අද වනවිට අපි හැමෝම මහා ලොකු සමාජ ව්‍යසනයකට මුහුණදී තියෙන්නෙ.



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජගත් චමිල යනු ජගත් සම්මාන දිනූ අපට සිටින දක්ෂතම ප්‍රවීණ රංග ශිල්පියෙකි. නිමා වූ මාණික්කාවතේ විශිෂ්ට චරිත රංගනයකින් ආලින්දයට ආ ජගත්, මේ දිනවල සිනමා තිරයෙන් ප්‍රේක්ෂකයන් හමුවට එන්නේ, ලලිත් රෝහිත එදිරිසිංහගේ අධ්‍යක්ෂණයෙන්, නිශාන්ත රුද්‍රිගු නිෂ්පාදනය කළ ‘තට්ටු දෙකේ ඉස්කෝලේ’ සමගයි. චරිතාංග රංගනයෙන්, අපූරු වින්දනයක් ප්‍රේක්ෂකයාට ලබාදෙන මේ ප්‍රවීනයා මේ හමුවේ දී අපට කියන්නේ මොනවද බලමු? 

ගෙවී ගිය ඔබගෙ ජීවිතය දිහා බලද්දී අද ඔබට ඒ ගැන හිතෙන්නෙ කොහොමද?

මම ජීවිතේ ගෙන ගියේ කොහොමද කියලා තව කෙනෙකුට අදාළ වන එකක් නැහැ. හැබැයි ඒ ජීවිතය ඇතුළෙ මම තවත් කෙනෙක් වෙනුවෙන් මොනවද කරලා තියෙන්නෙ කියන දේ තමයි වැදගත් වෙන්නෙ. 

එතැනදි ඔබ සෑහීමකට පත් වෙනවද? 

ඔව්. ඒකනෙ මම ලස්සන විෂයයක් තෝරා ගත්තෙ. ඒ විෂය තමයි කලාව. කලාව කියන්නෙ රටක තියෙන සමාජ, ආර්ථික, දේශපාලන දේ අභිබවමින්, මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් මේ ලෝකය වෙනුවෙන්  උපරිම සේවයක් කරන්න පුළුවන් දෙයක්. ඉතින් ඒ කලාව බොහොම වගකීමකින්, ගෞරවනීය විදියකින් ඉෂ්ට සිද්ධ කරගෙන යනවා. කලාව කිව්වාමත් හරි ගැඹුරු විෂයක්. ඒක මම කරන්නෙ ගෞරවනීය විදියට අනාගතය වෙනුවෙන් දරුවො වෙනුවෙන් සහ වර්තමානය ඇතුළු සියලු දේ වෙනුවෙන්. 

කොහොමද ඔබගෙ දූ දරුවන්, බිරිඳ එක්ක මේ දක්වා ගෙවූ ඒ කාලය, ජීවිතය?   

මගේ කුටුම්භයම කියලා විශේෂත්වයක් නැහැ. පොදුවේ ගත්තාම මගේ කියලා මම ජීවිතයේ රාමු කර ගත්ත කොටසක් නැහැ. ඒ හින්දම තමයි කලාව කියන දේ තෝරා ගත්තේ. කලාව කියන්නෙම තමුන්ට වඩා අනෙක් කෙනා වෙනුවෙන් තියෙන දෙයක්. අනෙක් අය උදෙසා. එහෙම හිතන නිසා තමයි ප්‍රතිපත්තිමය ස්වරූපයකින් අදටත් වැඩ කරන්න උත්සාහ ගන්නෙ. ඒක මේ තියෙන ආර්ථික රටාව එක්ක අපහසුයි. ව්‍යුක්ත වෙලා මහ සමාජයෙන් ඈත් වූ අයෙකු ලෙස ජීවත්වීමට මට ඕනෑ නැහැ. ඒ මහා සමාජය ඇතුළෙ මගේ පවුලත් තවත් එක් කුටුම්බයක් විතරයි. අනෙකාගෙ ගුණ සුවඳ දහදිය ඇතුළෙ ජීවත්වීමට මම කැමැතියි. මහා සමාජයේම එකෙක් විදියට හිටියාම අපට සමාජය සහ අපට දැනෙනව වැඩියි. 

අපි ඔබගෙ කලාව නිසා වින්දනයක් ලබනවා. ඔබ කොහොමද ඔබගෙ ජීවිතයෙ වින්දනයක් ලබන්නෙ? මොන වගේ දේ නිසාද? 

මගේ පුංචි කාලයේ දී මම කලාවට නැඹුරු වන වග මගේ තාත්තාට තමයි මුලින්ම දැනෙන්න පටන් ගත්තෙ. එතකොට දවසක්දා තාත්තා මම පාඩම් වැඩ කළ කළු ලෑල්ලෙ අපූරු දෙයක් ලියා තිබුණා. 

‘නැගුණු තැන බැස්මය
තෙද නොවේ විස්මය 
දියෙන් දිනු ලුණු 
දියෙන් නැස්මය’ 

කියලා ලියලා බ්‍රැකට්ස් ඇතුළෙ (කේයස්) කියලා සටහන් කරලා තිබුණා. ඒකෙන් තාත්තා මට කිව්වෙ කන්දක් නැග්ගොත් බැස්මක් තියෙන බවත්, හැබැයි ඒක නෙවෙයි විස්මය. ලුණු හදන්නෙ වතුරෙන්ම වගේ ලුණු නැසෙන්නෙන් දියෙන්මයි. ඒ අවබෝධය ඇතිව මේ ගමන යන්න. ඒ විදියට ලියලා තිබුණු තාත්තා මාව ඇමතුවෙ උක්කු කියලයි. බිර්ජු කියලත් කිව්වා. උක්කු උඹ පෞද්ගලික වස්තුවක් නොව පොදු වස්තුවක් යනුවෙන් දවසක් තාත්තා ලියලා තිබුණා. එතකොට මම 9 පංතියෙ විතර හිටියෙ. ඉතින් මට කියන්න ඕන දේ තමයි කලාකරුවකු ලෙස තනියම වින්දනය කරන්න බැහැ. මගේ තෘප්තිය පෞද්ගලික නැහැ. එහෙත් ආත්මීය වශයෙන් ඔහු සංස්කෘතියක් ලබන්න පුළුවනි. කොහොම වුණත් කලාකරුවකුගේ සතුට පොදුයි. නිර්මාණකරුවකුගෙ සතුට පොදුයි. කලාවට සම්බන්ධ නිර්මාණකරුවකුගේ සතුට මම දකින්නේ ඒ විදියටයි. 

අපි තට්ටු දෙකේ ඉස්කෝලෙ ගැන කතා කරමු. මේ ෆිල්ම් එකේ චරිතය ඔබට දැනෙන්නෙ කොහොමද? 

සාමාන්‍ය මිනිසුන් ලෙස අපට මේ සමාජයේ සාමාන්‍ය විදියට ජීවත් වෙන්න සිදු වෙනවනෙ. ඒ සමාජයෙන් අයින් වෙලා ජීවත් වෙන්න බැහැ. කන බොන දේවල්, ජීවත් වෙන විදියෙ දේවල් අපට අවශ්‍ය  වෙනවා. ඒ විදියට සිටින අතරේදී නිර්මාණ කටයුතුවලට දායක වී යම්කිසි මුදලක් උපයනවා. ඒවායින් තමයි අපි අපේ විය පැහැදම් උපයා ගත්තෙ. මෙහෙම කරගෙන යන අතරේදී තමයි අනෙක් පුද්ගලයින්ට වඩා කලාකරුවාගේ විදිය වෙනස් වෙනවා. නිර්මාණකරුවකුගේ චේතනාවන් වෙනස් වෙන්නෙ ඒ කාරනා එක්ක. සමහරුන් මිල මුදල් වෙනුවෙන් නිර්මාණ කටයුතු කරනවා. තවත් සමහරු මිල කියන සාධකය ඉස්සර කර නොගෙන සමාජය වෙනුවෙන් ඔහුගෙ යුතුකම් ඉෂ්ට කර ගන්න බැඳෙනවා. එතකොට මිල පොදු සාධකය නොවී ඔහුගේ සංකල්පීය රූපය පොදු වෙනවා. ඒ විදියට ගත්තාම ආර්ථිකමය කාරනා වෙනුවෙන් කළ නිර්මාණ වගේම ඉන් එහා ගිය නිර්මාණ මිල සාධක කර නොගන්න ඒවා ලෙස කොටස් කර ගන්න පුළුවන්. සමහර ඒවාට අපිට වගකීමකින් පෙනී සිටින්න පුළුවන්. සමහර ඒවාට එහෙම බැරි ඒවා තියෙනවා. එතැනදී මූලික වෙන්නෙ මිල කියන කාරණාව. එවිට මිනිස්සු ජගත් චමිල මේක කරලා තියෙන්නෙ මිල කියන දේ වෙනුවෙන් කියලා හිතන්න පුළුවන්. ඒ විදියට මාව හඳුනා ගත්ත ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. කොයි හැටි වෙතත් මේ තට්ටු දෙකේ ඉස්කෝලෙ කියන්නෙ මට වගකීමකින් පෙනී හිටින්න පුළුවන් නිර්මාණයක්. 

මොකක්ද ඒ වගකීම? 

අද වනවිට අපි හැමෝම මහා ලොකු සමාජ ව්‍යසනයකට මුහුණදී තියෙන්නෙ. විශේෂයෙන්ම මිනිසුන්ගෙ සිතුම් පැතුම් ආකල්ප තවත් කෙනෙක් වෙනුවෙන් හිතන්න පුළුවන් කාල පරිච්ඡේදය, ඒ හිත් ඇතුළෙ තවත් කෙනෙක් වෙනුවෙන් වෙන් කර ගන්න පුළුවන්ද කියන කාරනා ඇතුළෙ පොදුවේ අපි හැමෝම අත්විඳින ඛේදනීය තත්ත්වයන්ට හොඳම උත්තරයක් තමයි මේ තට්ටු දෙකේ ඉස්කෝලෙ කියලා කියන්නෙ. කෙටියෙන්ම කිව්වොත් සහ කම්පනය එනම් තමා තුළම ඇති වෙන්නා වූ දැනෙන හැඟීම එක්ක තමා තුළම ඇතිවන කම්පනය සහ ඒක විසඳා ගන්නා වූ හැඟීමක්. ඒ හැඟීම අපේ මේ රට පාලනය කරන අයට නැති නිසා තමයි අද අපි මේ විදියෙ ඛේදනීය තත්ත්වයකට මුහුණදීලා තියෙන්නේ. තව කෙනකුගේ ජීවත්වීමේ අයිතිය අනෙකා පවරාගෙන තිබීමේ තත්ත්වය. ඒක අතිශයින්ම භයානකයි. මගේ අදහසට අනෙකාට ගැළපෙන්න බැරි නම් ඒ කෙනාත් ජීවත් වෙන්න බැහැ කියන ස්වභාවය සමාජයේ තියෙන්නෙ. ඒක මෑතක දී සරසවි සිසුවියක් ඝාතනය කිරීමෙන් පවා අපට තේරුම් ගත හැකි දෙයක්. එහෙම තවත් අයගෙ ජීවිත විනාශ කරන්න තවත් කාටවත් බැහැ අපේ අදහස්වලට විරුද්ධ වුණාය කියලා. 

නමුත් එහෙම තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නෙ සහකම්පනය සමාජයේ අල්ප වී තියෙන නිසයි. මේ ෆිල්ම් එකෙන් මේ සහකම්පනය ගැන ඉතා අපූරුවට කියවෙනවා. සියලුම දරුවන්ට වැඩිහිටියන්ට ආදරණීයව කතා කරන චිත්‍රපටයක්. අන්න ඒ නිසා මේ චිත්‍රපටයට මම කැමතියි. ඒ වගේම මේ ෆිල්ම් එක වෙනුවෙන් වගකීමකින් ඕනෑම තැනක දී පෙනී හිටිනවා.

සඳුන් ගමගේ