අනේ සර් කියද්දී ගාමිණී ෆොන්සේකා නැගිටලා ගියා, මට හිතාගන්න බැරි වුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

- සහය අධ්‍යක්ෂණයෙන් වාර්තා තැබූ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ඩොල්ඩ් ජයන්ත

අසූව දශකයට පෙර ශ්‍රී ලාංකික සිනමා රසිකත්වය යනු ඉතා සුන්දර ආකර්ෂණීය අත්දැකීමකි. පවුලේ සැමට එක්ව නැරඹිය හැකි චිත්‍රපටයක් නම් නිවාඩුවක්, විරාමයක් ලද විටෙක මව පියා දරුවන් ඇතුළු මුළු පවුලම මසකට වරක්වත් චිත්‍රපටයක් බැලීම ඉතාම සුලභ සිද්ධියක් විය. එමෙන්ම බොහෝ විට පියාගේ මාසික වේතනය ලැබෙන දිනයට සහ පවුලේ සැම චිත්‍රපටයක් නැරඹීමට එක්කරගෙන යාම අතිශයින් සුලභ සිද්ධියක් විය. එහෙත් රූපවාහිනියේ ආගමනය, නූතන තාක්ෂණික මෙවලම් ආදිය වඩා සුලභ වීම තුළ මෙම සිනමා රසිකත්වය ඉතාම සිමිත තැනකට අද වනවිට පැමිණ ඇත. මංගල දර්ශනය හැරුණුකොට චිත්‍රපට ශාලාවක ප්‍රදර්ශනය ඇරඹුණු දා සිට එය නැරඹීමට යන බොහෝ අවස්ථාවල චිත්‍රපට දර්ශන වාරයට වේලාව එළඹෙන තෙක් සිටිනවාට වඩා සිනමා ශාලාවට ප්‍රේක්ෂකයන් අවම ප්‍රමාණය පැමිණෙන තෙක් රුඳී සිටීමට සිදුව තිබේ. එවන් යුගයක අද අප හමුවන මේ නිර්මාණවේදියා සුවිශේෂී වේ. මන්ද, ඔහු සිනමා කර්මාන්තයට එක්වන්නේම ස්වකීය සිනමා රසිකත්වය නිසාමය. එසේ පැමිණි ගමනක 37 වැනි වර්ෂ පූර්ණය වනවිට ඔහු ලංකාවේ වැඩිම සිනමා නිර්මාණ ප්‍රමාණයකට දායකත්වය දුන් සහය අධ්‍යක්ෂකවරයා වීමේ භාග්‍ය හිමිකර ගත්තේය. තම සුන්දර රසිකත්වය නිසාම ප්‍රේක්ෂක ආකර්ෂණය දිනූ චිත්‍රපට කිහිපයක් අධ්‍යක්ෂණයට ද එක්වූ ඔහු නමින් ඩොනල්ඩ් ජයන්තය. අද තම කතාව හදසර (My story) සමඟ කියන්නේ ඔහුය.

''මගේ උපන් ගම මාතර දිස්ත්‍රික්කයේ දෙණියාය ප්‍රදේශයේ තියෙන කොටපොළ කියන ගම. කොටපොළ ජාතික පාසලට තමයි මම ගියේ. මේ වනවිට මගේ තාත්තා ජීවතුන් අතර නැහැ. අම්මා ඉන්නවා. මට එක් සහෝදරියක් සහ සහෝදරයන් දෙදෙනෙක් සිටිනවා. මම තමයි පවුලේ වැඩිමලා. මගේ තාත්තා වැඩ කළේ දුම්රිය දෙපාර්තමේන්තුවේ. අපේ ළමා කාලය ඉතාම සුන්දර ආදරණීය මතකයන් පිරුණු කාලයක්.''

ඩොනල්ඩ් ජයන්ත සිනමා රසිකයෙකු බවට පත්වූයේ ඔහුට වයස අවුරුදු 10ක 12ක පමණ කාලයේ සිටමය. එය ඔහුගේ ප්‍රියතම කාර්යයක් වුවද ඩොනල්ඩ්ගේ මවට නම් ප්‍රිය කාර්යයක් නොවීය. සිනමා ශාලාවට ගොස් ගාමිණී - මාලනීගේ සොඳුරු රංගනය නරඹා නිවසට එන ඩොනල්ඩ්ව මෑණියන් පිළිගනු ලැබුවේ හොඳ ගුටි මුරයක් සමඟිනි. 

 

''අම්මා තාත්තා දෙන්නටම මේක ලොකු ප්‍රශ්නයක්. මොකද, මට කොතරම් ගුටිබැට දුන්නත් සැරවැර කළත් චිත්‍රපට නැරඹීම අතහැරියේම නැහැ. ඇත්තටම ඒක ගෙදරට විතරක් නෙවෙයි, පාසලටත් එහෙමයි. මොකද පාසල් වයසේ පොඩි කොල්ලෙක් මේ තරම් චිත්‍රපට නරඹන්නට එක්වීම පුදුමයක් වගේම ගැටලුවක් ද වුණා. ගෙදරින් ගුටි ලැබුණා වගේම මට පාසලෙනුත් දඬුවම් ලැබුණා. මම දෙතුන් වතාව එකම චිත්‍රපටය නරඹලා පාසල් ගියාම යාළුවෝ ඉස්සරහ චිත්‍රපට කොටස් හොඳට රඟපානවා. විදුහල්පතිතුමා මේක දුටුවොත් ඉතින් එදාට ගුටි තමයි. හැබැයි කොයි තරම් ගුටිකෑවත් මගේ සිනමා රසිකත්වය වෙනස් වුණේ නැහැ.''

කුඩා පාසල් ළමයෙකු වූ ඩොනල්ඩ් හට චිත්‍රපට බැලීමට මුදල් දීම සඳහා කිසිවෙක් කැමැත්තෙන් ඉදිරිපත් නොවීය. මුදල් සොයාගැනීම දුෂ්කර වුවත් ඔහු ඒ සඳහා උත්සාහ කිරීම පුරුද්දක් කර ගත්තේය.

''ඒ දවස්වල ගැලරියේ ටිකට් එකක් ශත 55ක් වෙනවා. ශත 55ක් සොයා ගැනීම හරිම දුෂ්කර වැඩක්. ඒත් මම අතහරින්නේ නැහැ. කැන්ටිමෙන් කෑම ගන්න ගෙදරින් දෙන සල්ලි සතෙන් සතය එකතු කරලා හරි චිත්‍රපටය බලන්න මම සල්ලි හොයා ගන්නවා. නැත්නම් යාළුවෝ ඉන්නවනෙ. එයාලගෙනුත් උදව් ගන්නවා. හැබැයි කොහොම කරදර විඳලා සල්ලි හොයාගෙන චිත්‍රපටය බැලුවත් ගෙදර ආවම අම්මා හොඳ ගුටිමුරයක් දෙන එක නම් අනිවාර්යයි. ඒත් චිත්‍රපට බැලිල්ල නම් නතර වුණේ නැහැ. මෙහෙම දිගු කාලයක් චිත්‍රපට බලද්දි මට ගාමිණී - මාලනී රංගන ශිල්පීන් ගැන පුදුමාකාර කැමැත්තක් ඇතිවුණා. කවදා හරි සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා හමුවෙන්නට ඕනමයි කියන සිතුවිල්ල ඇතිවුණේ ඔහොම චිත්‍රපට බලලමයි. ඉස්සර ගාමිණී රඟපාන චිත්‍රපටයක් ආවාම 10.30 බලනවා දෙණියාය හෝල් එකේ. 2.30 බලනවා මාතර බ්‍රෝඩ්වේ එකේ. එතරම් ආදරයක් ගාමිණී කියන මහා නළුවා කෙරේ මගේ හිතේ තිබුණා.''

 

මෙලෙස ශ්‍රී ලාංකික සිනමාවට පෙම් බැඳි ඩොනල්ඩ්ගේ සිත තුළ කෙදිනක හෝ සිනමාවට එක්වීමේ කැමැත්ත ද වර්ධනය විය. කවදාක හෝ චිත්‍රපට කර්මාන්තයට පිවිස ගාමිණී ෆොන්සේකා හමුවීමේ, කතාබහ කිරීමේ, වැඩ කිරීමේ වුවමනාව ඔහු තුළ පැවති එකම ආසාව යැයි පැවසීම වරදක් නොවේ.

''මේ සියල්ල අතරේ මට සුවිශේෂී පුද්ගලයෙක් හමුවුණා. මගේ මවගේ මාර්ගයෙන් තමයි මේ හඳුනා ගැනීම සිදුවුණේ අසූව දශකයේ මුල් භාගයේදී. ඔහු ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මසිරි ගමගේ. මගේ චිත්‍රපට උන්මාදය ගැන අම්මා එතුමාට කියලා තිබුණා. පසුව මම ගියා එතුමාව හමුවෙන්න. මම මගේ සිහින ගැන එතුමාට කිව්වාම හැදෑරීමේ වැදගත්කම ඔහු පෙන්වා දුන්නා. එතුමා එවක (යොවුන් ජනතා) කර්තෘ. එහි (පහන් වැට) සඳහා මටත් එතුමා අවස්ථාව දුන්නා. එතුමාගේ විවිධ සාහිත්‍ය කටයුතු ඔස්සේ මට විශාල පිරිසක් හමුවුණා. මුලදි මුලදි මම දර්ශන තලවලට ගිහින් බලාගෙන ඉද්දි සමහර අය මට බැණලා එළවගෙනත් තියෙනවා. පුදුමය කියන්නෙ පසු කලෙක මම ඔවුන් සමඟ වැඩ කළා. ඒ වගේම මගේ නිර්මාණ සඳහා මා ඔවුන්ව දායක කර ගත්තා. එතැනදි මෙයාලා මට මුලදි සැලකුවේ මෙහෙමනෙ කියලා ගැලපෙන චරිතයට ඔවුන්ව යොදා නොගෙන ඉන්න මම කවදාවත් උත්සාහ කළේ නැහැ. ඔහොම කාලය ගතවෙලා 1986 දි තමයි මගේ සිහිනය සැබෑ වුණේ. ධර්මසිරි ගමගේ අධ්‍යක්ෂණය කළ (පූජා) චිත්‍රපටයේ මම දෙවැනි සහය අධ්‍යක්ෂක. (පූජා) මුහුරත් උළෙලේදි තමයි මට ප්‍රවීණ රංගධර ගාමිණී ෆොන්සේකා හමුවුණේ. ධර්මසිරි ගමගේ තමන්ගේ පුතෙකු ලෙස මාව ගාමිණීට හඳුන්වා දුන්නා. මම පිටට තට්ටුවක් දැම්මා. ගාමිණී ''ඉවසීම, බුද්ධිය, දක්ෂතාව සමඟ ඉදිරියට යන්න'' කියලා මට කිව්වා. එදා මම හිතුවා මම කවදා හරි චිත්‍රපට 30ක් කරනවා කියලා. ඒ අධිෂ්ඨානය ඔස්සේ මම බොහෝ දුර ආවා චිත්‍රපට 63ක් දක්වා. ඒ විතරක් නෙවෙයි, මෑත කාලයේදී සිනමාශාලාවලින් දුරස්ව සිටි ප්‍රේක්ෂකයන් යළි සිනමාශාලා වෙත කැඳවීමට සමත් නිර්මාණ ගණනාවක් නිර්මාණයට අධ්‍යක්ෂවරයෙකු ලෙස දායකත්වය දෙන්න මට පුළුවන් වුණා. ප්‍රවේගය සහ මායා ඒ අතරින් කිහිපයක්. මම සිනමාශාලා අයිතිකරුවන් සමඟ බොහෝ විට කතා කරනවා. දැන් දැන් අපේ රටේ සිනමාශාලා සීඝ්‍රයෙන් වැසීගෙන යනවනෙ. රූපවාහිනියෙන් චිත්‍රපට පෙන්වීම සේම එයට සිනමාවේදීන්ගේ පැත්තෙන් වන අඩුපාඩුත් හේතු වෙනවා. අප ප්‍රේක්ෂකයාගේ රසිකත්වය රුචිකත්වය තේරුම් ගෙන නිර්මාණ කළ යුතුයි. එය එසේ නොවන තැන ප්‍රේක්ෂකයා අපේ සිනමාවෙන් ඈත්ව යන එක අහන්නත් දෙයක්ද?''

 

ඩොනල්ඩ් ජයන්ත වැඩිම චිත්‍රපට ප්‍රමාණයක් සඳහා එක්වූ අධ්‍යක්ෂවරයා නම් උදයකාන්ත වර්ණසූරියයි. ඩොනල්ඩ් උදයකාන්ත වර්ණසූරියගේ පළමු චිත්‍රපටය වන (මහමෙර උසට) සිට නිර්මාණ 24ක් සඳහා සහය අධ්‍යක්ෂණයෙන් එක්විය. එමෙන්ම චන්න පෙරේරාගේ පළමු චිත්‍රපටය (අංජලිකා), රන්ජන් රාමනායකගේ (පාර්ලිමන්ට් ජෝක්ස්) ආදී බොහෝ නිර්මාණවල සහය අධ්‍යක්ෂවරයා ඩොනල්ඩ්ය. එසේම සෙනෙෂ් බණ්ඩාර දිසානායක අධ්‍යක්ෂණය කළ (ආදරණීය වස්සානය) චිත්‍රපටයේ සම නිෂ්පාදකවරයා වූයේ ද ඔහුය. ඉදිරියේදී ඔහුගේ නිර්මාණ කිහිපයක් තිරගත වීමට නියමිත අතර, (දේව දඬුවම) නම් චිත්‍රපටය සඳහා ඔහු සූදානම් වෙමින් සිටියි. ඔහු සහය අධ්‍යක්ෂණය තුළින් දායක වන (මාස -2 ) ඉදිරියේදී තිරගත වීමට නියමිතය.

සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සමඟ දර්ශන තලවල බොහෝ මතකයන් ඩොනල්ඩ් සතුව ඇත.

''දවසක් අපි චිත්‍රපටයක දර්ශනයක් රූගත කිරීමක් කරමින් හිටියා මිරිහානේ ගල්වල පාරේ. (පූජා) චිත්‍රපටයේ ගාමිණීගේ එක් දර්ශනයක්. ගාමිණී ගසක් යට වාඩිවෙලා හිටියා. මාත් අසල හිටියා. එතැනට ආවා පුද්ගලයෙක්. ගාමිණීට කතා කළා, අනේ සර් ඔබට මම හරිම කැමතියි. මොනවාද ඉදිරියේදි එන්නට නියමිත චිත්‍රපට කියලා තමයි ඔහු ඇහුවේ. ගාමිණී එතැනින් නැගිටලා වාහනයට ගියා. මට හරි අමුත්තක් දැනුණා. මම එදා සවස් වෙනකල් ඉඳලා ඇයි අර පුද්ගලයාට කතා නොකර ආවේ කියන එක ගාමිණීගෙන් ඇහුවා. එතකොට ගාමිණී මට කිව්ව දේ අදටත් හොඳට මතකයි. ''අයිසෙ, අපේ සමීප රූපය දකින්න ඕන රිදී තිරයෙන්. අපේ දුර රූපයයි දර්ශන තලයෙදි දකින්න ඕන.'' ඇත්තටම කිව්වොත් මට මේක ඒ මොහොතේ තේරුම් ගන්න නොහැකි වුණත් පසුව එය මට පැහැදිලි වුණා. රංගන ශිල්පියකුට ඒ දර්ශනය කොතරම් වැදගත්ද? ගාමිණී - මාලනීගේ සිට අද වනවිට පුබුදු, හේමාල් ආදී ශිල්පීන් දක්වාම මට වැඩ කරන්න ලැබී තිබෙනවා.'' ඩොනල්ඩ් ජයන්ත පැවසුවේ සැබෑම සතුටිනි.''

''ලෙනින් මොරායස් මගේ ප්‍රියතම අධ්‍යක්ෂවරයෙක්. මම ඔහුගේ නිර්මාණවලට හරිම කැමතියි. කවදා හරි ඔහුගේ ආකාරයේ ප්‍රේක්ෂකයා විසිල් ගසමින් ආශාවෙන් නරඹන චිත්‍රපටයක් කරන්න මම කැමැත්තෙන් හීන දැක්කා. ඉතින් (ප්‍රවේගය) ඔස්සේ මම ඒ හීනය සැබෑකර ගත්තා.''

ඩොනල්ඩ් විවාහ වී සිටින්නේ මංගලිකා නාගොඩවිතාණ සමඟය. ඔහුට උමේෂා හා නිමේෂා නමින් දියණියන් දෙදෙනෙකි. සිනමා ජීවිතයේ 37 වසරක් සපුරන ඔහුට තව බොහෝ කලක් සිනමාවේ විස්කම් පෑමට අපි සුබ පතමු.

මොනිකා සේරසිංහ