’’Gypsies කණ්ඩායම පවතින්නේ තව අවුරුදු දෙකයි - Gypsies ගැන පියල් පෙරේරා කතා කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පහසුවටත් වාසියටත් දැන දැන වැරදි කරන සමාජයක ගීතයෙන් රසික හදවත් ආමන්ත්‍රණය කළ ඔහු සුනිල් පෙරේරා. Gypsies සංගීත කණ්ඩායමේ නායකත්වය ඔහුගේ අභාවයෙන් පසුව හිමි වූයේ පියල් පෙරේරාට. මෙරට සංගීත කණ්ඩායම් කලාවේ ප්‍රමුඛයෙකු ලෙස Gypsies හඳුන්වා දීම වැරදි නැහැ. ගීතය තුළින් වින්දනය පමණක් නොව, බොහෝ සමාජ ප්‍රශ්න සාකච්ඡාවට බඳුන් කළ Gypsiesහි අනාගතය සුවහසක් රසික සිත්හි නොබිඳෙනා බලාපොරොත්තුවක්. මේ පියල් පෙරේරා සමග අප බෙදා හදා ගත් අදහස්.

මොකද වෙන්නේ මේ දිනවල?

මේ දිනවල බෑන්ඩ් එකේ වැඩ කටයුතු කෙරීගෙන යනවා. Wedding සහ Company Party කිහිපයක් ම Play කළා. ඊට අමතරව සුනිල් අයියගේ අවසාන ගීතය වන “ගාලු පාර” ගීතයේ වැඩ නිමා වෙමින් තිබෙනවා. සුනිල් අයියා නැති නිසා Music Video එක විධියට Animation වීඩියෝ එකක් කරන්න තම යි බලාපොරොත්තු වෙන්නේ.

සුනිල් පෙරේරාගෙන් පසුව කණ්ඩායම් නායකත්වය භාර ගත්තේ ඔබ ද?

ඔව්. නායකත්වය මම භාර ගත්තා. බේස් ගිටාර් වාදකයා හැරුණා ම අනෙක් සියලු සාමාජිකයන් බොහෝ කලෙක පටන් අපත් සමග සිටි අයවලුන්. මගේ නායකත්වය යටතේ ඒ අයගේ සහයෝගය ඇතිව කණ්ඩායම ඉදිරියට කරගෙන යනවා.

සුනිල් පෙරේරා නොමැතිව පැවැත්වූ පළමු ප්‍රසංගය ඔබට කොහොම ද දැනුණේ?

ඇත්තට ම සුනිල් අයියා තමයි Gypsies කණ්ඩායමේ ප්‍රතිරූපය වුණේ. ඔහුගේ අඩුව කිසි ම දිනෙක, කිසි ම පුද්ගලයෙකුට පුරවන්න බැහැ. ඔහු නොමැතිව සිදුකරන සෑම ප්‍රසංගයකදී ම සුනිල් අයියා මාත් සමග සිටිනවා කියලා මට දැනෙනවා. මම තදින් ම විශ්වාස කරනවා ඔහුගේ ආශීර්වාදය සහ මග පෙන්වීම අපට නිරන්තරයෙන් තිබෙනවා කියලා.

ඔහු දැරූ අදහස් Gypsies හරහා ඉදිරියට පවත්වා ගන්නවා ද?

මම ගොඩාක් ආදර ගීත ගායනා කළ කෙනෙක්. ඒ නිසා එක පාරට ම ඔහුගේ දේශපාලන අදහස් නියෝජනය කරමින් ඔහුගේ ගමන් මාර්ගයට පිවිසෙන්න අමාරු යි. සුනිල් අයියගේ ගීත හරහා දේශපාලනය පමණක් නෙවෙයි සමාජ ප්‍රශ්න ගැනත් කතා කළා. ජාතීන් අතර සමගිය තිබිය යුතු යි සහ එම සමගිය බිඳ දාන්නේ දේශපාලන වුවමනාවට කියලා ඔහු හොඳින් ම දැනගෙන සිටියා. I Don’t know why, Signore, කුරුමිට්ටෝ, පහසුවට ත් වාසියට ත් වැනි ගීත හරහා ඒ අදහස් නොබියව ලෝකයට කිව්වා. මම අදට ත් එම ගීත ගායනා කරනවා. අයියා වගේ ම මම ත් කැමැති යි සමාජ ප්‍රශ්න ගැන කතා කරන්න. නමුත් මම දේශපාලන අදහස් හරියට කරනවා ද නැද්ද කියලා තීරණය කරලා නැහැ.

ඔහුගේ ඒ ප්‍රතිපත්තිගරුක බව ඔබ දකින්නේ කොහොම ද?

සුනිල් අයියාට තරම් දැඩි පෞරුෂයක් අපි කිසි ම කෙනෙකුට නැහැ. ඔහු කිසි ම දිනෙක කලාව හෝ ඔහුගේ ආත්මය බලයට හෝ ධනයට පාවලා දුන්නේ නැහැ. කලාකරුවන් ලෙස සෑම විට ම සිට ගත්තේ රට සහ රටේ දුක් විඳින ජනතාවගේ පැත්තේ. ඔහුගේ සෘජු ගුණය ගැන එක් උදාහරණයක් පවසන්නම්. එක්තරා මංගල උත්සවයක් අපි Play කළා. එම උත්සවයට රටේ දේශපාලන නියෝජිතයන් හතර දෙනෙක් පැමිණියා. එවිට සංවිධායකයන් සුනිල් අයියට ඇවිත් කිව්වා “අතිගරු” වචනය දාලා ඒ අයව පිළිගන්න කියලා. සුනිල් අයියා කිව්වා “අතිගරු” කොටස දාන්න බැහැ අවශ්‍ය නම් “මිස්ටර්” අසවලා කියලා කියන්නම් කියලා. එම අවස්ථාවේදී සංවිධායකවරුන්ට කර කියා ගන්න දෙයක් නැති වුණා. අවසානයේදී වෙනත් කෙනෙක් දම්මලා ඒ විධියට නිවේදනය කළා.

ගයාන් පෙරේරා කණ්ඩායමට එකතු වුණොත් එය වෘත්තීය වාසියක් වෙයි කියලා සිතන්නේ නැද්ද?

ගයාන්ගේ තීරණය කොහොම වෙයි ද කියලා මම දන්නේ නැහැ. ගයාන්ගේ සංගීත ශෛලිය වෙනස් එකක්. මම සිතන ආකාරයට ඔහුගේ ශෛලිය සහ Gypsies සංගීත ශෛලිය එකිනෙකට ගැළපෙන්නේ නැහැ. ඔහු සහ අප නියෝජනය කරන්නේ පරම්පරා දෙකක් නිසා අදහස් නොගැළපීම ත් තිබෙනවා. නමුත් ඔහු තරුණ පරම්පරාවේ වෙනසක් ඇති කළ අතිදක්‍ෂයෙක්.

නව සංගීත කණ්ඩායම්වලට තමන්ට ම කියලා ආවේණිකත්වයක් ගොඩ නගා ගැනීමට බැරි වෙලා තිබෙන්නේ ඇයි?

කණ්ඩායමකට තමන්ගේ ම කියල අනන්‍යතාවක් ගොඩ නගා ගැනීමට ස්වනිර්මාණ තිබෙන්න ඕනෑ. Gypsies කණ්ඩායමේ ආවේණිකත්වය ගොඩ නගා ගත්තේ තමන්ගේ ම ගීත ගායනා කරලා. නමුත් එක් ගැටලුවක් තිබෙනවා. අද තමන්ගේ ම නිර්මාණයක් කළ ත් එය ජනප්‍රිය කර ගන්න අමාරු යි. අපේ කාලයේ වගේ නොවෙයි අද මාධ්‍යයන් ගොඩක් තිබෙනවා. ඒ විවිධ වූ මාධ්‍යයන් උපයෝගී කර ගනිමින් ගීත නිකුත් කළ ත් ඉන් එකක්වත් හරියට ජනප්‍රිය වෙන්නේ නැහැ. මේ ගැටලුව නිසා තමන්ට ආවේණිකත්වයක් ගොඩ නගා ගැනීම අපහසු යි.

මම පැවසුවහොත් ලංකාවේ බයිලා සංගීත කලාව අභාවයට යමින් තිබෙනවා කියලා?

මම සිතන්නේ නැහැ. බයිලා ගීත තරම්වත් ශාස්ත්‍රීය ගීත ඉදිරියට නොඑන තත්ත්වයක් අද තිබෙන්නේ. කෙසේ වුවත් මම විශ්වාස කරන්නේ සංගීතය බයිලද ශාස්ත්‍රීය ද රෙගේ ද හිපොප් ද කියලා වෙන් කිරීමක් නොකර රස විඳිනවා නම් හොඳයි.

2020දී Gypsies ජුබිලි සැමරුම් වසර නේද?

ඔව්. 2020ට Gypsies සංගීත කණ්ඩායමට වසර 50ක්. එයට සමගාමීව අපි ප්‍රසංග කිහිපයක් සංවිධානය කරලා තිබුණා. නමුත් කොවිඩ් වසංගතය නිසා ඒ සියල්ල නතර කරන්න සිද්ධ වුණා. පසුව අපි තීරණය කළා 2021දී කරන්න. ඒත් නොහැකි වුණා. සුනිල් අයියගෙත් ලොකු ආසාවක් තිබුණා මේ ප්‍රසංගය කරන්න. අවාසනාවකට ඔහු කලින් යන්න ගියා. අපි සැලසුම් කළා මාර්තු 04/05/06 BMICHහිදී ෂෝ එකක් සහ ජුබිලිය සමරන්න. රටේ පවතින වාතාවරණය නිසා BMICH මුළු ධාරිතාවෙන් 60%ක් තමයි ගන්න පුළුවන්. ඒ නිසා එයත් කල් දාන්න සිද්ධ වුණා.

අලුත් නායකත්වය යටතේ තීරණ ගැනීමේදී ගැටලු අතිවෙන්නේ නැද්ද?

කිසි ම ප්‍රශ්නයක් නැහැ. සියලු දෙනා ම සහයෝගයෙන් වැඩ කටයුතු කරගෙන යනවා. කණ්ඩායමේ සියලු සාමාජිකයන් බොහෝ කලෙක පටන් එකට සිටින නිසා අපි අතරේ හොඳ තේරුම් ගැනීමක් තිබෙනවා.

කණ්ඩායමක මිල තීරණයට බලපාන සාධක මොනවා ද?

මිල තීරණය වන්නේ කණ්ඩායම කෙතරම් ජනප්‍රිය ද කියන කාරණාව මත. ක්ෂේත්‍රය තුළ ඔවුන්ට කෙතරම් ඉල්ලුමක් තිබේ ද? ඒ අනුව මිල තීරණය කරන්න පුළුවන්.

බෑන්ඩ් එකේ ඉදිරි සැලසුම් මොනවා ද?

ඉදිරියේදී ගීත දහයක් පමණ නිකුත් කරන්න සැලසුම් කරලා තිබෙනවා. ඒ වගේ ම තවත් අවුරුදු තුනකින් මම සංගීත ජීවිතයෙන් විශ්‍රාම යනවා. ඇතැම් විට මම තනි පුද්ගල ගායකයෙක් විධියට ඉදිරියට එයි. අනෙකුත් සාමාජිකයන්ට දන්වලා තිබෙනවා ඔවුන්ගේ ස්ථාවරය දැන් ම ගොඩ නගා ගන්න කියලා. බොහෝ වෙලාවට 2025දී Gypsies කණ්ඩායම විසිරිලා යයි.

පියල් පෙරේරාගේ අනාගත බලාපොරොත්තු මොනවා ද?

මම සංගීතයෙන් විශ්‍රාම ගිය පසු ගීත නිර්මාණය කිරීමට සිතා සිටිනවා. ඊට අමතරව පවුලේ අයත් සමග කාලය ගත කළ යුතු යි. නමුත් මම කැමැති නැහැ විශ්‍රාම ගියා කියලා පසෙකට වී පොත් කියවන්න. Stress කියන දේ මිනිසෙක් මිය යන තුරු ම තිබිය යුතු යි. එසේ නොමැති නම් කායිකව සහ මානසිකව ඇද වැටෙනවා. මගේ ආශාව ගීත නිර්මාණය කරන්න. ඉතින් මම එය දිගට ම කරගෙන යනවා.

දුමිඳු ලංකා