අනේ දයා මට නම් බෑ ඔහොම තනුවලට ගී ලියන්න - දයාරත්න පෙරේරා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

එහෙම කියූ කුසුම් අක්කා දිගු නෙත් හසරැල්ලේ ලියුවා

සංගීතය යනු විශ්ව භාෂාවක් වග එදා සිටම පිළිගැනෙන අදහසකි. දේශ සීමා, ජාති ආගම්, භාෂා පවුරුවලින් සංගීතය කිසිවිටෙක බෙදා වෙන්කළ නොහැක. එවන් වූ සංගීතය කෙනෙකු තුළ සහජ කුසලතාවක් ලෙස පිහිටන්නේ නම් එය කෙතරම් සොඳුරුද? රබීද්‍රනාත් තාගෝර් පඬිවරයා වරෙක පැවසුවේ සංගීතඥයෙකු බිහිවන්නේ පෙර කුසල් බලයෙන් බවයි. පෙර ජාතියේ සිට රැගෙන එන කුසලතාව සසර පුරා වර්ධනය කරගත් දෙයක් වග එයින් පැහැදිලි වේ. ගායන හැකියාවද එසේමයි. මධුර හඬක් හිමිවීම සැබෑ වාසනාවක්මය. අද හදසර කතා බහ එලෙස ගායන හැකියාවත්, සංගීත හැකියාවත් යන හැකියාවන් ද්විත්වයම දෝත දරාගත් ශිල්පියෙකු සමඟයි.

නොදොඩා මුවින් හමුවී දෙනෙතින්
මඟ හැර යන්නේ ඇයි මේ ලෙසින්
ඔබ මුදු දෙතොලින් සනසා දෙසවන්
මා ළඟ ඉන්න සෙවණක් ලෙසින්

ඔහුගේ ඇරඹුමයි ඒ. ගායන ශිල්පියෙකු, සංගීතවේදියෙකු ලෙස සිංහල ගීත කලාවේ මතකයේ රැඳෙන නිර්මාණ රැසක් සමඟ රසික හද දිනූ ඔහු පතිරගේ දයාරත්න පෙරේරාය.

"මගේ උපන්ගම කොස්වත්ත තලංගම. උපන් බිමේම තමයි අදටත් මගේ පදිංචිය. සහෝදරියන් 05 දෙනෙක්, සහෝදරයන් 05 දෙනෙකු ඇතුළුව 10 දෙනෙකුගෙන් යුතු පවුලේ මම 9 වෙනියා. තාත්තා ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ රැකියාවක් කළා. අම්මා නම් රැකියාවක් කළේ නෑ. අපේ පවුලේ සහෝදර සහෝදරියන් හැමෝටම වගේ ගීත ගයනා කිරීමේ හැකියාව තිබුණ බවත් කියන්න ඕනෑ. මම පාසල් ගියේ ලංකා සභා රජයේ විද්‍යාලයට. පාසල් කාලයේදී ගායන හැකියාව තුළින් මට බොහෝ දේ කරන්න ලැබුණා. ගායන තරගවලට එක් වෙන්න හැකි වුණා. විවිධ අත්දැකීම් ලබන්න එමඟින් හැකි වුණා.”

දයාරත්න පෙරේරා යනු අදටත් ඕනෑම ගුවන් විදුලි නාලිකාවක ගීතයක් ලෙස ඇසෙන හඬක උරුමකරුවෙකි. ගීත විශාල සංඛ්‍යාවක් නොගැයුවද, ගැයූ ගීත වැඩි සංඛ්‍යාවක් රසිකයින් හද බැඳගත් ගීතයන්ය. ඔහුගේ හඬින් දශක කිහිපයකට පෙර ඇසුන ගීතද අද රසික පරපුර පවා තදින් වැළඳගෙන සිටීම නම් සැබෑම වාසනාවකි. ඔහුගේ පවුලේ ගායනයේ සහ සංගීතයේ ඉසව් සොයා ගිය නිර්මාණකරුවන් නොමැති වීමද විශේෂයක්ය. "අපේ පවුලේ කලා ලෝකයට සම්බන්ධ වූ කවුරුත් නෑ. හැබැයි මගේ ආදරණීය පියාණන් සංගීතයට හරිම කැමතියි. ගීත ගායනයට හැකියාවකුත් තිබුණා. එයා ගීත ගායනා කරන හැටි අප දැක තිබුණා. මොහිදීන් බෙග් කියන්නේ මාගේ තාත්තා කැමැති ගායකයෙක්. තාත්තාගේ ගායන හැකියාව, කුසලතාව මගේ සංගීත ගමනට යම් බලපෑමක් වෙන්නට ඇති කියලත් මට හිතෙනවා. පොඩිකාලේ සිටම මට විවිධ සංගීත භාණ්ඩ වාදනය කිරීමේ හැකියාව තිබුණා. මවුත්  ඕගනය, වයලීනය ආදිය මට වයන්න පුළුවන් වුණා. අපේ ගෙදර තිබුණා ජපන් මැන්ඩලීනයක්. ඒක අපේ අයියාගේ. එයා ඒක වාදනය කරනවා දැක්ක මටත් එය වාදනය කිරීමට හැකිවුණා. ඒ වගේම තව අයියා කෙනෙක් ගෙනාවා සර්පිනාවක්. කොහොමත් ඉස්සර ඉඳලම අපේ ගෙදර සංගීතයට වැඩි ඉඩක් ලැබුණා. මොකද 1958 වගේ කාලේ ඉඳන් අපේ ගෙදර තිබුණා පොඩි සංගීත සාජ්ජයක්. ගායනයෙහි, වාදනයෙහි හුරුව එතැනිනුත් මට එන්න ඇති.”

පාසල් අධ්‍යාපනය නිම වූ සැණින් දයාරත්න පෙරේරා හට අවශ්‍ය වූයේ යම් රැකියාවක් කිරීමය. එතැනින් පවුලට සවියක් වීමටය. ඒ අනුව ඔහු විභාගය අවසන් වූ සැණින් 1970 දී පමණ පෞද්ගලික ආයතනයක රැකියාව සඳහා යොමු විය. එතැන් පටන් 1982 වසර වනතුරු ඔහු එම ආයතනයේ සේවය කළේය. සංගීතයට තිබූ ලැදියාව නිසාම එය වඩාත් ප‍්‍රගුණ කිරීමේ ආසාවක් ඇති විය.

"මම රැකියාව කරන අතරතුරම ගියා බී. වික්ටර් පෙරේරා කියන සංගීතඥයා ළඟට වයලීනය හදාරන්න. මොකද වයලීනය මම කැමතිම සංගීත භාණ්ඩය. වසර කිව්වොත් ඒ 1980දී. ගිහින් මම එතුමාට කිව්වා සර් මට අවශ්‍ය විභාගවලට පෙනී ඉඳලා විවිධ තත්ත්වයන් ලබාගැනීම නෙමේ. මට ඕන මෙහි ස්වර යෙදෙන ආකාරය සහ නියමිත වාදනය කිරීම යන මෙහි හරය හැදෑරීම පමණයි කියලා. මෙතනදී මට බොහෝ දෙනෙක් හමුවුණා. ඒ අතරේ හමුවූ සුවිශේෂි මිතුරෙක් නිසා මගේ ගමන ගොඩක් වෙනස් වුණා. ඒ මිතුරා තමයි අජිත් ජයවීර. එවකට ඔහු ගුවන් විදුලියේ වාදක මණ්ඩලයේ සිටියා. පසුගියදා තමයි ඔහු විශ්‍රාම ගියේ. රූපවාහිනී සංස්ථාවේ සංගීත අධ්‍යක්ෂ ලෙස ඔහු මගේ හොඳම මිතුරා වුණා. ඔහු මගේ හඬ අහලා අපූරු යෝජනාවක් කළා. දයා අපි සින්දු ටිකක් කරමු කියලා. ඔහු තමයි මගේ පළමු ගීත 05 ගුවන් විදුලියට යොමු කළේ. ඒ වෙද්දී මම සරල ගී ගයා තිබුණේ නෑ. නමුත් අපිට පුළුවන් ගීත තැටි ගත කරලා ඒවා ගුවන් විදුලියට පරිත්‍යාග කරන්න. ඒ තැටිවල "ප” අකුර සටහන් කරනවා. සුදුසු නම් ඔහු ඒවා ප‍්‍රචාරය කරනවා. බොහෝ ජනප‍්‍රිය ශිල්පීන් පවා මුලදී "ප” තැටි තමයි කළේ. 

කොහොම හරි අජිත් තමයි මගේ ගායන පිළිබඳ අවබෝධයෙන් එය ලොවට ගෙන යන්න උදව් කළේ. අනික මෙහිදී සිදු වූ විශේෂ දෙයක් තමයි එසේ පටිගත කොට දෙන ලද මාගේ ගීත 05ම අනුමත වුණු එක. ඒ දවස්වල ගීත එහෙම අනුමත වෙන්නේ කලාතුරකින්. ගීත 10ක් දුන්නොත් 01ක් වගේ තමයි අනුමත වෙන්නේ. නමුත් මගේ ගීත 05ම අනුමත වුණා. එයත් විශේෂ අවස්ථාවක්. එලෙස අනුමත වූ මගේ පළමු ගීතය තමයි "නොදොඩා මුවින්” ගීතය- එය රචනා කළේ උපාලි ආරියරත්න. ඒ ගීත එකතුවේ තවත් ගීතයක් තමයි යමුනා විනෝදනී සමඟ ගැයූ "ඈත හිනැහෙන තාරකාවේ පහන් එළියෙන් මඟ අසාගෙන” කියන ගීතය. එය රචනා කළේ අද අප අතර නොමැති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී කුසුම් පීරිස්. මේ ගීත දෙක ඉතාම ජනප‍්‍රිය වුණා. මම මුලින්ම මයික්‍රෝ ෆෝනයක් ඉදිරියේ ගැයූ ගීතය "බෝ වැලි මළුවේ” කියන බැති ගීතය. සීතා නානායක්කාර සමඟ ගැයූවේ. 1986 දී තමයි මේ විදිහට ගීත ඉදිරිපත් කළේ. මේ කාලයේ වසර 03ක් පමණ මා ගුවන් විදුලියේම ගැවසුනා කිව්වොත් හරි. ගුවන් විදුලියේ බොහෝ දෙනෙකු මගේ හිත මිතුරන් වුණා. විශේෂයෙන්ම කේ.ඩී.කේ. ධර්මවර්ධන වැනි ශිල්පීන්. ඔහු හමුවීම තුළ මගේ ගීත කලාව තවත් සුන්දර වුණා. ඔහු මට ගීත ගණනාවක් ලිව්වා. "ඔබට සිත ආදරේ කරයි, බිඟු බමා බමා, සුවඳ සලන” වැනි ගීත ඒ අතර විශේෂයි. මගේ කලා ජීවිතයේ විශාල පිබිදීමක් ඇති වීමට කේ.ඩී.කේ හේතු වූ බව පැවසිය යුතුමයි."

ඉන්පසු කේ.ඩී.කේ. ධර්මවර්ධන නම් සුන්දර කලාකරුවා දයාරත්න පෙරේරාගේ හොඳම මිතුරෙකු බවට පත්විය. එවකට ඔහු ඩුබායි හි උම් අල් ක්වේන් නම් ගුවන් විදුලියේ සේවය කළ අතර අවස්ථා දෙකකදී එහි වැඩසටහන් සඳහා තම මිතුරා වන දයාරත්නට දෙවරක්ම අවස්ථාව හිමිකර දුන්නේය.

"1993 දී තමයි මම මුලින්ම ගියේ. ඉන්පසු වසර 2000දී තවත් වරක් මම ඩුබායි ගියා. එහිදී මා ගීත ගැයූ ප‍්‍රසංගය තමයි කේ.ඩී.කේ. අවසන් වරට නිවේදන කටයුතු කළ ප‍්‍රසංගය. මොකද ඒ ප‍්‍රසංගයෙන් සති 03කට පසුව කේ.ඩී.කේ. සදහටම අපෙන් සමුගෙන ගියා. වසර 2000 නොවැම්බර් මාසයේ 03 වැනිදා. කේ.ඩී.කේ., දයා ද අල්විස්, කුසුම් පීරිස්, ආනන්ද එස්. විජේසිරි, උපාලි ආරියරත්න ආදී ගීත රචකයන් මගේ ගී ලියූ අය අතර විශේෂයෙන් සිහි කළ යුතුය.” ඔහු පවසන්නේ අතීතය පිළිබඳ අප‍්‍රමාණ සෙ‍ෙනහසකින් බව සිහිකළ යුතුය. 

මගේ ගීතාවලිය තුළ වැඩිපුරම තිබෙන්නේ මා තනු නිර්මාණය කළ ගීත. ඒ වගේම සංගීතය. තනුවට අනුවයි මගේ ගීත වැඩි ප‍්‍රමාණයක් රචනා වුණේ. කුසුම් අක්කා (කුසුම් පීරිස්) මුලින්ම තනුවට අනුව ගීතයක් ලියුවේ මට. එහි තනුව අජිත් ජයවීරගේ. මම ඒ ගී තනුවට අනුව වචන ටිකක් ලියා දෙන්න කියා ඇයට කිවුවා. "අනේ දයා මට නම් බෑ. ඔහොම තනුවලට ලියන්න කියලා" ඒත් මම කිව්වා උත්සාහ කරමු, ඔබට මේක කරන්න පුළුවන් කියලා. බත්තරමුල්ල ප‍්‍රදේශයේ නිවසක තමයි අපි ගීතය ලියුවේ. අවශ්‍ය වචන යෙදෙන කල්ම ලියලා ලියලා අවසානයේදී ඉතා සුන්දර ගීතයක් ලියැවුණා. එය තමයි,

දිගුනෙත් හසරුල්ලේ
මා සැනසුන දවසේ
මේ නෙතු නවතා මගේ හිත අමතා
හිරු හිනැහුණු උදයේදී
ආදරයද මට කීවේ....

කියන ගීතය අදටත් ජනප‍්‍රියයි. මේ ගීතයේ කියැවෙනවා ජීවිතයේ අවස්ථා තුන ගැන. හිරු හිනැහෙන උදයේ තමයි හමුවන්නේ. ඒ මල් හිනැහුණු උදයේදී තමයි ආදරය බව පවසන්නේ. දහවලදී තමයි තරහා වෙන්නේ. හිරු වැළපෙන හැන්දෑවේදී තමයි වෙන්ව යන්නේ. ගීතය හොඳින් ශ‍්‍රවනය කළොත් මෙය හොඳින් වැටහෙනවා. මොකද සාමාන්‍යයෙන් ගීතයක ස්ථායි කොටස එකම වචන යෙදුනාට මෙහි එහෙම නැහැ. එය අවස්ථා තුනේදී ආකාර තුනකින් තමයි යෙදෙන්නේ. හොඳින්ම ගීතය දෙස බැලුවා නම් එය පෙනෙනවා. දිගු නෙත් හසරුල්ලේ මා සැනසුන දවසේ....., ඊළඟට දිගු නෙත් හසරුල්ලේ හිත රිදවන දවසේ....., අවසානෙදී දිගුනෙත් හසරැල්ලේ අප වෙන්වුණු දවසේ....., ආදී ලෙස නවමු ආකාරයකින් කමයි ගීතය අප එක්ව රචනා කළේ. විරහා ගීයක් ලෙස එය රසිකයන් අතර ඉමහත් ජනප‍්‍රියත්වයක් ලැබුවා. අදටත් මේ ගීතය එලෙසම ජනප‍්‍රියයි.

"ඉන්පසු රූපවාහිනී වැඩසටහන් සඳහා මට අවස්ථාව ලැබුණා. අදටත් ආරාධනා ලැබෙනවා. මා වේදිකාව තුළ අදත් රුඳෙනවා. ලංකාව පුරාම ප‍්‍රසංගවලට ඇරයුම් ලැබෙනවා. වෘත්තීමය ගායන ශිල්පියෙකු ලෙස මා සක‍්‍රීයව ඒ සඳහා එක් වෙනවා. මගේ ගීත ගණනාවක්ම මා තනු නිර්මාණය කරගත් ඒවා. තවත් ශිල්පීන්ටත් මා ගී තනු නිර්මාණය කර දී තිබෙනවා. ඒත් ඒවා එතරම් ජනප‍්‍රිය නැහැ. මගේ එවකට තිබූ අධික කාර්ය බහුලත්වය නිසාම ඒවා සීමා වුණා. මා 1982 දී  මගේම කියා ව්‍යාපාරයක් ඇරඹුවා. ඇඳුම් මැසීමේ ව්‍යාපාරයක්. එය වසර 30ක් මා කරගෙන ආවා. සේවක සේවිකාවන් විශාල පිරිසක් එක්ව වගකීම් සම්භාරයක් මා වෙත පැවරී තිබුණා. ඒවා සමඟ සංගීත කලාව කරගෙන ආවා දශක 03ක්ම. මා චිත‍්‍රපට 04කට ගීත ගැයුවා. කුමරි බඹසර හැඬූ දා, සුන්දර වරද, සංසුන් නොසංසුන්, විශ්ම රාත‍්‍රිය කියන්නේ ඒ චිත‍්‍රපට 04.

බෞද්ධ දර්ශනය නියමිත හැදෑරීමත් සමඟ ජීවිතය ගෙවන මේ සුන්දර කලාකරුවා තම ගීත සහ කලා ජීවිතය ගැන අතිශයෙන් තෘප්තිමත්ය. බෞද්ධ දර්ශනයේ පැහැදිලි අවබෝධයද සමඟ ජීවිතාබෝධය තුළ නිවන් මඟ තම ඒකායන අරමුණ වගයි ඔහු පවසන්නේ. විශාල ගීත සංඛ්‍යාවක් නොවුණද අද දක්වා පවතින සාර්ථක ගීතාවලියක් ඔහු සතුය. එය තමා සිදුකළ නිර්මාණශීලි එමෙන්ම සාර්ථක ස්වර පෙළගැස්ම නිසා බව පවසන ඔහු මෙරට කලාවේ ස්වර්ණමය යුගයක තමා ඉපදීම බවත් එය තම වාසනාව නිසා බවත් පවසයි. තවදුරටත් රසික සිත්වල ඔහුට රැඳෙන්න වරම් ලැබේවායි හදසර අප සුභපැතුම් එක් කරමු.

I මොනිකා  සේරසිංහ
I සේයාරූ- අන්තර් ජාලයෙන්