මාණය කරන ඉසව්වක හිඳ මතු කරලූ ඒ සොඳුරු හිතක් ඇති නිර්මාණවේදියාට රංගවේදියාට සුවපත් දිවියක් දීර්ඝායුෂ සමඟින්ම ප්‍රාර්ථනා කරමින් ගිරා සමඟ හදසර කළ කතාබහේ සටහනයි මේ. 

එදා ඔබ මුළු ප්‍රේක්ෂකාගාරයක්ම හිනැස්සුවේ එම හිනාවෙන්න තත්ත්පර කිහිපයකට පෙර තත්ත්පර කිහිපයක් මුළු ප්‍රේක්ෂකාගාරයම හඬවමින්. අප හැඬූ වග ඔබ දන්නවාද?

ඔව්.. මම කතා කළාට පස්සේ හුඟක් අය මට පණිවිඩ දාලා තිබුණා. ගිරා අයියේ නැත්නම් මචං උඹ අපිව ඇඬෙව්වා කියලා. මට ඇත්තටම ඒ වෙලාවේ හරි සතුටක් දැනුණා. මම ආදරය කරන පත්තර යාළුවෝ ටිකක් මාධ්‍ය මිතුරෝ ටිකක් මට ඉන්නවා නේද කියලා. මගේ ආදරය බොරු ආදරයක් නෙවෙයි කියන්න මම ගැන දන්න අය දන්නවා. හිතට දුකක් තියෙනවා එදා මගේ සඟයන් හිතවතුන් එක්ක එකට ඉඳගෙන හිනාවෙන්න මට මේ පිළිකා රෝගය වැළඳෙන්න ඉස්සර මගේ මිතුරන්ගේ මොන වැඩක් කිව්වත් කවදාවත් නොගිහින් ඉඳලා නෑ. ආදරයට ආදරය කරද්දි, ආදරයට බොරු නොකරද්දි, ආදරය ආදරය විදිහට පිළිගනිද්දි ඒ ආදරය අනිත් අයට දැනෙනවා. මම මිනිස්සුන්ට දුන්න ආදරය, මම මගේ මාධ්‍ය මිතුරන්ට දුන්න ආදරය මටත් ආපහු ලැබෙනවා. මට මේ ලෝකෙ මිනිස්සු කොච්චර ආදරේද කියලා තවත් වතාවක් මට එදා දැනුණා.

ඔබ රෝගාතුරව සිටි මුල්ම දවසේ ඉඳන් ඔබ නොදන්නා අය පවා මුහුණුපොත හරහාත්, සමාජ මාධ්‍ය හරහාත් ඔබට ආශිර්වාද කළා. ඔබ තනි නොකළ ඒ අයගේ ආදරය, සුබ පැතුම්, ආශිර්වාද ඔබ දැක්කද?

මට වැළඳිලා තිබුණේ ලේ පිළිකාවක්. මම ඔට්ටු අල්ලන්නෙ ලියුකේමියා රෝගයත් සමඟ. මුලින්ම පිළිකා රෝගය හඳුනා ගත්තට පස්සෙ එකදිගට දවස් හතළිහක් මට අපේක්ෂා රෝහලේ නැවතිලා ප්‍රතිකාර ගන්න සිදු වුණා. ඉන්පසු සැරින් සැරේ අසනීප වෙද්දි ප්‍රතිකාර ගන්න එනවා යනවා. මගේ ආදරණීය බිරිඳ, දුවලා දෙන්නා මාව බලාගත්ත හැටි, මම වෙනුවෙන් කරපු කැපකිරීම, ඒ අයගේ ආදරය, සත්කාර ගැන කියන්න මම වචන දන්නෙ නෑ. ඒ වගේම මම හඳුනන සහ මම හඳුනන්නෙ නැති මිනිස්සුන්ගේ ආදරය ගැන කියන්න මම වචන දන්නෙත් නෑ. විශේෂයෙන්ම මම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා මම හඳුනන්නෙ නැති මිනිස්සු මට දුන්න ආදරයට සහ ආශිර්වාදයට. මාව හැඳිනුවත් මම හඳුනන්නෙ නැති කෙනෙක් මට එහෙම ආශිර්වාද කරන්න කොයි තරම් ලස්සන ආදරණීය හදවතක් තියෙන්න ඕනෙද? මගේ දුවලා මට කියනවා තාත්තා මේ එක පෝස්ට් එකක් දාපුවාම තාත්තා ගැන කියලා කමෙන්ට්ස් පන්සීයක් දාහක් විතර එනවා නිදුක් වේවා නිදුක් වේවා කියලා ප්‍රාර්ථනා කරලම. මිනිස්සු ඔයාට මාර ආදරෙයි තාත්තෙ. අපි හිතුවෙවත් නෑ මෙච්චරකටම මිනිස්සු ඔයාට ආදරෙයි කියලා. පිටරට ඉන්න හුඟක් අයත් මට එහෙම ආශිර්වාද කළා. ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව වගේ රටවල්වල ඉන්න අය මම වෙනුවෙන් බෝධිපූජා පවා කරලා තිබුණා. මම සුව වුණාට පස්සෙ ඒ අය මට පණිවිඩ එවලා තිබුණා අපි ඔයා වෙනුවෙන් මේ මේ දේවල් කළා කියලා. මම පදිංචි පුබුදු මාවතේ මගේ අසල්වැසි හිතවතුන් කට්ටියම බෙල්ලන්විල පන්සලේ ලොකු බෝධිපූජාවක් තියලා තිබුණා. ඒ ආදරයට මම ඇත්තටම හදවතින්ම ආදරෙයි. 

ගිරිරාජ් කෞෂල්‍ය කියන ආදරණීය හිතවතා, සොඳුරු නිර්මාණවේදියා සුවපත් කරන්න, අපට රුක දෙන්න ප්‍රාර්ථනා ආශිර්වාද රැගෙන එන පිරිසක් වගේම අපේක්ෂා රෝහලේ ඔබ වෙනුවෙන්ම පේවිච්ච පිරිසකුත් ඉන්න වග මට දැනෙනවා. ඔබ වගේම කවුරු එතැනට ගියත් මනුෂ්‍යත්වයෙන් පිළිඅරගෙන සුවපත් කරන්න වෙර දරන මහ පොළොවේ දෙවිවරු වගේ පිරිසක් වෛද්‍යවරුන්, හෙදියන් වගේම සමස්ත රෝහල් කාර්ය මණ්ඩලයක්ම එතන ඉන්නවා. මම දන්නවා ඔබ හැමදාමත් ඔබේ මාධ්‍ය මිතුරන්, ප්‍රේක්ෂකයන් වගේම ඔවුන් සිහිපත් කළෙත් පුදුමාකාර ගෞරවයකින් සහ කෘතවේදීත්වයකින් කියලා. කියන්න දෙයක් ඔබටත් ඇති? 

අනේ ඔව්. විශේෂඥ වෛද්‍ය දේවින්ද ජයතිලක ඇතුළු වෛද්‍ය කණ්ඩායම තමයි මගේ ජීවිතේ බේරුවේ. වචනයෙන් කියන්න බැරි තරම් ගෞරවයක්, ආදරයක් අපේක්ෂා රෝහලේ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයම ගැන මට තියෙනවා. එතැනට එන සියලු රෝගීන් ඔවුන් රුකබලා ගන්නෙ පුදුමාකාර උවමනාවකින්. මනුෂ්‍යත්වයකින්. සුව කරන්න බැරි පිළිකාවකින් පෙළෙන රෝගියෙක් වුණත් ඔවුන් දෙන මානසික සුවය විඳින හැටි මම දැකලා තියෙනවා. මම ප්‍රතිකාර ලබපු 13, 17, 30 වාට්ටුවල වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයත් විශේෂයෙන් මතක් කරන්න ඕනෙ. අද මම ඉන්න තත්ත්වය දක්වා මාව සුවපත් කරන්න ඔවුන් පුදුමාකාර අවංක මහන්සියක් කැපවීමක් කළා. සැබෑ වෛද්‍යවරු, හෙද නිලධාරින්, හෙදියන් සහ සෞඛ්‍ය සේවකයන් කියන්නෙ දෙවිවරු වගේ පිරිසක් නෙවෙයිද කියලා හිතෙන්නෙ රෝගියෙක් කායිකවත් මානසිකවත් සුවපත් කරන්න ඔවුන් දරන මහන්සිය දැක්කම. නැවත වතාවක් මම වෙනුවෙන් කළ සියලු දේට මම අපේක්ෂා රෝහලේ ඒ හැම කෙනෙකුටම මගේ ගෞරවය පිරිනමනවා. 

ඇත්තටම කොහොමද මෙච්චර ආදරයක් මිනිස්සුන්ගෙන් ලබන්න වාසනාවන්ත වුණේ?

මම හිතන්නෙ මිනිස්සුන්ට බොරු නොකර පෞද්ගලික ජීවිතය හරි විදිහට ගෙවද්දි තමන්ගේ දෙමව්පියන්ට බිරිඳට දරුවන්ට යුතුකම් වගකීම් ඉටු කරමින් ආදරයෙන් ජීවත් වෙද්දි චරිතවත් මිනිහෙක් විදිහට ජීවත් වෙද්දි මිනිස්සු ඒ චරිතවලට ආදරය කරනවා. ඒ ආදරය තමයි මම ලැබුවේ. 

සිකුරු හතේ, සුහද කොකා, කතුරු මිතුරු ඔබ විසින් නිර්මාණය කළ චිත්‍රපට ත්‍රිත්වය තුළම ප්‍රහසනය කියන්නෙ පුදුමාකාර රසයක්. ඇත්තටම මිනිස්සු හිනස්සවන එක සරල කාරණයක් නෙවෙයි. එහෙම ඇත්තටම හිනස්සවන්න හැමෝටම බෑ. කතුරු මිතුරු කියන්නෙ මම හිතන්නෙ මම දන්න සිනමා ඉතිහාසයේ මිනිස්සු වැඩියෙන්ම හිනස්සවපු සිංහල චිත්‍රපටයයි. කොහොමද මෙහෙම මිනිස්සු හිනස්සවන්න පුරුදු වුණේ?

ඉස්කෝලෙ යන කාලේ ගෙදර ඉද්දි මගේ ලොකුම ආසාව තමයි මගේ අම්මවයි ආච්චිඅම්මවයි හිනස්සවන එක. මූණේ දැලි ගාගෙන, විකාර කරගෙන, රුවුල් ඇඳගෙන මම බලපු දමිළ චිත්‍රපටවල චරිත මම අම්මයි ආච්චිඅම්මයි ඉස්සරහ කරනවා. කඩුවට ගෙදර පිහිය අරගෙන තමයි වීරයා වගේ රඟපාන්නෙ. අම්මටයි ආච්චිටයි මාර හිනා. යාළුවෝ එකතු වෙනවනෙ විහිළු කතා කියන්න. ඒ කාලේ යාළුවෝ එයාලා දන්න විහිළු කතා ඉස්සරලා මට හෙමින් කියලා ඒවා යාළුවන්ගේ සභාව ඉස්සරහ කියවන්නෙ මා ලව්වා. උඹ කියපං... උඹ කියද්දි තමයි හිනා යන්නෙ කියලා කියනවා. එයාලා මට දෙන්නෙ කේක් ගෙඩිය විතරයි. මම ඉතින් මගේ තාලෙට ලස්සනට අයිසින් ටික දාලා, දාන්නෙ චොක්ලට් අයිසින්ද නැත්නම් වෙන අයිසින් එකක්ද කියලා හිතන්නෙ මම. ඒ විහිළු කතා හිනා සාගරයක්. එහෙම යාළුවෝ හිනස්සවපු මම ඉන් පස්සෙ ටෙලිනාට්‍ය, කතුර දේශපාලන ප්‍රහසනය, එතුමා, නාන කාමරය, සිකුරු හතේ, සුහද කොකා වගේ නිර්මාණ ඔස්සේ ආව ගමනේ අර ඔබ කියපු විදිහට ඊළඟ මාරම හිනා සාගරය තමයි කතුරු මිතුරු. 

ඒ දවස්වල විජය නන්දසිරි, රොඩ්නි ඇතිවෙනකල් අපිව හිනස්සවපු නෝනාවරුණි මහත්වරුණි මේ වෙලාවේ මතක් වෙනවා?

ආ ඔව්.. ඒකත් ඒ කාලේ හරි ජනප්‍රිය වුණා නේද? ඉන්දියානු අධ්‍යක්ෂකවරයාට සිංහල බෑ. මම හාස්‍ය වැඩිවෙන විදිහට දෙබස් වෙනස් කරනවා. විජය අයියට කුසුම් අක්කට රොඩ්ඩට හිනා. මම කියන දේ කරනවා. ඒ කාලේ මම ආධුනිකයා. එදා ඒ අය මාව ප්‍රතික්ෂේප කළා නම් සිකුරු හතේ, සුහද කොකා, කතුරු මිතුරු නැතිවෙන්නත් තිබුණා. 

කතුරු මිතුරු චිත්‍රපටයේ රෑගත කිරීම් කරද්දි එහි රඟපාන නළු නිළියන්ටත් ඒ කාලය හිනා සාගරයක් වෙන්න ඇති. කොහොමද ඒ මතක?

ඒ චිත්‍රපටයේ රඟපාපු හැමෝම රංගනය තුළ දක්වපු ප්‍රවීණත්වය නිසා හිනා නොවී රඟපානවා. මහේන්ද්‍රට ටිකක් හිනා යනවා හැබැයි රෑගත කිරීමේ දර්ශනය ඉවර වෙච්ච ගමන් එයාලයි වටේ ඉන්න ශිල්පීන් ඔක්කොමයි රෑගත කිරීම් බලන්න ආව හැමෝමයි විනාඩි ගාණක් යනකම් ඇතිවෙනකම් හිනා වෙනවා. 

ලියපු කෙනාටයි අධ්‍යක්ෂණය කරපු කෙනාටයි හිනා ගියේ නැද්ද එතකොට?

ආ ඒ කියන්නෙ මට නේද? මටත් හිනා යනවා හෝ ගාලා. මට මතකයි මනෝ අයියා (ජයලත් මනෝරත්න) මගේ දිහා බලලා කියනවා ආන්.. ලියපු එකත් හිනා වෙනවා කියලා. මට හිනා යනවා නම් බඩු ෂුවර් කියලා මම දන්නවා.

හිනාව අස්සේ ඔබ ලස්සන කතාන්දරයක්, ලස්සන පණිවිඩයක් සිනමා වියමන ඔස්සේ දිගහරිනවා. ඒ සිනමා වියමන ඇත්තටම අපූරුයි. ඒ මගේ කෙටිම කෙටිම කෙටිම විචාරය. එහෙම විචාර තව බලපු හුඟක් අයගෙන් ලැබෙන්න ඇති නේද?

මම හිතන්නෙ ඔබ දුන්න විචාරයම හුඟක් අයගෙන් ලැබුණා. හුඟක් අයට මට කතා කරලම කිව්වා ගිරා අයියේ.. ඇතිවෙනකම් හිනාවෙන ගමන් ඔයා දුන්න පණිවිඩයත් හදවතටම දැනෙනවා ඈ කියලා. 

විජය නන්දසිරි සමු නොගන්න කතුරු මිතුරු චිත්‍රපටයේ විජය අනිවාර්ය චරිතයක් වෙයි කියලා හිතනවා?

අනේ ඔව්. මහේන්ද්‍ර පෙරේරා රඟපාන චරිතයට ගන්න හිතන් හිටියේ විජය නන්දසිරි. ඒත් විජය අයියා නැතිවුණා. ඊටපස්සේ මම මනෝ අයියගෙනුත් ඇහුවා ඒ චරිතයට මහේන්ද්‍රව ගමුද කියලා. මනෝ අයියත් ඒ පාර කිව්වා ඔව් මහේන්ද්‍ර මරු මහේන්ද්‍ර දාගමු කීවා. මහේන්ද්‍රත් හරි මචං කරමු කීවා. ඇත්තටම මහේන්ද්‍ර නියමෙටම ඒක කළා. 

ඇත්තටම ඔබට හිතෙන්නෙ නැද්ද රොඩ්නි වර්ණකුලයි ප්‍රියන්ත සෙනෙවිරත්නයි කොට වෙලා ඉපදුණේම ලංකාවේ සිනමාව වෙනුවෙන් කියලා. ඒ කොටකමත් එක්ක දෙන්නගේ රඟපෑම කතුරු මිතුරු එකේ වෙනම රහක්?

ඒකත් ඔව් නේද? දෙන්නා කොට වෙච්ච එකේ වෙනම රහක් තියෙනවා තමයි එහෙම සමහර චරිත රඟපාද්දි. මේ චිත්‍රපටයේ එක තැනකදි පල යන්න කොටා කියද්දි අනෙත් එකත් කියනවා ඉතින් උඹත් කොටානෙ කියලා. මතක් වෙද්දිත් හිනා යනවා. ඒ දෙබස් පිටපතේ නෑ. මම ඩබ් කරද්දි දැම්මේ.

හිනාව දැක්කත් හිනා යන ජනා (රංග ජයකොඩි), සහන් රන්වල හැම නළු නිළියෙක්ම චිත්‍රපටය ගිල්වන්නෙම හිනා සාගරයක. මම හිතන්නෙ නළු වරණයේදි ඔබ මාර සමතෙක්?

මටත් හිතෙනවා හැම චරිතයකටම ගැලපෙනම කෙනා හමුවුණා කියලා. ජනාගේ උසයි හිනාවයි රොඩ්නිගේ ප්‍රියන්තගේ කොටකමයි සහන්ගේ තඩි බඩයි ඔක්කොම අන්තිමට හිනා පිට හිනා ගෙනාවා කියලා හිතෙනවා දෙබස්, සිද්ධි සහ රෑප රාමුත් එක්ක. නැටුම් ගුරුන්නාන්සේ පියුමි හැමෝම පුංචි කොටස හරි නියමෙටම කළා

ජයලත් මනෝරත්නට වැඩ ඉවර කරපු චිත්‍රපටය නරඹන්න හම්බවුණාද?

නෑ. මම මනෝ අයියට කිහිප වතාවක්ම කතා කළා චිත්‍රපටය ඉවර කළාට පස්සේ චිත්‍රපටය බලන්න එන්න කියලා. ඒත් ඒ දවස්වල මනෝ අයියා රෑගත කිරීම්වල හිටියේ. අනේ ගිරා පස්සෙ බලමු අපි කිව්වා. ඒත් හිතපු නැති විදිහට එයා අසනීප වුණා සහ අපෙන් සමුගත්තා. හිටියා නම් කියලා හිතෙනවා ඉතින්. 

කතුරු මිතුරු... ඉතින් ඊටපස්සේ මම හිතන්නෙ කතුරු මිතුරු නරඹන කිසිම ප්‍රේක්ෂකයෙක් ඔබෙන් තවත් චිත්‍රපටයක් නොඉල්ලා ඉන්නෙ නැති බව නම් විශ්වාසයි.

ඔව්. චිත්‍රපටයක් ලියන්න, අධ්‍යක්ෂණය කරන්න වගේම නිර්මාණකරණයේ නියැලෙන්නත් තියෙන පිපාසය නම් කවදාවත් සංසිඳෙන්නෙ නෑ. ඒත් අසනීප තත්ත්වයෙන් ඉන්න වෙලාවට හිනා වෙන්න ලියන මානසිකත්වය හදාගන්න අමාරුයි. ඒත් මම චිත්‍රපට නොකර ඉන්න එකක් නෑ. නොකර ඉන්න හිතෙන්නෙත් නෑ. 

ගිරා.. ගිරා අයියා.. ගිරිරාජ් කෞෂල්‍ය... ඔබට සුවපත් නිදුකින් සපිරි සුවබර හෙටක්ම වේවා!

ඒත් එක්කම ඒ ආදරෙන්ම ඔන්න කිව්වා... මල්ලි හරි මල්ලි, මඟුලක් කතා කරනවා, මහ විශාල කරදරයක් වුණානෙ මේක, මොකෝ නෑ කියනවද? ළගට ඊළඟ ''ටච්'' එකේ රහ බලන්නත් අපි බලන් ඉන්නවා. 

සංජීවිකා