අකලට පරවුණු ‘රේල්පාරේ’ පිපුණු මල
සිනමාව පුංචි තිරය තුළින් නොමැකෙන මතකයන් රැසක් කලා ලොවට එක්කල අනූෂා සොනාලි 90 දශකයේ සුමිත්‍රා පීරිස් මහත්මියගේ ගැහැණු ළමයි ටෙලි නාට්‍ය ඔස්සේ කලා ලෝකයට පා තැබීය. එතැනින් පසු දහඅට වියේදීම විසි දැල චිත්‍රපටයේ සිරිමාගේ චරිතයට දායක වෙමින් සිනමා ප්‍රේක්ෂකාගාරය වශී කර ගත් ඇය ලොකු දුව, සළුපට අහසට, හමන කිංකිනි, දරු උපත, මමත් ගැහැණියක්, පුතා මගේ සූරයා, ගිනිගත් හෝරාව සුන්දර වරද හා 2019 දී අවසන් වරට සංගිලි චිත්‍රපටයට දායක විය. 90 දශකයේ වෘත්තිය වශයෙන් සිනමාවට පිවිසි ඇය එකල සිනමාවට නැතුවම බැරි රුවක් විය. එහෙත් සිනමාව තුළින් සහ පුංචි තිරය තුළින් ප්‍රේක්ෂක හදවත් ඇදබැඳ ගත් ඇය කාලයක් සමඟම කලා ලොවින් ඈත් විය. එහෙත් ඇයගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ මැවුණු පුවත් නම් අඩුවක් වූයේ නැත.
රූපයෙන් සහ රංගනයෙන් එදා ප්‍රේක්ෂක හදවත් වශී කරගත් ඇය වසර ගණනාවක්ම මයෝපති රෝගයෙන් පීඩා විඳිමින් රෝද පුටුවක ගත කරන පුවත සමඟ ඇය වෙනුවෙන් සටහනක් පාඨකයන් වෙනුවෙන් ලබා දෙන්නට මීට වසරකට ඉහත දී ඇය ජීවත් වූ නිවසට යනවිටත් ඇය ජීවත් වූයේ ගැහැනියක ලෙස ජීවිතේ යථාර්ථයට මුහුණ දෙමින් රෝද පුටුවකට ඉරණම භාර දී අඟහිඟකම් සියලු දුක්ඛ දෝමනස්සයන් පොදි බැඳගෙනය. සියල්ලන්ගෙන්ම හෙම්බත් වී සිටි ඇයට ඉතිරිව තිබුණේ කඳුළු පමණි.
ප්‍රථමයෙන් ඇයව මුණ ගැහෙන්න යන විට ඇය සිටියේ තාවකාලික නිවසකය. එදා ගෙට ගොඩ වෙනකොටම අත් දෙක එකතු කර ඇය කිව් වචන ටික තාමත් මට අමතක නැත. පසු කාලීනව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇයට නිවසක් ලබා දුන්නත් එදා ඇයගේ වේදනාත්මක වචන ටික නැවත සටහන් තබන්නට සිතුනි.
‘‘මගේ ළඟින්ම ඉන්න කීප දෙනෙක් ඇරෙන්න කලා ක්ෂේත්රයේ කවුරුත් මාව බලන්න ආවේ නැහැ. පත්තරවල ගියහම කීප දෙනෙක් කතා කළා. අඩුම තරමේ පත්තරෙන් දැකලවත් සංස්කෘතික ඇමතිවත් මේ හිටපු කලාකාරිනියක් නේද කියලා දුක සැපවත් අහන්න කතා කළේ නැහැ. සල්ලි තියෙනවනම් හැම එකාම ඒවි. නැති වෙනකොට අපි පොල් කුඩු වගේ. මම රෝද පුටුවට වුණාට පස්සේ හැම රජයකින්ම ගෙයක් ඉල්ලුවාට දුන්නේ නෑ. ලයිට් නැතත් කමක් නෑ මටයි මගේ දරුවටයි, අම්මාටයි වැටිලා ඉන්න පොඩි ගෙයක් දෙන්න කියලා විතරයි මම ඉල්ලන්නේ. බඩගින්නේ මැරිලා ගියත් ඒක සැනසීමක්.’’
එදා ඇය ළඟට ආ කිසිවෙකුත් ඇය ළඟ සිටියේ නැත. තනි නොතනියට සිටියේ ඇයගේ එකම පුතු හා වයෝවෘද්ධ මව පමණි. මාංශ පේශි අක්‍රියවීමේ රෝගයෙන් ඒ වනවිටත් ඇය බොහෝ පීඩා වින්දාය. ඇයගේ රෝගී තත්ත්වය දිනෙන් දින උත්සන්න වීමත් සමඟ ඇයගේ ශරීරයේ මාංශ පේශි ඉතා දුර්වලව තිබූ නිසා විටින් විට ඇයට හුස්ම ගැනීමේ ප්‍රශ්න මතුවිය.
මම මගේ ජීවිතේ ගොඩක් දුක් වින්ඳා. මට ජීවිතේ වැරදුනා ගැහැනියක විදිහට. මම හැම දේකටම මුහුණ දුන්නා. දෙවතාවක් විවාහ වුණා. ඒ දෙපාරම මම රැවටුණා.
මට වැළඳිලා තියෙන්නේ කවදාවත් හොඳ කරන්න බැරි දුර්ලභ ගනයේ රෝගයක්. මයෝපති මාංශ පේශීවල ක්‍රියාකාරීත්වය දුර්වල වීමේ රෝගය. මේ රෝගය සුවරකන්න බැහැ. මම රෝද පුටුවට වැටුණම මට මේ වේදනාව පීඩනය දරා ගන්න බැරි වුණා. එද මගේ ළඟ හිටපු අය වෙනස් වුණා. මාව දාලා ගියා. මට ඉතුරු වුණේ මගේ පුතයි, අම්මයි විතරයි. මම ප්‍රාර්ථනා කරේ එක දෙයයි. ඒ තමයි මරණය.
එදා ඇයගේ නිවසට ගිය මා ඇයගේ ජීවිතේ වේදනාව දුක මේ සියල්ලම බොහෝ වේලා කතා කළෙමි. ඇය විටෙක සිනාසීය... විටෙක ඉකිගසා හැඬුවා. විටෙක කල්පනා කළාය. ඇයගේ සටහන සැඳැල්ල පුවත්පතේ පළවු විගස ඇයට උදව් කරන්නට බොහෝ දෙනා ඉදිරිපත් වූහ. ඇයව බලන්නට කතා කරන්නට බොහෝ දෙනා ඇයගේ නිවසට ගියහ. ඒ පිළිබඳව ඇය දුකරථනයෙන් බොහෝ සතුටින් කතා කළාය.
නිළියක් ලෙස වැල්ලෙත් බඹරේ කැරකෙන්නාක් මෙන් ඇයට හොඳ කාලයක් තිබිණි. හොඳ ප්‍රේක්ෂක ඉල්ලුමක් තිබිණි. එහෙත් පෞද්ගලික ජීවිතේ ගැහැනියක් ලෙස බොහෝ තැන් ඇයට වැරදුනි. බොහෝ ගැටුම්කාරී දේවල් ජීවිතයට එල්ල වීමත් සමඟ ඇය ජීවිතේ වෙනස්ම පැත්තකට යොමු කරගන්නේ බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට විය හැකිය. කලා ජීවිතයෙන් ඈත් විණි.
එහෙත් දැන් සියල්ල හැරදා අනූෂා සොනාලි දිවි සැරිය නිමකොට අවසන්ය. මයෝපති රෝගයට ගොදුරු වී කාලයක් ඉතාමත් වේදනාකාරීව පීඩා විඳිමින් ප්‍රතිකාර ලබමින් සිටි ඇය ස්වසන අපහසුතාවයක් හේතුවෙන් කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ දී ප්‍රතිකාර ලබමින් සිටිය දී පසුගිය 28 වැනිදා නොසිතූ ලෙස අවසන් හුස්ම හෙළීය. මිය යන විට ඇය 49 වන වියේ පසුවූවාය.
විසි දැලේ ඇය සමඟ රඟ පෑ ඩබ්ලිව්. ජයසිරි ඇය හඳුන්වා දී තිබුණේ අනූෂා සොනාලි රේල් පාරක පිපුණු මලක් ලෙසය.
ඒ මල අද නික්ම ගියත් කලාකාරිනිය ලෙස ප්‍රේක්ෂක හදවතේ ඇය නිදන් කළ මතකය සැමදා අමරණීය වනු ඇත. එහෙත් සම්භාව්‍ය නිළියන්ගේ අභාවයන් ගැන ලියවෙන ශෝක ප්‍රකාශ ඇය වෙනුවෙන් ලියවුණේ නැත.....
එදා ඔබට ආදරය කළ පිරිසට අද සොනාලිව අමතක වෙලා ද? එදා මා ඇය සමඟ කළ සාකච්ඡාවේ දී ඇය දුන් පිළිතුර ද මෙහි සටහන් තබමි.
වැරැදි මිනිස්සු නිසා මගේ කාලය මුදල් අපතේ ගියා. ඒකට පසුතැවෙනවා. අසීමිත විඳිහට මිනිස්සු විශ්වාස කරලා තමයි මට ජීවිතේ වැරදුනේ. පිරිමි වැරැදි තාක් ගෑණු වරදේ බැඳෙනවා. මට ජීවිතේ වැරදුනේ එතන.... මට ඒ කාලේ ගුරුහරුකම් දෙන්න හොඳ යාළුවෙක් හිටියේ නැහැ. මගෙන් වැඩ ගෙන මිනිස්සු මාව විසික් කළේ පොල් රොඞ්ඩක් වගේ.
මගේ තරුණ කාලේ මතක් වෙද්දී මගේ පපුව හිරවෙනවා. මට යාළුවෝ ගොඩක් හිටියා. මට ඕන වුණේ කලාව තුළ ලොකු ගමනක් යන්න. සමහර අය කලා ජීවිතෙන් ඉස්සරහට යන්න උදව් කරනවා කියලා ඒ අය කළේ මගේ නොතේරුම්කම් වලින් අහිංසකකම්වලින් ප්‍රයෝජන ගත්ත එක විතරයි. විසි දැල චිත්‍රපටය තමයි මගේ ජීවිතේට වාසනාව ගෙනාවේ. ඒත් කාලයත් සමඟම මගේ හැම හීනයක්ම නිමා කළා.
ගැහැනියක් ලෙස කොතරම් පීඩාවන්වලට මුහුණ දුන්න ද තම එකම පුතු ඇය පන මෙන් රැක්කාය. ඇය එකතැන් වූ දා පටන් ඉගෙනීම ද පසෙකලා තම මව දිවි හිමියෙන් රැකබලා ගත්තේද 21 හැවිරිදි පුතුය.
අනූෂා ඔබේ හැඬ ඔබේ රුව යළි දකින්නට නොලැබුණත් නිළියක ලෙස ඔබ කළ රංගනයන් සදාතනිකව ප්‍රේක්ෂක හදවතේ ඔබ ජීවත් වනු ඇත. සඳැල්ල අපද ඔබේ ආත්මයට සුවදායක නින්දක් ප්‍රාර්ථනා කරන්නෙමු.
නදීශා අතුකෝරළ