2023 වෙනුවෙන් රටටම සුබ පැතුම් ගෙනා අපේ කලා තරු පිරිවර



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මිනිසුන්ගේ හිත් නොරිදෙව්වොත් 2023 බලාපොරොත්තුවේ වසරයි!

මට හිතෙන විදිහට 2023 වසර කියන්නෙ අපේ රටේ බලාපොරොත්තුවේ වසරයි. 2019 සිට අපේ රටට සිදුවූ දේවල් අපි හැමෝම දන්නවා. මේ හැම දෙයක්ම මතයක් කරගෙන පාඩම් විදිහට ඉගෙනගෙන සියලු දෙනාම එකට එකතු වෙන්න ඕනෙ අවුරුද්ද 2023 අවුරුද්දයි. තමන් කරන ක්ෂේත්‍රය කුමක් වුණත් ඒ ක්ෂේත්‍රයට, මේ රටට සහ තමන්ගේ පවුලට යම්කිසි හොඳ දෙයක් කරනවා කියන ප්‍රාර්ථනයෙන් අද දවස පටන් ගමු. අපිට ප්‍රශ්න කතා කරනවා නම් ඕනෑ තරම් ප්‍රශ්න තියෙනවා. හැමතැනම ප්‍රශ්න ගොඩක් තියෙනවා. නමුත් ඒ ප්‍රශ්න හැමදේම දන්නවා නම් මිනිසුන් විදිහට ඒ ප්‍රශ්නවලට උත්තර හොයන්න අපිට පුළුවන් වෙන්න ඕනෙ. මෙච්චර කාලයක් දේශපාලනඥයෝ, කලාකරුවෝ, ක්‍රීඩකයෝ, ව්‍යාපාරිකයෝ මේ රට ගොඩ දාවි කියලා බලාපොරොත්තු වුණා නමුත් මේක තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා අපි දැන් දන්නවා. ඒ නිසා අපි හැමෝම හොරකම් වංචා කරන්නෙ නැතිව, මිනිසුන්ගේ හිත් රිද්දවන්නෙ නැතිව තමන්ගෙ පවුල, රට වෙනුවෙන් වැඩ කළොත් 2023 වසර අපේ බලාපොරොත්තුවේ වසර වේවි. අපි එකතුවෙලා මේ රට ගොඩගන්න වැඩ කරමු.

ධනංජය සිරිවර්ධන

හැම දෙනාගෙම හැම යහපත් බලාපොරොත්තුවක්ම ඉටු වේවා!

පසුගිය වසර කිහිපය අපිට එතරම් හොඳ වුණේ නැහැ. ඒ කාලය අපිට ප්‍රශ්නවලට මුහුණ දෙන්නෙ කොහොමද කියලා දුන්නා. ඒ ලබපු අත්දැකීම් හා පාඩම්වලින් පසුව මේ ලැබුවා වූ 2023 අවුරුද්ද ලස්සන, සැනසීම ලැබෙන, සුබ අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරනවා. අපි හැමදෙනාටම බලාපොරොත්තු තියෙනවා. ඒ යහපත් බලාපොරොත්තු සඵල වන සුබම සුබ වසරක් වේවායි ප්‍රාර්ථනා කරනවා.

අමිල කරුණානායක

ගහකොළට - සතා සිවුපාවුන්ට  සොබාදහමට ආදරය කරන වසරක් වේවා!

ලැබුවා වූ 2023 වසර ලෝකවාසී ලංකාවාසී සියලු දෙනාටම සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරනවා. මේ රටේ තියෙන සම්පත් සියල්ලම රැකගෙන, මේ රට බෙදාගන්නවා වෙනුවට මේ රට බේරාගෙන අපේ රටේ තියෙන සම්පත් තව තවත් ප්‍රයෝජනයට අරගෙන මේ රට ලස්සන කරන්න කැපවෙමු. වසර දෙකක් අපි රෝග බියෙන් ජීවත් වුණා. මේ නව වසර රෝග බියෙන් තුරන් වේවායි පතනවා. නව වසරේදි මේ ගහකොළට, සතා සිවුපාවුන්ට, සොබාදහමට ආදරය කරන සුබ නව වසරක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා.

නිල්මිණී කෝට්ටේගොඩ

මිනිස්සු ඔක්කොම රට අත්හැරලා යන්න කලින් ජීවත් වෙන්න පුළුවන් රටක් බිහි වේවා!

පසුගිය කාලයේ මහ විනාශකාරී කාලයක් අපි ගෙව්වා. ආර්ථික වශයෙන් වැටිලා, මිනිසුන්ට හරිම තෙහෙට්ටුවෙන් කාලය ගත කරන්න සිදු වුණා. 2023 වසර බොහොම සාමකාමී, ආදරණීය, එකිනෙකාට සහයෝගයෙන් යුතුව වැඩ කරන්න පුළුවන් වසරක් වේවි යැයි මම විශ්වාස කරනවා. මේ රටේ මිනිසුන් මේ රටින් පිටවෙලා යන්න කලින් මේ රට ජීවත් වෙන්න පුළුවන් යහපත් රටක් බවට පත් වේවායි මම හැමවෙලේම ප්‍රාර්ථනා කරනවා. මේ ලැබුවා වූ වසර තුළදිවත් එවැනි රටක් උදා වේවායි මම ප්‍රාර්ථනා කරනවා.

දුලීකා මාරපන

අපි වෙනුවෙන් අපි පෙළගැසෙන වසරක් වේවා!

ජීවත් වීම කියන දේ ලොකුවට දැනෙන, ජීවත් වීම කියන දේ අමාරුම කාලයක තමයි අපි මේ ජීවත් වෙන්නෙ. හැබැයි අමාරුම කාලෙදි සීරුවෙන් ඉන්න මිනිසුන් කවදා හරි දවසක ජය ගනීවි යැයි මම විශ්වාස කරනවා. ලාංකික ජාතිය මීට වඩා අමාරුම කාලවලටත් මුහුණ දීලා තියෙනවා. එවැනි ජාතියකට මේ අමාරු කාලයෙන් එගොඩ වෙන්න පුළුවන් වසරක් වේවි යැයි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒ අමාරු කාලයට ලාංකික ජනතාව ඇදලා දාපු මිනිසුන්ට එරෙහිව මේ රටේ මිනිසුන්ට හඬ නංවන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලත්, අපි වෙනුවෙන් අපි එකතු වෙන වසරක් වේවා කියලත් මම ප්‍රාර්ථනා කරනවා.

සුමිරාන් ධනංජය ගුණසේකර

අත මිට සරුවෙන බඩගිනි නොදැනෙන වසරක් වේවා!

කලාවේ නිරත වෙන කෙනෙක් විදිහට අපිටත් හැමදේම දැනෙනවා. මිනිසුන්ගේ අඩුපාඩු අපිට දැනෙනවා. කොයි තරම් අමාරුවෙන්ද ජීවත් වෙන්නෙ කියලා දැනෙනවා. ඒ නිසා 2023 අලුත් අවුරුද්ද මිනිසුන්ගෙ අතමිට සරුවෙන, කිසිම කෙනෙකුට බඩගිනි නොදැනෙන වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරනවා. මගේ ආදරණීය රටට ජයෙන් ජය ලැබෙන වාසනාවන්ත වසරක් වේවායි ප්‍රාර්ථනා කරනවා.

උදය කුමාරි

කොන්ද කෙළින් තියාගෙන නිවැරදි පාලකයන් තෝරගන්න හැකියාව ලැබේවා!

ලංකාවේ සියලු මිනිසුන්ට හොඳ සිහිබුද්ධියෙන් යුතු දැක්මක් ඇතිව හිතන්න මානසිකත්වයක් ඇති වේවායි මම මේ අලුත් අවුරුද්දෙදි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමන්ට කොන්ද කෙළින් තියාගෙන නිවැරදි පාලකයන් තෝරාගැනීමේ හැකියාව ලැබෙන, බඩ ගැන පමණක් නොහිතා රට ගැන, රටේ දරුවන් ගැන සිහිබුද්ධිය ඇතිව සිතන්න පුළුවන් වසරක් වේවායි පතනවා. අද මේ රට මේ තැනට පත්වෙලා තියෙන්නෙ තමන් ගැන, බඩ ගැන විතරක් හිතලා රට ගැන, අනාගතය ගැන හිතන්නෙ නැතිව ගත්ත තීරණ නිසයි. ඒ නිසා අපි හැමෝටම 2023 මේ වසරෙදි ශක්තිමත් නිවැරදි තීරණ ගැනීමට හැකියාව ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා.

කුමුදු නිශාන්ත

හිතට සැනසුම් ලැබේවා!

ලැබුවා වූ 2023 වසර මේ රටේ මිනිසුන්ගේ හිතට සැනසීමක් ගෙන එන, ලෙඩ රෝගවලින් තොර නිරෝගී වසරක් වේවායි ප්‍රාර්ථනා කරනවා. ස්වභාවික විපත් ඇතුළු කිසිම කරදරයකින් තොරව මේ රටේ දරුවන්ට නිසි පරිදි අධ්‍යාපන කටයුතු කරගෙන යා හැකි සුදුසු පරිසරයක් ගොඩනැගෙන වසරක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා.

ඕෂධී හේවාමද්දුම

ආදරය - කරුණාව - විශ්වාසය රැඳුණු සැනසිලිදායක වසරක් වේවා!

කොවිඩ් වසංගතය වගේම ආර්ථික අපහසුතාවලට මුහුණ දීපු අපිට මේ ලැබුවා වූ 2023 වසර සුබදායී වසරක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා. ලෙඩ දුක්වලින් තොර, හිතේ සැනසීමෙන්, සතුටින් ජීවත් වෙන්න සුදුසු පරිසරයක් සමඟ අතපසු වුණු වැඩ කර ගනිමින් එකිනෙකාට උදව් කර ගනිමින් ආදරය, කරුණාව, විශ්වාසය සමඟින් ජීවත් විය හැකි සැනසිලිදායක වසරක් වේවායි මම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

අනුරාධා එදිරිසිංහ

ලෙඩ දුක් කරදර නොවේවා! සැනසීම සතුට ලැබේවා!

අපේ සියලු ජනතාවට, ලෝකවාසීන්ට කිසිම ලෙඩක් දුකක් නැති, දුක් කරදර නැති, හිතේ සැනසීම, සතුට ඇතිවන සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරනවා.

කාංචනා ඛාන්

සුබවාදී හැඟීමකින් අවුරුද්ද පටන්ගමු

පසුගිය කාලයෙදි අපි සෑහෙන්න දුක් වින්දා. තාමත් කොහොමටත් අපි එහෙම සශ්‍රීක මට්ටමක නැහැ. නමුත් අඩුම ගාණේ මේ ලැබුවා වූ 2023 අවුරැද්දෙදිවත් අපිට අපි වෙනුවෙන් සුබවාදී හැඟීමක් හිතේ තියාගෙන, අපේ ශක්තිය හරියට ප්‍රයෝජනයට ගන්න පුළුවන් වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි හැමදෙනාගේම සියලු යහපත් කටයුතු සාර්ථක කර ගන්න ධෛර්යය, ශක්තිය ලැබෙන අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරනවා.

මහේන්ද්‍ර පෙරේරා

ආකල්ප වෙනස් වේවා - බලාපොරොත්තු ඉටු වේවා!

ලැබුවා වූ නව වසර සුබදායී විදිහට සියලු දෙනාගේම ආකල්ප වෙනස් වෙන, සියලු දෙනාගේම බලාපොරොත්තු ඉටුවන නව වසරක් වේවායි මම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

ධනුෂ්ක රත්නායක

දිශානි ජයමාලි