හමු නොවූ පෙම්බරෙක් හැම ගැහැනියකගේම හිතේ ඉන්නවා
Q සැබෑ ලෝකයේදී කෙදිනකවත් හමු නොවන තාක් ගැහැනියකගේ සිහින ලෝකයේ සැරිසරන පෙම්බරා ප්‍රේමණීයයි. දිනෙත් ඔබේ නිර්වචනය තුළ පෙම්බරා ගැන මට කියන්න?
මම විශ්වාස කරනවා හැම ගැහැනියකගේම සිත තුළ කවදාවත් ඇයට හමු නොවන පෙම්බරා කෙනෙක් ජීවත් වෙනවා. ඒ ප්‍රේමණීය පෙම්බරා තමයි ඇගේ ප්‍රේමයේ සිහිනය. ඇගේ හිත ඉල්ලන ආදරය ඒ පෙම්බරා. පෙම්බරා ඇගේ සොඳුරැතම සිහිනය සහ ප්‍රේමය වෙන්නෙ කවදාවත් හැබෑ ලෝකෙදි ඒ පෙම්බරා හමු නොවන නිසාමයි. හමුවන පිරිමියෙකුට ගැහැනියකගේ ලෝකයේ පෙම්බරා වෙන්න කවදාවත් බැහැ කියලා මට හිතෙනවා. මම විශ්වාස කරනවා. ඒ හිතුවිල්ල, ඒ විශ්වාසය එක්ක එකඟ වීම හෝ නොවීම කෙනෙක්ගෙ කැමැත්තක්.
Q හමුවෙන කෙනෙකුට ඇයි කවදාවත් බැරි ගැහැනියකගේ ලෝකය තුළ සදාතනිකව පෙම්බරා වෙන්න?
ආදරය හෝ ප්‍රේමය කියන මනෝභාවයන් ගත්තම ආදරය ආදරය විතරක්ම වෙන තැනදි, ප්‍රේමය ප්‍රේමය විතරක්ම වෙන තැනදි ඒ සංකල්ප හරි සෞන්දර්යාත්මකයි. එහෙත් ආදරය, සෙනෙහස, ප්‍රේමය බැඳීමක් බවට පත්වුණාම යුතුකම්, වගකීම්, ගනුදෙනු එක්ක ආදරය, ප්‍රේමය භෞතිකව මුහුවෙන්න ගත්තම ප්‍රේමයේ චමත්කාරය තිබිය යුතු වර්ණයෙන්ම පවතිනවාද කියන එක හිතන්න. මම හිතන්නෙ නොරිදවන තැනක් නැති ප්‍රේමයක් ලෝකෙ කවදාවත් කාටවත් හමුවෙලා නැතුව ඇති. ඉතින් එතකොට පෙම්බරා ඔබ කියූ විදිහට ප්‍රේමණීය පෙම්බරා වෙන්නෙත් ඇගේ හීන ලෝකයේ ඇයට ඇත්තටම හමු නොවන තැනක හිඳිද්දි නෙවෙයිද?
Q ප්‍රේමයේ චමත්කාරය ගැන ඔබ කියනවා. ප්‍රේමයේ චමත්කාරය දිනෙත්ගෙ නිර්වචනය තුළ අර්ථගැන්වෙන හැටි මට කියන්න?
මේ ලෝකේ තියෙන හැම සෞන්දර්යක්ම එක්වෙන තැන නිමවෙන්නෙ චමත්කාරය නම්, ආදරයත් ප්‍රේමයත් ආදරය සහ ප්‍රේමය විදිහටම හමුවෙන තැන ඒ හැඟීම් ගැඹුරේ තියෙන්නෙ මේ ලෝකේ තියෙන හැම සෞන්දර්යක්ම කියලා මට හිතෙනවා.
Q පිරිමියෙකුගේ ලෝකයේත් පෙම්බරාවියක් ඉන්නවද ඔහුට කවදාවත් හැබෑ ලෝකයේදී හමු නොවෙන?
ඔව්. ගැහැනියකගේ ලෝකයේ ඉන්නවා වගේම පෙම්බරාවියක් ඉන්නවා කියලා මට හිතෙනවා කිසිදා හමු නොවෙන සහ හමු නොවිය යුතු.
Q ඇයි ඇය හමු නොවිය යුතු?
හමුවුණු දාට ඇය පෙම්බරාවිය නොවෙයි.
Q කන්දක් සේ මා පෙම්බරා වෙන්න කවදා හරි දවසක දැකපු හීනයක් තිබුණද?
ඇයි ඔබ මගෙන් ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවෙ කියලා මට හිතෙනවා. ඇත්තටම එහෙම හීනයක් මම දැකපු නිසා මට එහෙම හිතෙනවා. කන්දක් සේ මා නවකතාව කියවද්දි කවදා හරි දවසක මට ඒ පෙම්බරාගේ චරිතය මගේ සිනමා ජීවිතය තුළ රඟපාන්න තියෙනවා නම් කියලා ඒ පොත කියවද්දි මට හිතුණා. ඊට හුඟාක් කාලෙකට පස්සෙ ඒ පොතෙන් ඉපදුණු අශෝක අතාවුද හෙට්ටි අධ්‍යක්ෂණය කළ කන්දක් සේ මා චිත්‍රපටයේ පෙම්බරා වෙන්න මට පුළුවන් වුණා. ජීවිතයේ දකින සමහර හීන හීනවලින් ඇහැරෙනවා කියලා හිතුණු තැනක් තමයි ඒ.
Q හීන හීනවලින් ඇහැරිච්ච එහෙම තැන් තවත් තියෙනවද?
ඔව්. සයිමන් නවගත්තේගමගේ සංසාරණ්‍ය අසබඩ නවකතාව කියවද්දි මට හිතුණා අනේ මට ඒ ආගන්තුකයා වගේ චරිතයක් කරන්න පුළුවන් නම් කියලා. ඒ නවකතාව නිර්මාණයක් බවට පත්වෙද්දි එහි ආගන්තුකයා වෙන්න මට පුළුවන් වුණා.
Q කතා කරන්න වචන ඕනෑමද කියලා මට දැනිච්ච එක තැනක් තමයි කන්දක් සේ මා චිත්‍රපටයේ පෙම්බරාගේ රංගනය. ගැහැනියකගේ ආත්මීය ලෝකය තුළ සංසාර ආදර කතාවක් ලියන්න තරම් දිගු කතාබහක් ඔබ පෙම්බරාගේ චරිතය තුළදි කතා කරනවා. හැබැයි එක වචනයක්වත් නැතුව. ඔබ කතා කරන්නෙ ඇස් දෙකෙන්, තොල් දෙකෙන්, කම්මුල්වලින්. හරියට ඒ මුහුණ කැඩපතක් විතරක් නෙවෙයි, පුදුමාකාර වර්ණ සම්මිශ්‍රණයක් එක් වෙච්ච චිත්‍රයක් වගේ. කොහොමද මේ තරම් පුදුම විදිහට ඔබ දිනෙත් නොවී පෙම්බරාම වුණේ?
පෙම්බරා තුළත් ප්‍රේක්ෂකයාට දිනෙත්ව අමතක වුණා නම් දිනෙත්ව මඟහැරෙනවා නම් දිනෙත් දිනෙත් නොවෙනවා නම් මම එතෙන්දි පෙම්බරාම වෙච්ච බවට තියෙන ප්‍රබලම සාක්ෂිය තමයි ඒ. රංගනය කියන්නෙ රඟපෑමට නෙවෙයි. ඒ චරිතය ඇතුළෙ ගන්න පුළුවන් ගැඹුරැම හුස්මක් අරගෙන ජීවත්වෙන එක. මට මාව අමතක වුණා වගේම ප්‍රේක්ෂකයටත් මාව අමතක විය යුතුයි. අමතක නොවෙන මතකයක් වෙන්න පුළුවන් ඒ අමතක කිරීම සහ අමතක වීම තුළින් පමණයි.
Q ශ්‍රී ලංකාවේ හොඳම නිරූපණ ශිල්පීන් අතළොස්ස අතරේ කෙනෙක් වෙන්න ඔබට පුළුවන් වුණා. සැබැවින්ම ඔබ අති දක්ෂ සහ නිරූපණ ශිල්පියෙක් සතු වටිනාකම මැනවින් රුකගත් නිරූපණ ශිල්පියෙක් විදිහට ප්‍රශංසාව ලබන කෙනෙක්. ඒ තැන කොහොමද නිර්මාණය කර ගත්තෙ?
මූලිකම දේ කැපවීම සහ ක්ෂේත්රය ගැන අවබෝධය. වැදගත්ම දේත් එයයි. නිරූපණ ශිල්පය කියන්නෙ එක කලාවක්. සිනමාව කියන්නෙ තවත් කලාවක්. මම කවදාවත් ඒ දෙක පටලගත්තෙ නැහැ. ඒ වගේම නිරූපණ ශිල්පියෙක් විදිහට නිරූපණයේදි අපි අඳින ලක්ෂ ගාණක් වටිනා ඇඳුම් පරිස්සම් කිරීමත් මම හැමදාම හරි වගකීමකින් කරපු දෙයක්. ඒවා අනුන්ගේ කියන එක කවදාවත් මට හිතුණෙ නැහැ. නිවැරදිව යම් තැනක කටයුතු කරනවා නම් ඒ නිවැරදි බව වෙනුවෙන් ලැබෙන දේවල් හරි සුන්දර දේවල්. මම මගේ හෘද සාක්ෂිය විශ්වාස කරන හෘද සාක්ෂියත් එක්ක හුස්මක් ගන්න මිනිහෙක්.
Q රංගනය කියන්නෙ සුන්දර භාවනාවක්ද කියලා හිතන්නට ඉඩ හදන මට හමුවුණු රංගන ශිල්පීන් අතර ඔබත් එක් රංගන ශිල්පියෙක්. ඇත්තටම ඒ රංගනමය භාවනාවට ඔබ සමවැදෙන්නෙ කොහොමද?
ඒක භාවනාවක් තමා. ඇත්තටම ඒක සරල භාවනාවක් නෙවෙයි, සංකීර්ණ භාවනාවක්. බෞද්ධ දර්ශනය ගත්තත් ප්රබලතම කාරණාව තමයි සිත කියන්නෙ. දෙවැනියට ප්රබලතම කාරණාව තමයි සන්නිවේදනය කියන්නෙ. භෞතිකව යම් චරිතයක ස්වරූප සන්නිවේදනය කරන්න නම් පළමුව මනසින් එය දැකිය යුතුයි. මනසින් ඒ හා ඒකාත්මික විය යුතුයි. ඒ මනසෙ පිළිබිඹුවක් තමයි ඊටපස්සෙ භෞතිකව අපි තුළින් තවත් චරිතයක් ඔස්සේ දිගහැරෙන්නෙ. මනසින් ඒ භාවනාවට සමවැදෙන්න බැරි තැන රංගනය කියන්නෙ ස්වභාවික දෙයක් නෙවෙයි. හරි කෘත්‍රීම දෙයක්.
Q කන්දක් සේ මා සිනමා සිත්තම නූපා ගැන සංවේදී මතකයන් හැරැණාම මගේ සිතේ ප්‍රබලම තැනක් හිමිකර ගත්තෙ හිම ඉහිරිච්ච, දකිද්දිත් හරි සීතලයි කියලා දැනෙන උදෑසනක පාලමක් දිගේ දුවගෙන ඇවිත් පෙම්බරා නූපාව වැළඳගන්න ආදරණීය දසුන් මත මැවෙන ගීතයයි. දරාගන්න බැරි සීතලක දුහුල් සුදු පාට කමිසයක්. ඇත්තටම ආදරය ළඟදි ඕනෑම සීතලක් දරාගන්න පිරිමි පපුවකට පුළුවන් කියලද පෙම්බරා කියන්න හැදුවෙත් කියලා හිතෙනවා. සුමිත්‍රා රාහුබද්දට පෙම්බරා තුළින් කියවන්න ඕනෑ එක දෙයක් වුණේ ඒකද කියලත් හිතෙනවා. ඒ දර්ශනය සහ ඒ පෙම්බරා ගැන මතක දිගේ අපි ඇවිදිමු?
දුහුල් කමිසයකට කලිසමකට ගවුමකට ඔරොත්තු නොදෙන සීතලක් ඇයත් මමත් එදා දරාගත්තා. ඕනෑම සීතලක් ආදරය ළඟදි දරාගන්න, ඕනෑම උණුහුමක් ආදරය ළඟදි දරාගන්න ඇත්තටම පෙම්බරෙකුට පුළුවන් ඇති. පෙම්බරාවියකටත් පුළුවන් ඇති. හිතපු නැති තැනක මෙතෙන්දි ඔබ මාව නැවැත්තුවේ. ඒ දර්ශනය රූගත කළේ එදා ජපානේ ඉඳන් එන්න තිබුණු දවසෙ උදේ. ඒ පාලම දිගේ දුවගෙන එද්දි මාව පොඩ්ඩක් එකපාරටම යන්තම් ලිස්සුවා. ඒ ලිස්සිල්ල ලිස්සිලාම ගියා නම් මම පාලමෙන් එහා ගඟේ. ඈත ඉඳන් තමයි ඒ දර්ශනය රූගත කළේ. ඈත ඉඳන් ඇක්ෂන් කියලා කෑගහනවා යාන්තමින් තමයි ඇහුණෙ. මතක කොච්චර ලස්සනද කියලා ඒ දවස් මතක් වෙද්දි ආයෙත් හිතෙනවා.
Q දිනෙත් ද සිල්වා ගැන කතා කරන්න හැකි වෙතැයි බලාපොරොත්තු තැබිය හැකි සිනමා සිත්තම් ඉදිරියේදිත් නිසැකවම හමුවේවි. ඒ අපේ බලාපොරොත්තුවක්. කමක් නැද්ද මම එහෙම බලාපොරොත්තුවක් ප්‍රේක්ෂකයෙක් විදිහට තියාගත්තට?
කතා කරන්න හැකි වේවායි කියන බලාපොරොත්තුවෙන් තමා හැමදාමත් හැම චරිතයක් තුළම මම ජීවත් වුණේ. එන්නත් තියෙනවා රඟපෑ චිත්‍රපට. දැනට රඟපාන චිත්‍රපටත් තියෙනවා. රඟපාන්න ඇරයුම් ලැබුණු චිත්‍රපටත් තියෙනවා. මමත් ආසාවෙන් ඉන්නෙ ඒ හැම චරිතයක් එක්කම ප්‍රේක්ෂක ප්‍රතිචාරය ලැබෙන විදිහට විඳින්න. ආදරයෙන් ලැබුණත් අනාදරයෙන් ලැබුණත් ඒ මගේ ප්‍රේක්ෂකයන්. ඒ නිසා ඒ හැම ප්‍රතිචාරයක්ම මට එක වගේ වටිනවා.
I සංජීවිකා
සේයාරූ I සුමුදු හේවාපතිරණ