හොඳ ඉල්ලුමක් තියෙනවා.මට වැඩිපුරම ආරාධනා ලැබෙන්නේ විදෙස් ප්‍රසංග වලින්
ශ්‍රී ලාංකීය සංගීත කලාවට ජාත්‍යන්තර සංගීතය ස්පර්ශ කරමින් නව මානයන් සොයා යන ඇය උමාරා සිංහවංශ මෙරට සංගීත ක්ෂේත්රයේ අති දක්ෂ සංගීතවේදිනියක වගේම දක්ෂ ගායිකාවකි. ගායන භූමිකාවට අමතරව තමා සතු දැනුම මතු පරපුරට ලබා දෙන්නට වෙර දරණ ඇය ලාංකීය සංගීත ක්ෂේත්රය තුල අනාගතයට පාර කියමින් නව පිටුවක් පෙරළන්නට ලක ලෑස්ති වෙන මොහොතක උමාරා ONE MICප්‍රසංගය ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැනයි මේ කතාබහ.
උමාරා මොකද්ද මේ ලක ලෑස්ති වෙන වැඩේ?
මේ දවස් ටික නම් ඉතාම කාර්යබහුල කාලයක්.අපි ලක ලෑස්ති වෙන්නේ මගේ උමාරා මියුසික් ස්ටූඩියෝ ඇකඩමි එකේ හැම අවුරුද්දෙම වාර්ෂිකව පැවැත්වෙන ONE MICප්‍රසංගයට.මේ පාර අපි ප්‍රසංගය පවත්වන්නේ තුන්වෙනි වතාවට.ඇකඩමි එකේ දරුදැරියෝ එක්ක මේ ටිකේම මහන්සි වෙන්නේ ඒ වෙනුවෙන්.ඒ සංගීත රාත්‍රීය විචිත්‍රවත් රාත්‍රියක් වේවි කියලා හිතනවා.
ඒ රාත්‍රීය කවදද? කොහෙදිද?
අපි මේ ප්‍රසංගය පවත්වන්නේ ජුනි මස 21 වැනිදා BMICH හි ලෝටස් ශාලාවේදී සවස 7 ට.
මොකද්ද මෙවර ONE MIC ප්‍රසංගයේ විශේෂත්වය?
මගේ සංගීත පාසලට ඇතුලත් වෙන හැම දරුවෙකුටම පාඨමාලාව අවසානයේ විභාගයක් තියෙනවා.ඒ වගේම ප්‍රායෝගික පුහුණුවක් තියෙනවා.ඒ දෙකම සාර්ථකව අවසන් කරපු දරු දැරියන්ට පසුගිය වසරවල් වලට වඩා මේ වසරේ graduation ceremony එක පවත්වනවා.ඉන් පසුව තමයි ප්‍රසංගය පැවැත්වෙන්නේ.ඒ වගේම මුල සිටම මගේ මියුසික් ස්ටූඩියෝ එකෙන් ඉගෙන ගත්ත අයටත් convocation එකක් පවත්වන්නත් සුදානම් වෙනවා.විශේෂම දේ තමයි පාඨමාලාවේ හොඳට පුහුණුවීම් කරපු, හොඳ හඩක් තියෙන දක්ෂ දරු දැරියන්ට ONE MIC ප්‍රසංගයේ ගීත ගයන්නත් අවස්ථාව ලැබෙනවා.
ඒ රාත්‍රියට ගායන තරුත් පායනවද?
ඔව්. මේ ප්‍රසංගයට ප්‍රවීණ ගායන ශිල්පීන් කිහිප දෙනෙක්ම එකතු වෙනවා.මීට පෙර ප්‍රසංගය පැවති අවස්ථා දෙකේදිත් ලංකාවේ සංගීත ක්ෂෙත්රයේ ඉන්න දැවැන්තයින් සහභාගී වුණා.මෙවරත් සුවිශේෂී කලා ශිල්පීන් කිහිප දෙනෙකුට ගීත ගයන්න අපි ආරාධනා කරලා තියෙනවා.මෙතුන්,රිද්ම වීරවර්ධන,ෆැලන් ඇන්ඩ්‍රියා,දිනේශ් ගමගේ,කයිසර් කයිස්,ඒ වගේම තමයි අපි මෙවර ප්‍රසංගය පවත්වන්නේ FREEZE සංගිත කණ්ඩායම සමඟ.
මෙවැනි ප්‍රසංගයක් පවත්වන්න හිතුවේ ඇයි?
අපේ රටේ ඉන්නවා සංගීතයට අති දක්ෂතා තියෙන දරුවෝ.ඒ සමහර දක්ෂතා දැක්කම පුදුම හිතෙනවා.ලංකාවේ දරු දරියන්ගේ කටහඩවල් ගත්තාම සුවිශේෂී හඩවල් අපිට මුණගැහෙනවා..මට ඕන වුනා ඒ දරුවන්ට හොඳ වේදිකාවක් හදලා දෙන්න.ඒකයි මම මගේ මියුසික් ඇකඩමි එක හරහා මේ වගේ ප්‍රසංගයක් පවත්වන්න හිතුවේ. ශ්‍රී ලංකාවේ ඉන්න සංගීත ක්ෂේත්රයේ සියළු දෙනාටම අපේ රටේ දරුවන්ගේ දක්ෂතා දැකගන්න සහ ඒ දරුවන්ගේ දක්ෂතා පෙන්වන්න වේදිකාවක් හදලා දෙන්න පුළුවන් වුන එක ගැන ඇත්තටම මම අද සතුටු වෙනවා.ඔවුන්ව මේ සංගීත ක්ෂේත්රයට හඳුන්වා දීමේ කටයුත්තක් විදිහට තමයි මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ.
කොහොමද මියුසික් ස්කූල් එකේ වැඩකටයුතු?
ගායිකාවක් විදිහට ඉතාමත්ම කාර්යබහුලයි.ඒත් මම මේ දරුවන් වෙනුවෙන් කාලය යොදවන්නේ හරිම සතුටෙන් සහ ආදරයෙන්. උමාරා මියුසික් පංතිය එක මං පටන් ගත්තේ 2017 දී.ලංකාවට ආවට පස්සේ .මම ගෙදර තමයි මුලින්ම කටහඩ පුහුණු පන්ති පුංචියට පටන් ගත්තේ.ටික දවසක් යද්දි ඉගෙන ගන්න එන දරුවෝ සංඛ්‍යාව වැඩි වුණා.ඒකත් එක්ක 2017 තමයි මං මියුසික් ඇකඩමි එක ආරම්භ කරන්නේ.මේ හරහා මම කරන්නේ සංගීත ක්ෂේත්රයට එන්න ඉන්න දුවලා පුතාලට ඉඩක් හදලා දෙන එක.
විශේෂයෙන් රියැලටි තරඟ වල ඉන්නවා මගේ පුහුණු පාසලේ දරු දැරියන් ඒ ගැන මං ගොඩාක් ආඩම්බර වෙනවා.
කලා කටයුතු පැත්තෙන් අලුතින් ගීත නිර්මාණය වුනේ නැද්ද?
අලුතින් නිර්මාණ කිහිපයක් කළා සහ ඉදිරියටත් නිර්මාණ කිහිපයක් එන්න තියෙනවා.ONE MIC වේදිකාවෙදිත් මගේ අලුත් ගීත දෙකක් එළිදක්වන්න ලෑස්ති කරලා තියෙනවා.එදිනට එළිදක්වන ගීත අතර මම ඩැඩී සංගීත කණ්ඩායමත් එකතුවෙන් කරපු ගීතය සුවීශේෂයි.ඒත් එක්කම තව සර්ප්‍රයිස් කිහිපයක්ම එදාට දැකගන්න ලැබේවි.
මේ දවස් වල උමාරට ප්‍රසංග වේදිකාවේ ඉල්ලුම කොහොමද?
අමාරු කාල සීමා තිබුනා.හැබැයි දැන් ඒ හැම දේම සාමාන්‍ය අතට පත්වෙමින් ප්‍රසංග කටයුතු සංවිධානය වෙනවා.ඔව් හොඳ ඉල්ලුමක් තියෙනවා.මට වැඩිපුරම ආරාධනා ලැබෙන්නේ විදෙස් ප්‍රසංග වලින්. ඒ ගැන නම් සතුටුදායක මට්ටමක ඉන්නවා සහ මම හරි වාසනාවන්තයි කියලත් හිතෙනවා.
කණ්ඩායමක් විදිහට සංගීත ක්ෂේත්රයට ආපු උමාරා ස්වාධීනව තමන්ගේම කියලා ගමනක් ඇරඹීම ගැන අද මොකද හිතෙන්නේ?
ඇත්තටම මම ස්වාධීනව ආපු ගමන ගැන ගොඩක් ආඩම්බරයි.ලංකාවාසී සියළු දෙනාටම මාව හඳුන්වලා දුන්නේ භාතිය සන්තුෂ් දෙපළ සහ අශාන්ති රන්දීර් ඒ සියලු දෙනාටම හැමදාමත් මම ස්තූති කරනවා මොකද එයාලා මුණ නොගැසෙන්න සමහර විට අද උමාරා කියලා කෙනෙක් සංගීත ක්ෂේත්රයේ නොයිදින්න තිබුනා.ඒ කණ්ඩායම තුලින් මට ආපු ආත්ම විශ්වාසය සහ ඒ ඉගෙනුම නිසා තමයි මම ස්වාධීනව සංගීත ලෝකේ ගමනක් ආවේ.මේ ආපු ගමන සුන්දර නැහැ අභියෝග රැසකට මුහුණ දීගෙන ආපු ගමනක් මේක.හැබැයි කිසිම අභියෝගයකදි මම මගේ ගමන අත්හැරියේ නෑ.මම බටහිර සංගීතය ඉගෙන ගත්ත කෙනෙක් විදිහට මට ආපු ලොකුම අභියෝගය තමයි සිංහල මාධ්‍යයට ගීත ගයන එක.ඒත් මොකද්දෝ වාසනාවකට මගේ රසික රසිකාවියෝ මගේ ගීත වැලඳ ගත්තා.ඇත්තටම ඒක පෙර කරපු පිනක් කියලා හිතනවා.
ඉස්සර වගේ දැන් උමාරා උමාරියා එකම වේදිකාවක වැඩිය පේන්න නැත්තේ ඇයි?
එකක් අපි දෙන්නම මේ දවස් වල ස්වාධීනව වැඩ කරගෙන යන හන්දා.නංගි ත් එයාගේ ගමනත් එක්ක කාර්ය බහුලයි.මාත් මගේ වැඩ කටයුතු ත් එක්ක කාර්ය බහුලයි.අනිත් එක මම ලංකාවේ ඉන්නකොට නංගි නෑ.ඒකකෝ නංගි ලංකාවේ ඉන්න කොට මම නැහැ.ඒ නිසා හුඟ කාලෙකින් මටත් නංගිව මුණගැහිලා නැහැ.නමුත් අනාගතයේදි අපි දෙන්නාගේ කාර්යබහුලත්වය අඩු වුනාම වෙනස් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා.
හතු පිපෙනවා වගේ රියැලටි වලින් එන ගායක ගායිකාවන්ට පැවැත්මක් නැත්තේ ඇයි? ඔබ දකින විදිහට පැවැත්ම තියෙන්නේ කොතැනද?
කෙනෙකුගේ පැවැත්මක් රඳා පවතින්නේ ඒ එන රියැලටි තරඟයෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ කොහොමද කියන එක අනුව.රියැලටි තරඟ වලට එන ගොඩාක් දරැවෝ හිතනවා ඒ තරඟයට ගියාට පස්සේ එයාලා දිනලා ඉවරයි කියලා.හැබැයි එතන තමයි පටන් ගැන්ම තියෙන්නේ. ගායකයෙක් ගායිකාවක් විදිහට නම හදාගන්න අවස්ථාවක් පමණයි රියැලටියකින් ලැබෙන්නේ.එතනින් එහාට දිගු කාලීන පැවැත්මක් හදාගන්න නම් රියැලටිය අවසානයේදී තමයි තමන්ගේ උත්සාහය සියයට දෙසියක් තියෙන්න ඕන.
මේ ගමනට ගෙදරින් ලැබෙන සවිය කොහොමද?
මගේ දෙමාපියන් අයියලා දෙන්නා නංගි මේ ගමන එන්න මට ලොකු සහයෝගයක් දුන්නා.ඒ වගේම ගමන පටන් ගත් දා සිට සියයට සියයක්ම සැමියාගෙන් ලැබුන සහය නිසා තමයි මේ තරම් දුරක් මට එන්න පුළුවන් වුනේ.මගේ පුතාවත් මේ වෙලාවේ මතක් කරනවා.ඇත්තම කියනවනම් සැමියාගේ ධෛර්ය තමයි මට ලැබෙන ලොකුම හයිය.
නදීශා අතුකෝරළ