අනාගතයේදී මම කථිකාචාර්යවරියක් වෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෑත කාලයේ පුංචි තිරේ දකින යොවුන් රංගන ශිල්පිණියන් අතරේ අංජලි ජයසිංහට සුවිශේෂි තැනක් හිමිවේ. සිකුරු ඇවිත්, සී යූ ඇතුළු ජනප්‍රිය ටෙලි නිර්මාණ කිහිපයක් ඔස්සේ වර්තමානයේ දකින අංජලී මේ වනවිට කාගෙත් ආදරය දිනා සිටියි.

අංජලී  කියන්නේ කවුද..

වෙලාවකට අහිංසකයි. වෙලාවකට දඟයි මම. හැබැයි ගොඩක් අය නම් කියන්නේ මම ගොඩක් අහිංසක කෙනෙක් කියලා. ඒ අය එහෙම හිතන එක පුදුමයකුත් නැහැ. මොකද, මම හැමෝම එක්ක සුහදව කටයුතු කරන කෙනෙක් නිසා. කොටින්ම කියනවා නම් මම හරිම කැමතියි මගේ ජීවිතය හරි සරළ විදිහට ගෙවන්න.

රංගන ශිල්පිණියන් නොවුණා නම් අංජලි මොන වගේ වෘත්තියක නිරත වෙයිද..

පොඩි කාලේ මම ගොඩක් වෙලාවට කළේ ලියන එක. ඒ වගේම චිත්‍ර අඳින එක. වෙලාවකට හිතුණා මම කතුවරියක් වෙයිද කියලත්. හැබැයි රංගනය ශිල්පිණියක් වෙන හීනෙකුත් මට තිබුණා ඒ කාලේ. හැබැයි මම රංගනයට ආවේ අහම්බෙන්. අදටත් මේක මගේ වෘත්තිය නෙමෙයි. මම දැනටමත් මම මගේ උසස් අධ්‍යාපන කටයුතු සිදු කරමින් ඉන්නවා. බොහෝ විට මගේ ප්‍රධාන ඉලක්කය තියෙන්නේ කථිකාචාර්යවරියක් වෙන එක.

පාසල් කාලේ අංජලී දක්ෂ මොනවටද..

පාසල් යන කාලේ නම් මම පාසලේ කැපී පෙනෙන ශිෂ්‍යාවක් කලා කටයුතු පැත්තෙන්. මොකද, පාසලේ තියෙන හැම කලා වැඩකටම මම නර්තනයෙන්, ගායනයෙන් වගේම රංගනයෙන් දායක වෙන නිසා. ඊට අමතරව පාසලේ ක්‍රීඩා කටයුතුවලටත් මම සම්බන්ධ වෙලා ජයග්‍රහණ එහෙමත් අත් කරගෙන තියෙනවා.

අංජලි  මෙච්චර ලස්සන වෙන්න හේතුව..

මගේ අම්මා තාත්තා දෙන්නම ගොඩක් ලස්සනයි. ඉතින් ඔවුන්ගේ ලස්සන මට ලැබිලා තියෙනවා කියලා මට හිතෙනවා. හැබැයි මම හැම වෙලාවෙම විශේෂ සැළකිල්ලක් දක්වනවා මගේ සම රැකගන්න. මොකද, මම කරන වෘත්තියේදී ගොඩක් වෙලාවට වැඩ කරන්නේ වෙන්නේ මේකඅප් කරගෙන. එතකොට ඒවා දාගෙන මම පැය ගණන් රූපගත කිරිම්වල නිරත වෙනවා. ඉතින් සම රැකගන්න හැම වෙලාවේම වැඩේ ඉවරවුණ ගමන් මම මුණ හෝදලා පිරිසිදු වෙනවා. අම්මා නම් නිතරම වගේ මගේ කෝණඩය ගැන සැළකිලිමත් වෙනවා. මට විවේකයක් ලැබුණ ගමන් අම්මා කරන්නේ තෙල් දාලා මගේ කෝණ්ඩයට හොඳ මසාජ් එකක් දෙන එක. ඊට අමතරව මම මගේ ශරිරයේ හැඩය එක වගේ පවත්වාගෙන යන්න කායවර්ධන ව්‍යායාම්වල නිරත වෙනවා. ව්‍යායාම් නැවැත්තුව ගමන් මම මහත් වෙන නිසා.

අංජලිට ලස්සනයි කියලා හිතෙන්නේ මොන වගේ ඇඳුම්ද..

මට ලස්සනයි කියලා හිතෙන්නේ දිගට අඳින ඇඳුම්. ඕනෑම තැනකට ගිහිල්ලා අපට කැමති විදිහකට ඉන්න පුළුවන් දිගට ඇන්දාම. හැබැයි මට දිග ඇඳුම්, කොට ඇඳුම් කියලා එහෙම ගැටළුවක් නැහැ. තැනට අවශ්‍ය පරිදි මම ඇඳුම් අඳිනවා. කුර්තා ෆෝක් එකට ලෙනින්  එකක් හරි ඩෙනිම් එකක් හරි ඇන්දාම මට ගොඩක් ලස්සනයි කියලා හැමෝම කියනවා. මාත් ගොඩක් වෙලාවට එහෙම අඳින්න කැමතියි.

අන්තිමට අංජලි බලපු චිත්‍රපටය මතකද..

ඇත්තටම මට කාලේකින් චිත්‍රපටයක් නරඹන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. පාසල් යන දවස්වල නම් මම චිත්‍රපට ටෙලි නාට්‍යය මඟහරින්නේ නැතුව බැලුවා. නමුත්, වැඩිදුර අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ වුණාට පස්සේ චිත්‍රපටයක් නරඹන්න තරම් වෙලාවක් මට හොයාගන්න බැරිවුණා. අදටත් ඒ තත්ත්වය තියෙනවා. මොකද, රූපගත කිරිම් කටයුතුවල හිර වුණාට පස්සේ ඇත්තටම විවේකිව ගත කරන්න තරම් කාලයක් මට නැහැ. බලමු චිත්‍රපට අතරින් නම් මම අදටත් කැමතියි සංජය ලීලා බන්සාලිගේ %දේවදාස්^ චිත්‍රපටයට. ඒ කාලේ අපි හැමෝම කැමතියි ෂාරුක්ටයි අයිශ්වර්යටයි. ඉතින් ඒ දෙන්නා තමා %දේවදාස්^ චිත්‍රපටෙයත් රඟපෑවේ.

බුද්ධික සේනාධීර