හැමදාම එකම විදිහට ඇහෙන සංගීතය වෙනස් කරන්න මම උත්සාහ කරනවා
මෙවර අපි කතා බහට එකතු කරගන්නේ තරුණ සංගීත ශිල්පියෙක්. ඔහු නමින් කෙවින් ආන්ජලෝ තමෙල්. බොහෝ දෙනෙකුට ඒ නම හුරු පුරුදු නැතුවත් ඇති. ෆ්ලැෂ් බෑක් සංගීත කණ්ඩායමේ නිත්‍ය කිබෝඩ් වාදන ශිල්පියා වන අරුණ තමල්ගේ පුත් කෙවින් කිව්වොත් නම් ඔහුව අද කවුරුත් අඳුනනවා.
කෙවින් කියන්නේ පොඩි කාලයකදී වැඩ ගොඩක් කළ තරුණ සංගීත අධ්යක්ෂවරයෙක්?
සංගීත අධ්යක්ෂවරයෙක් විදිහට මුලින්ම වැඩ කරන්න ගත්තේ මට වයස අවුරුදු 15දී. ඒ තාත්තාගේ හොඳම යාළුවෙක් වුණ හෙක්ටර් ඩයස්ගේ නිල්වන් මුහුදු තිරේ ගීතය රිමෙක් කරලා. ඊට කළිනුත් පොඩි පොඩි වැඩ කළා තාත්තාගේ. නිර්මාණයක් විදිහට පළවෙනියටම කරන්න ගත්තේ මේ ගීතය. ඒ තමා මගේ සංගීත දිවියේ ආරම්භය කිව්වොත් හරි.
කොහොමද මේ වැඩේ කෙවින්ට හම්බ වුණේ?
ඒක නම් අහම්බෙන් වුණ සිදුවීමක්. දවසක් තාත්තාගේ වැඩකට හෙක්ටර් ඩයස් අපේ ගෙදරට ආවා. තාත්තා මාව ඔහුට අඳුන්වලා දුන්නා පුතාත් දැන් පොඩි පොඩි වැඩ කරනවා. කියලා. ඊට පස්සේ හෙක්ටර් ඩයස් යන කොට මාව මුණ ගැහිලා කිව්වා මගේ අලුත් වැඩක් තියෙනවා කරමුද කියලා. ඊට පස්සේ තමයි නිල් වන් මුහුදු තිරේ ගීතය මා අතින් නිර්මාණය වුණේ.
මේ වැඩෙන් පස්සේ කෙවින්ට තව වැඩ හම්බ වුණාද..
හිතාගන්න බැරි විදිහට වැඩ හම්බ වුණා. අදටත් මම ලංකාවේ ජනප්‍රිය ගායක, ගායිකාවන් කිහිප දෙනෙකුගේ වැඩ කරමින් සිටිනවා. මා අනිත් නිර්මාණය වුණ ශානිකා මධුමාලිගේ ගීතයක්, රුවන් හෙට්ටිආරච්චිගේ ගීත දෙකක්. ෆ්ලැෂ් බැක් නායක රොෂාන් ප්‍රනාන්දුගේ ගීත තුනක් ඉදිරියට නිකුත් වෙන්න තියෙනවා. ඊට අමතරව ක්ෂේත්රයට අලුතින් සම්බන්ධ වුණ කිහිප දෙනෙකුගේ නිර්මාණ කිහිපයකුත් මා අතින් දැනට නිර්මාණය වෙලා තියෙනවා.
කෙවින් කියන්නේ දැන් චිත්‍රපට සංගීත අධ්යක්ෂවරයෙක්..
මගේ වයසත් එකක් ගත්තොත් ඒක මගේ සංගීත දිවියේ ලබපු ලොකුම ජයග්‍රහණයක් කියලා කියන්න පුළුවන්. ශ්‍යාම් ප්‍රනාන්දුගේ සන්කරම් කියන චිත්‍රපටයේ තමයි මම සංගීත අධ්‍යක්ෂණය කළේ. මේ චිත්‍රපටය මේ වසරේදි නිකුත් වේවි කියලා හිතනවා. නිපුනි හේරත්, මියුරු සෝමරත්න ඇතුළු කිහිප දෙනෙක් ගායනා කරපු ගීත තුනක් මේ චිත්‍රපටයේ මා අතින් නිර්මාණය වුණා.
තරුණයෙක් විදිහට මොනවද ඔබගේ සැළසුම්..
ගොඩක් වෙලාවට අපිට අද ඇහෙන්නේ එකම විදිහේ සංගීත රසයක්. මම කැමතියි ඒ රසය වෙනස් කරන්න. මම ගොඩක් වෙලාවට ඉන්දීයන් සංගීතය අහනවා. බටහිර සංගීතයත් ඒ වගේ තමා. මම හිතාගෙන ඉන්නවා මේ සංගීත රාටා අපේ දේශිය සංගීතයට මුසු කරලා අලුත්ම විදිහේ නිර්මාණ බිහි කරන්න. මම විශ්වාස කරනවා මේක දේශිය සංගීතය රසවිඳින අපි හැමෝටම අලුත්ම අත්දැකිමක් වේවි කියලා.
ඔබ දැනටත් සංගීතය ගැන හදාරණ කෙනෙක්..
මට මේ අභාෂය ලැබුණේ මගේ තාත්තාගෙන් කිව්වොත් හරි. මම පාසල් ගියේ වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලයට. එහිදි රියන්සි ගුරුතුමා ලබා දුන්න ගුරුහරුකම් මතක් කළ යුතුයි. ඊට අමතරව සුමේධ ඇතුළු ගුරුවරුන් සියලු දෙනාමත් මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනා. වැන්සස් හා ශ්‍රීයානි ගුරු මහත්ම යුවළ දරුවෙක් වගේ මට ඔවුන් සතු සංගීත දැනුම ලබාදුන්නා. තව මතක් කළ යුතුයි පියෝනා වාදනය උගන්වපු හිරුණි හා ගිටාර් වාදනය උගන්වපු තිළිණි ගුරුවරුන් දෙදෙනාව. සන්කරම් චිත්‍රපටයේ වැඩ කරද්දි මුණ ගැසුණ ශෂික රුවන් මාරසිංහ වගේම රේකොඩින් මික්සින් වැඩ මට උගන්වපු චන්දන වල්පොලත් මතක් කර සිටිනවා.
බුද්ධික සේනාධීර