හේමාල් ලැබෙද්දි රෝස පාටින් ඇඳුම් මැහුවේ - හේමාල්ගේ උපන්දිනය දවසේ අම්මා කියන කතාව
ඊයේ අගෝස්තු 25 වැනිද. ඊයේ දවස ලංකාවේ සිනමාවට ටිකක් විශේෂ දවසක්. ඒකට හේතුව මෙරට සිනමාවේ කාලාන්තරයක් තිස්සේ තිබුණු අඩුපාඩුවක් වුණු "තරුවක" අඩුව පුරවපු එකම තරුව ඉපදුණේ අද වැනි දවසක. ඔහු නමින් හේමාල් සචීන්ද්ර රණසිංහ. අද ඔහුගේ තිස් නවවැනි උපන්දිනය.
ඔහුගේ මව වන විශාකා මැදිවක හේමාල් ඉපදුණු හැටි සහ ඔහුගේ කුඩා කාලයේ මතක ගැන පවසා තිබුණේ මෙසේයි.
“හේමාල්ව මට හම්බෙන්න අමාරු වෙද්දි ඇදිරි නීතිය දාලා තිබුණේ. කොහොමහරි අන්තිමටම එයාව හම්බෙන්න ඉස්පිරිතාලේ ගියේ පොලිස් ජීප් එකක.”
“මගේ දෙවෙනි පුතාගේ ඉඳලා මම දුවලා ගැන තමයි හිතුවේ. ලස්සන රෝස පාටින් මුළු කාමරයම සරසනවා. ඇඳුම් මහනවා. හේමාල් ලැබෙද්දිත් රෝස පාටින් ඇඳුම් මැහුවේ. ඒත් මට ලස්සන රෝස පාට දුවෙක් හම්බුණේ නෑ. හේමාල් හම්බුණාට පස්සෙ ඩොක්ටර් මට,
“මිසිස් රණසිංහ ඔයාට පුතාලා තුන්දෙනා ලස්සන දුවලා තුන්දෙනෙක් අරන් එයි. ඒ නිසා දුක්වෙන්න එපා”
“හේමාල් පොඩි කාලේ ගොඩාක් දඟයි. අයියලා දෙන්නා එක්ක තමයි එයා හැම දඟවැඩක්ම කරන්නේ. හේමාල් පුටුවක ඉස්සරහින් කවදාවත් බහින්නේ නැහැ. වටෙන් ගිහින් උඩින් තමයි එයා බහින්නේ. දඟම දඟයි.”
“හේමාල්ට සැර කළාම හරි දුකයි. කිසිම දෙයක් එයාට දෙසැරයක් කියන්න ඕනෙත් නෑ. ඒ වගේම එයා බොරු කියන කෙනෙක් නෙමෙයි. තුන්දෙනා එකතුවෙලා මොනාහරි දෙයක් කළොත් හේමාල්ගෙන් තමයි ඇත්ත දැනගන්න පුළුවන්...”
"හේමාල් එයාගේ හැමදෙයක්ම මට කියනවා. මේ ගෙදර අම්මටයි, යාළුවටයි ඔක්කොටම ඉන්නේ මම. එයා මට තමයි ගොඩක් කිට්ටු. ළමයි ලොකු වෙද්දි අම්මලාගෙන් අෑත් වුණාට අදටත් මගේ ළමයි මට ගොඩක් කිට්ටුයි. හේමාලුත් එයාගේ පෙම්වතියෝ ගැන පවා මට කියනවා.”