2022 වසරේ ශ්‍රී ලංකාවෙ හොඳම චරිත 100න් කෙනෙක් ලෙස මමත් ඒ සම්මානයට පාත්‍රවුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කලා ක්ෂේත්‍රයේ විවිධ ඉසව් ස්පර්ශ කරමින් ඒ තුළ නොමැකෙන සටහනක් තබන්නට සමත් වූ දක්ෂ කලාකරුවෙක් සමඟින් කතාබහක යෙදෙන්නට මෙවර සඳැල්ලෙන් ඉඩ  වෙන් කරන්නට හිතුවා. ඒ අරවින්ද දොඹගහවත්ත සමඟින්.

 පසුගියදා ඔබ සම්මානයකට පාත්‍ර වුණා නේද?

ඔව්. අහස  මීඩියා ආයතනය සංවිධානය කරන පදනම් ආයතනය මගින් පවත්වපු ‘Sri Lankan Top 100’ සම්මානයෙන් තමයි පිදුම් ලැබුවෙ. ශ්‍රී ලංකාවෙ විවිධ ක්ෂේත්‍රයන් තුළ දක්ෂතා දැක්වූ ප්‍රබල චරිත 100ක් තමයි  මේ වෙනුවෙන් නිර්දේශ වුණේ. ඒ අතර ව්‍යාපාරික, දේශපාලනික, වෛද්‍ය, ඉංජිනේරු, පරිගණක, සමාජීය, විවිධ කලා නිර්මාණ කළ පුද්ගලයන්, මාධ්‍යවේදීන් ඇතුළු විවිධ වූ පුළුල් පරාසයක පුද්ගලයන් හිටියා. මේ ගෞරව සම්මානය පුද කරන්නෙ ඉදිරියේදී ඒ ඒ  ක්ෂේත්‍රයන්හි දිග්විජය කරනවා කියලා හිතන දක්ෂ චරිත 100කට. ඉතින් කලා ක්ෂේත්‍රයේ රංගන ශිල්පියෙක් විදියට රංගනය උදෙසා 2022 වසරේ ශ්‍රී ලංකාවෙ හොඳම  චරිත 100න් කෙනෙක් ලෙස මමත් ඒ  සම්මානයට පාත්‍රවුණා.

 රංගන ශිල්පියෙක් විදියට ආ ගමන් මගේ මෙවැනි ඇගයීමකට පාත්‍රවීම ගැන මොකද හිතෙන්නෙ?

ඇත්තටම මේ සම්මාන උළෙල අනිත් උළෙලවල්වලට වඩා විශේෂයි. මේ රංගන ක්ෂේත්‍රයට පමණක් සීමා වුණු සම්මාන උළෙලක් නෙමෙයි. පෙර සඳහන් කළ පරිදි විවිධ වූ ක්ෂේත්‍ර  තුළ පුද්ගලයන් ඇගයීමට පාත්‍ර වුණා. ශ්‍රී ලංකාව තුළ විවිධ වූ ක්ෂේත්‍රවල දක්ෂතා තියෙන පුද්ගලයන් බොහෝමයක් ඉන්නවනෙ. ඉතින් මේ අතරින් 100ක් තෝරනවා කියන්නේ ඉතා දුෂ්කර කර්තව්‍යයක්. මොකද තමන්ට අදාළ ක්ෂේත්‍රයේ දක්ෂතාවය අතින් නොමැකෙන සටහනක් තියාගෙන ඉන්න ඕනෑ. ඉතින් මම සතුටු වෙනවා මම නිරතවන අංශයෙන් රංගනය  පැත්තෙන් මට මේ ලැබුණු ඇගයීම පිළිබඳව.

ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනෑ අහස මීඩියා ආයතනයෙන් මේ සම්මාන උළෙලට ජූරි සභාවක් විදියට අරගෙන තිබුණෙ ගම්වල ජනතාව. මොවුන් මාස කිහිපයක් තිස්සේ  ලංකාවෙ දුෂ්කර පළාත්වල ඒ නගර සහ ගම්වල කරපු සමීක්ෂණයකින් කූපන්පත් ඇදීමකින් තමයි මේ චරිත තෝරගෙන තියෙන්නෙ. වෙනත් සම්මාන උළෙලවල වගේ ජූරි සභාවකින්  නිර්නායකයන් ඉදිරිපත් කරලා  යම් කණ්ඩායමක් විසින් තීරණය කරලා ලබාදෙන සම්මාන නෙමෙයි මේ උළෙලෙදි  ලබාදුන්නෙ.

මේ ජනතාවගේ ආකල්ප සහ ජනතා සිත් තුළ  නාමයන් රැදුණු චරිත තෝරාගෙන ලබාදුන් සම්මාන. මම මේ වෙද්දි වසර 8ක් තිස්සේ මේ ක්ෂේත්‍රය තුළ රැඳිල ඉන්නවා. ඒ වසර 8 ඇතුළත මම නිර්මාණයන් කරලා තියෙන්නෙ අතළොස්සයි. නමුත් ඒ නිර්මාණ අතළොස්සක් තුළ මට ප්‍රවීණ දක්ෂ  අධ්‍යක්ෂවරු යටතේ වැඩ කරන්න ලැබිල තියෙනවා. ඒ නිර්මාණ තුළ එකිනෙකට වෙනස් චරිත කරලා තියෙන්නෙ. ඉතින් එතෙක් මෙතෙක් මම ඒ කරපු චරිත තුළින් ප්‍රේක්ෂක මනසේ යම් සටහනක් ඇඳගන්න මේ වෙද්දි සමත්වෙලා තියෙනවා කියලා හිතෙනවා මම ලබපු ප්‍රතිචාරවලින්.

 එතෙක් මෙතෙක් කරපු ඒ ඒ චරිත රංගනයන් ගැන ඔබ තෘප්තිමත්ද?

අනිවාර්යෙන්ම ඔව්. මොකද මම පෙර සඳහන් කළා වගේ මම රංගනයෙ යෙදුණු එකිනෙකට වෙනස් වූ චරිතවලට ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා. ක්ෂේත්‍රයට අවතීර්ණ වුණු කාලෙ පටන් මගේ ඇත්ත නම අරවින්ද දොඹගහවත්ත යන නමට වඩා මට කතා කළේ චරිතවල නාමයන්ගෙන්. මම රංගනයෙන් දායක වුණු ‘දේවි’ නිර්මාණයේ ‘ජයතු බණ්ඩාර’ නම තවමත් ප්‍රේක්ෂක හිත් තුළ තියෙනවා. ඒ  වගේම ‘වැහිලිහිණි’ නිර්මාණයේ ‘සුද්දා’, ‘සුදුයි උසයි’ නිර්මාණයේ ‘තාරුක’, ‘පිච්ච මල සුවදයි’ හි ‘මිත්‍රපාල’, ‘කැලෑ හඳේ’ ‘ජෝන් ජයපාල’ වගේ ඒ ඒ නාමයන්ගෙන් තමයි මාව ආමන්ත්‍රණය කරන්නෙ. මම හිතන්නෙ ඒක තමයි රංගන ශිල්පියෙක් වුණාම විය යුතු දේ. මොකද නළුවා කියන කෙනා නාමයක් වෙන්නනම් මිනිසුන්ට මතක් වෙන්න ඕනෑ රංගනයේ යෙදුණු චරිත. කෙනකුට පුද්ගල නාමයෙන් ප්‍රසිද්ධ වීම කියන දේ ඕනෑම ආකාරයෙන් කරගන්න පුළුවන්. නමුත් තමන් කරන හොඳ දෙයකින් වැදගත් නිර්මාණයකින් ප්‍රසිද්ධ වෙනවා කියන්නෙ අපි කරන වැඩ කටයුත්ත ඉතා සාර්ථකයි කියන දේ.

ඉතින් මේ හැමදේමත් එක්ක මම හිතනවා කෙනෙක් මාව රූපයෙන් හෝ නමින් හඳුනනවට වඩා මාව දැක්ක ගමන් රඟපෑ චරිතයක් හරහා ආමන්ත්‍රණය කරනවා නම් ඒක තමයි මේ ආ ගමන් මගේ ලොකුම සාර්ථකත්වය. ඉතින් මම යම් දුරකට අද වෙද්දි ඒ සාර්ථකත්වය කරා ඇවිල්ල තියෙනව. ඒ නිසා මේ සියල්ල ගැනම අද වෙද්දි මම ගොඩක් තෘප්තිමත්.

මීට පෙර අරවින්ද කොයි වගේ සම්මානවලටද පාත්‍රවෙලා තියෙන්නෙ?

රංගන ශිල්පියෙක් විදියට පාසල් වේදිකාවෙ පටන් මේ වෙද්දි සම්මාන 28කට ආසන්න සංඛ්‍යාවක් ලබාගෙන තියෙනවා. පළාත්, අන්තර් පළාත්, කලාප, සමස්ත ලංකා සහ ටවර් හෝල් සම්මාන රැසක්ම. පාසල් කාලේ 1998 වසරේ ටවර් හෝල් සහය නළුවාත්, එම වසරේම සමස්ත ලංකා සහය නළුවාත් වුණා. ඒ වගේම ‘සිඟාල පුරෝහිත’ නාට්‍යය වෙනුවෙන් වයඹ පළාතේ හොඳම නළුවාට හිමි සම්මානය ලැබුණා. පසුව 2006 වසරේ සමස්ත ලංකා හොඳම නළුවාත්, 2007 වසරේ කලාප සහ අන්තර් පළාත් හොඳම නළුවා සම්මානයත් ලබාගත්තා.  ඉන් පසුව 2008 වසරේ නැවත ටවර් හෝල් ආයතනය මගින් සම්මාන ලැබුවා. ඒ විදියට තමයි සම්මාන කිහිපයකට පාත්‍රවෙන්න මට අවස්ථාව ලැබුණෙ.

ඒ කියන්නෙ කලාව කියන දේ පුංචි කාලෙ ඉඳන්ම අරගෙන එන දෙයක්?

ඔව් අනිවාර් යෙන්ම. මම කොහොමත් කලාවට, රංගනයට පුංචි කාලෙ ඉඳන් ගොඩක් කැමතියි සහ ආදරෙයි. පළමු වසරෙ සිටම තමයි රංගනයෙ යෙදෙන්නෙ.

පුංචි කාලෙ ඉඳන් අරගෙන එන කලා දක්ෂතා එක්ක මේ වෙද්දි අරවින්ද කලා ක්ෂේත්‍රයේ විවිධාකාර අංශවලට නැඹුරුවෙලා ඉන්නවනෙ. මේ හැමදේම එක්ක ඉදිරි සැලසුම් මොනවද?

ලංකාවෙ ටෙලිනාට්‍ය හෝ චිත්‍රපට නිෂ්පාදන කලාව තුළ ගොඩක් වෙලාවට අපි දකිනවා සමාජීය උකටලී ස්වාභාවයක්. ඒ කියන්නෙ ප්‍රේක්ෂකයා ලංකාවෙ නිර්මාණ කෙරෙහි එතරම් පැහැදීමක් නැති බවක්. ඒ ඔවුන්ට බලන්න දැනෙන නිර්මාණ හැදෙන්නෙ නැති නිසා.

නමුත් ප්‍රේක්ෂකයො කලාවෙන් අයින් වෙලා නැහැ. හොඳ රසඥතාවක් තියෙන නිර්මාණ විකාශය වෙනව නම් ඔවුන් ඒ නිර්මාණ එක්ක එකතු වෙලා ඉන්නවා. විශේෂයෙන් කියන්න ඕනෑ මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘පිච්ච මල සුවඳයි’ ටෙලිනාට්‍ය අපේ නිෂ්පාදනයක්. ඒ කියන්නෙ බොනාරෝ ආයතනයේ නිෂ්පාදනයක්. ඒ වෙනුවෙන් රංගනයෙනුත් මම දායක වෙලා ඉන්නවා. ඉතින් අද වෙද්දි අපේ මේ නිර්මාණයට වැඩිම රේටින්ස් ලැබිලා තියෙන්නෙ. ඒක තනිකර අපිටම අදාළ වෙන ගෞරවයක් නෙමෙයි. මේ වෙනුවෙන් වැඩ කරන සියලුම දෙනාගේ මහන්සියෙ ප්‍රතිඵලයක්. ඒ තුළින් අපි නිගමනය කරන්න ඕනෑ ප්‍රේක්ෂකයාගේ රසඥතාවයෙ අඩුවක් හෝ ප්‍රේක්ෂකයා කලාවෙන් ඉවත්වීමක් නෙමෙයි සිදුවෙලා තියෙන්නෙ. ප්‍රේක්ෂක රසඥතාවට ගැළපෙන අයුරින් ලංකාව තුළ නිර්මාණ බිහි නොවීමයි ප්‍රශ්නය වෙලා තියෙන්නෙ. මේ හැමදේම වෙනුවෙන් අපේ අධ්‍යක්ෂ කණ්ඩායම සහ අපේ කාර්ය මණ්ඩලය එකතු වෙලා ඉදිරියේදි සාකච්ඡා කරගෙන  යනවා මේ ප්‍රේක්ෂක රසඥතාවට ඇවැසි ලෙස ලංකාව තුළ නිර්මාණ බිහිවිය යුත්තේ කොහොමද? ඒවා කිනම් ආකල්පවලින් යුතු විය යුතුද? කියන දේ පිළිබඳ. සංස්කෘතික නිර්මාණයක් කරද්දි නව තාක්ෂණය එකතු කරගෙන ඒ නිර්මාණය කළහොත් ඒ තුළ නැවුම් මුහුණුවරක් ප්‍රේක්ෂකයාට දෙන්න පුළුවන්. ඉතින් අපි තීරණය කරලා තියෙනවා ඉදිරියේදී ඉතා විශිෂ්ට  ගණයේ කෘති ඇසුරින් හෝ ස්වතන්ත්‍ර හෝ පරිවර්තන ඇසුරින් ශ්‍රී ලාංකීය ජනතාවට දිය හැකි උපරිම කලා රසවින්දනයන් හරවත් ආකාරයට ලබාදෙන්න. ඒවා තමයි කලාව තුළ තියෙන ලොකුම සැලසුම.

 මේ බලාපොරොත්තු හැමදේම එක්ක ගෙවන ජීවිතේ කොහොමද?

ඕනෑම ජීවිතයක් සරල සුන්දරව ගලාගෙන යනවා කියලා මම කියන්නෙ නැහැ. අපේ ජීවිතවල හැලහැප්පීම්, බාධා දුක් කම්කටොළු, සමාජයෙන් එන බාධා ඇතුළු විවිධ දේවල් තියෙනවා. නමුත් ඒ සියල්ල අපේ අරමුණ කරා යෑම සඳහා මෙහෙයවීම තමයි තියෙන්නෙ ඕනෑ දක්ෂතාවය. ඒ තුළ තමයි ජීවිතේ සුන්දරත්වය මම දකින්නෙ.

ධනු විජේරත්න / ඡායාරූප: ධම්මික පතිරත්න