අක්කා ඩාන්ස් කරද්දි මම ආසාවෙන් බලාගෙන ඉන්නවා
වාසනා ලක්ෂානි කියන්නේ නර්තන ශිල්පිනියක්. ඇය මේ වනවිට නර්තන කණ්ඩායමක්ද පවත්වාගෙන යනවා. වෘත්තීයෙන් නර්තන ශිල්පිනියක් වන වාසනා ලක්ෂානි රංගන ශිල්පිනියක් ලෙසද කටයුතු කරනවා. ඇය සාරවිට කතාබකට එකතු වූයේ මේ විදිහට.
ඔබව හඳුන්වා දුන්නොත්?
මගේ ගම මාළබේ. අම්මා තාත්තා සහෝදර සහෝදරියන් හයදෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා මමයි.
ඩාන්සින් පටන් ගන්නේ කොයි කාලේද?
මම පොඩි කාලේ ඉඳලා ඩාන්සින් වලට ගොඩක් ආසයි. මට මතකයි මගේ දෙවෙනි අක්කා පාසලේ උත්සව සඳහා ඩාන්ස් කරද්දි මම ආසාවෙන් බලන් ඉඳලා ඒ විදිහටම කරලා පෙන්වනවා. මේ දිහා බලන් හිටපු මගේ ලොකු අක්කා තමයි මාව මුලින්ම ඩාන්සින් ක්ලාස් එකකට සම්බන්ධ කළේ. මගේ මුල්ම ගුරුවරයා වන්නේ කුලසිරි බුදවත්ත ගුරු පියාණන්. පසුව මහාචාර්ය මුදියන්සේ දිසානායක ගුරු පියාණන් යටතේත් නර්තනය හැදෑරුවා. මම උසස් පෙළින් පසු බස්නාහිර පළාත් නර්තන කණ්ඩායමේ නර්තන ශිල්පිනියක් ලෙස සේවය කළා.
ඔබේ නර්තන කණ්ඩායම ගැන කිව්වොත්?
මම නර්තන කණ්ඩායම් රැසක නර්තන ශිල්පිනියක් ලෙස සේවය කරලා තිබෙනවා. එමගින් අත්දැකීම් රැසක් ලබාගෙන තියෙනවා. මගේ හීනයක් තිබුණා මගේම කියලා නර්තන කණ්ඩායමක් පටන් ගන්න. 'වාසනා ඩාන්සින් ගෲප්' නමින් 2016දි මම මගේ ඒ හීනය හැබෑ කරගත්තා. දැනට විවාහ මංගල උත්සව, ආයතනික උත්සව, උපන්දින සාද ඇතුළු ඕනෑම උත්සව සඳහා අපි නර්තනය සපයනවා.
නර්තනයට අමතරව නිරූපණයට හෝ රංගනයට ආරාධනා ලැබිලා නැද්ද?
තියෙනවා. මියුසික් වීඩියෝ සහ ටෙලි නාට්‍ය සඳහා ආරාධනා ලැබිලා තියෙනවා. අකිල සපුමල් සර්ව මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. මම වේදිකා නාට්‍ය සඳහා සම්බන්ධ වෙන්නේ ඔහු නිසයි. 2015 රූපවාහිනී අවුරුදු කුමරිය තරඟාවලියෙන් පසුව මංජුල සර්ගේ 'සඳදිය මංකඩ' ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම ඉදිරියේදී රංගනයෙන් දායක වුණු නිර්මාණ රැසක්ම එන්න තියෙනවා.
ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?
මේ දිනවල මගේ නර්තන කණ්ඩායම සඳහා නව සාමාජිකයින් බඳවා ගන්නවා. මාලබේ සහ කඩවත අවට නර්තනයට දක්ෂ, ආස ශිල්පීන්ට මාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. නර්තන කණ්ඩායමට අමතරව ඩාන්සින් ඇකඩමියක් පටන් ගන්න වැඩකටයුතු සූදානම් කරමින් ඉන්නේ. ලංකාවේ ඉන්න ප්‍රවීණම නර්තන කණ්ඩායම් අතරට මගේ නර්තන කණ්ඩායම ගෙන එන්න තමයි මගේ ලොකුම බලාපොරොත්තුව තියෙන්නේ.
උදව් කරපු අය ගැන කිව්වොත්?
මගේ පවුලේ අය තමයි ගොඩක්ම උදව් කරන්නේ. ඒ හැමෝමවයි, මගේ ඩාන්සින් ගෲප් එකේ දැනට සිටින හැමෝමවයි ආදරයෙන් මතක් කරනවා.