හැමදේම දවසක නැතිවෙනවා කියලා මම දන්නවා - පියුමි ශ්‍රිනායක
Q මෙවර වෙසක් පුන් පොහොය දා පියුමි ආරාමයකට ධාතු මන්දිරයක් පූජා කළා. එවැනි අදහසක් මුලින්ම ඇතිවුණේ කොහොමද?
මගේ මල්ලි මීට වසර තුනකට පෙර හදිසි අනතුරකින් මිය ගියා. මල්ලිගේ වියෝව අදටත් මටවත්, අම්මටවත්, තාත්තටවත් දරාගන්න බැහැ. එයා නැති පාළුව කවදාවත් අපේ හිත්වලින් යන එකක් නැහැ. ඉතින් මල්ලි මිය යාමෙන් වසරකට පස්සේ මම අඩි හතරහමාරක ලොකු ධාතු කරඬුවක් අපේ ගමේ ආරාමයට පූජා කළා. ඒ වරාගොල්ල ශ්‍රී සංඝබෝධි ආරාමයටයි. කඳානේ විහාරයක භික්ෂූන් වහන්සේ නමක් මට ධාතූන් වහන්සේ නමක් ලබා දුන්නා. මම ඒ ධාතූන් වහන්සේ ඒ අඩි හතරහමාරක ධාතු කරඬුවේ තැන්පත් කරලා ආරාමයට පූජා කළා. අපේ ගම ටිකක් දුෂ්කරයි. ඒ නිසා ඒ ආරාමයේ ඊට පෙර ධාතු මන්දිරයක් තිබුණේ නැහැ. ඒ නිසාම කොහොම හරි ආරාමයේ ධාතු මන්දිරයක් හදන්න මම හිතා ගත්තා. ඒ වෙනුවෙන් ආරාමයේ මෙහෙණින් වහන්සේලාගෙන් මට ලොකු ආශිර්වාදයක් ලැබුණා. ඒ අනුව අපේ මල්ලි නැතිවෙලා තුන්වැනි අවුරුද්දේ පින්කමදා ඒ ධාතු මන්දිරය ආරාමයට පූජා කරන්න මටයි තාත්තාටයි පුළුවන් වුණා.
Q මේ ධාතු මන්දිරයේ බොහෝ වැඩ කටයුතු සිදු කළේ පියුමිගේ පියා නේද?
ඔව්... මගේ තාත්තා වෘත්තියෙන් වඩු වැඩ කළා. තාත්තට ඒ ශිල්පය හොඳට පිහිටලා තිබුණා. ඒ නිසා තාත්තගේ මූලිකත්වයෙන් මාස එකොළහක කාලයක් තුළ මේ ධාතු මන්දිරේ වැඩ අවසන් කරන්න පුළුවන් වුණා. ඒ වෙනුවෙන් ගමේ මිනිසුන් පුළුවන් විදියට ආධාර සහ උදව් උපකාර කළා. මේ වෙනුවෙන් මම වගේම තාත්තත් වියදම් කළා. ඉතින් මුළු ධාතු මන්දිරෙම තාත්තගේ මූලිකත්වයෙන් තමයි සිදුවුණේ. තාත්තට ලස්සනට වහළවල් ගහන්න පුළුවන්. ඒ වගේම බිත්ති ගොඩනගන්න, කපරාදු කරන්න පුළුවන්. ඉතින් තවත් කිහිප දෙනෙකුගේ උදව්වෙන් තාත්තා ඒ වැඩ ටික කළා. අපේ මල්ලිගේ තුන්වැනි අවුරුද්දෙ දානමය පින්කම වෙනුවෙන් වෙසක් පොහොය දා අපි මේ ධාතු මන්දිරය පූජා කළා.
Q මාස ගාණක ප්‍රතිඵලයක් ඒ විදිහට මල්ඵල දැරුවා. එවැනි පින්කමක් කර අවසානයේදී හිතට දැනුණේ මොන වගේ හැගීමක්ද?
අපේ මල්ලි හරිම පොඩි කාලයයි ජීවත් වුණේ. එයාගේ හොඳම තරුණ වයසේ දී එයාට ජීවිතය හැර යන්න සිදුවුණා. ඒ දුක අපෙන් කවදාවත් ඈත්වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ පින්කමක් අද අපේ අතින් සිදුවෙන්නෙත් මල්ලි නිසයි. මල්ලි නැතිවෙන්න කලින් ජීවිතේ යථාර්ථය ගැනවත්, පින් දහම් එහෙම ලොකුවට ගැඹුරින් කරන එක ගැනවත් මම ලොකුවට හිතපු කෙනෙක් නෙවෙයි. මල්ලි නැතිවුණේ අපිට ඒ ජීවිතේ යථාර්ථය සහ වටිනාකම තේරුම් කරලා දීලයි. අද අපි මල්ලි නිසාම පින් දහම්වලට වැඩිපුර නැඹුරුවෙලා තියෙනවා. අපි කරන පින්කම් වගේම අපිට ඒ වෙනුවෙන් ඒ ලැබෙන පිනත් අපි මල්ලිට අනුමෝදන් කරනවා.
Q අද වෙද්දි ඔයාට ආරාමයේ වෙසෙන මෙහෙණින් වහන්සේලාගේ ආශිර්වාදය හා ඒ ඇසුර නිරන්තරයෙන්ම ලැබෙනවා නේද?
ඔව්... මගේ ගම වරාගොල්ල. ඒ ගමේ ශ්‍රී සංඝබෝධි ආරාමයේ මම පොඩි කාලේ ඉඳන්ම මෙහෙණින් වහන්සේලා හිටියා. මම උන්වහන්සේලාව ආශ්‍රය කරලා අනුශාසනා ලබාගත්තා. කවදාහරි දවසක මමත් මෙහෙණින් වහන්සේ නමක් වේවිදෝ කියන සිතුවිල්ල මගේ යටි හිතේ වරින් වර ඇතිවෙනවා. ඒකට පින තියෙන්න ඕනෑ. ඒ පින මට තියෙනවද කියලා මම දන්නේ නැහැ. දැනටමත් මම ජීවිතේ කියන්නේ මොකක්ද කියලා තේරුම් අරගෙනයි ඉන්නේ. කොහොම වුණත් ස්වාමීන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා ආශ්‍රය කරලා, ඔවුන්ගේ අනුදැනුම ඇතිව ජීවත් වෙන්න මම කැමතියි.
Q ප්‍රේක්ෂකයන් දකින පියුමි කියන රංගන ශිල්පිනියට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක් සැබෑ ජීවිතයේ සිටින පියුමි තුළ ජීවත් වෙනවා. ඇත්තටම පියුමි ශ්‍රී නායක කියන්නේ කවුද?
රංගනය මගේ රුකියාවයි. පොඩි කාලේ ඉඳන්ම රඟපාලා නිළියක් වෙන්න මම ආසා කළා. මම නිළියක් වුණා. ඒ හැර මම වෙන රුකියාවක් කරන්න ඉගෙනගෙන නැහැ. කොහොමත් මම රුකියාව මගේ පෞද්ගලික ජීවිතය එක්ක පටලවා ගන්නේ නැහැ. මම සාමාන්‍ය ජීවිතයේ හරි වෙනස් කෙනෙක්. කොයි තරම් දේවල් පරිහරණය කළත්, සුඛෝපභෝගී නිවසක හිටියත්, යාන වාහන පාවිච්චි කළත්, ඒවා දවසක නැතිවෙන බව දැනගෙනයි මම හැමදේම කරන්නේ. මේ ඉන්න නිවස හෙට මට නැතිවුණොත් මම ඒක හිතින් අතහැරලා ඊළඟ අඩිය තියෙනවා. "අතහැරීම" මොකක්ද කියලා තේරුම් අරගෙන, ජීවිතයේ අාධ්‍යාත්මික පැත්ත පුරුදු කරගෙන මම ජීවත් වෙනවා. එහෙම නැතුව රෑප පෙට්ටිය බලලා අපිව මනින්න එපා.
Q අලුත් බැඳීමක් ඇති කරගන්න සූදානම් වෙනවා කියලයි ආරංචිය?
ඒක බොරු කතාවක්. හැමෝම දැන් මගෙන් ඒ ගැන අහනවා. ජීවිතයේ යථාර්ථය සහ ජීවිතය අවබෝධ කරගන්න නම් අපි ජීවිතය භුක්ති විඳලා තියෙන්න ඕනෑ. බුදුන් වහන්සේත් විවාහ වෙලා, දරුවෙක් ලබලා, හැමදේම අත්විඳලා ඒවායේ තියෙන ආදීනව තේරුම් අරගෙන තමයි බුදු බව ලැබුවේ. මමත් විවාහ වෙලා, ඒකේ තියෙන රහ විඳලා, ඒකෙ තියෙන කටුක බව විඳලා, දරුවන් ලබලා, ඒ සතුට සමහරවිට භුක්ති විඳීවි. ඒක මම හරියටම කියන්න දන්නේ නැහැ. සමහරවිට මමත් එතැනට යොමු වේවි. නැත්නම් මම තනිකඩව ඉඳීවි. ඒක මම තවම තීරණය කරලා නැහැ.
Q අද ගෙවන ජීවිතය ගැන මොකද හිතෙන්නේ?
පොඩි කාලේ ඉඳන් මම රංගනයට හරි කැමතියි. මගේ පළවෙනි ටෙලිනාට්‍ය සහ දෙවැනි ටෙලිනාට්‍ය සාර්ථක වුණේ නැහැ. මම මුලින්ම රඟපෑවේ "අරුමවන්තී" ටෙලිනාට්‍යයේ. ඒ වගේම "සඳ පිනි වැස්ස" දෙවැනි ටෙලිනාට්‍යයෙත් රඟපෑවා. ඒ දෙකම එතරම් සාර්ථක වුණේ නැහැ. ඒ ටෙලිනාට්‍ය බලලා, ඒ වැරදුණු තැන් හදාගෙන, ගුරුවරුන්ගේ ඉගෙනගෙන මම මේ තැනට ආවා. ඒ නිසා අද මම නිහතමානී සතුටක් ලබනවා.
දිශානි ජයමාලි