හිත රිදෙන්න නැති තැනක් ලෝකයේ නැහැ - මෞලි දුෂ්මන්ත ෆර්ඩිනැන්ඩො
මෞලි.. මේ දිනවල විකාශය වන ඔබ රඟ පෑ ටෙලිනාට්‍ය ගැන මුලින්ම කතා කළොත්?
මේ දිනවල ජයන්ත චන්ද්‍රසිරි මහතා අධ්‍යක්ෂණය කරන 'නන්නත්තාර' ටෙලිනාට්‍යයට සම්බන්ධවෙලා ඉන්නවා. ඒ වගේම ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණය කරන 'කෝලම් කුට්ටම' ටෙලිනාට්‍යයටත් රංගනයෙන් දායක වෙනවා.
ඔබ දායකත්වය ලබා දුන් ලලිත් රෝහිත එදිරිසිංහ අධ්‍යක්ෂණය කළ 'තට්ටු දෙකේ ඉස්කෝලේ' පෙබරවාරි 17 වැනිදා සිනමාහල්වල ප්‍රදර්ශනය කරනවා. 'තට්ටු දෙකේ ඉස්කෝලේ' ගැන මතකය අවදි කරමුද?
ඔව්.. ලලිත් රෝහිත එදිරිසිංහ අධ්‍යක්ෂණය කළ 'තට්ටු දෙකේ ඉස්කෝලේ' පෙබරවාරි මාසෙ 17 වැනිදා ඉඳන් අපේ රටේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට නැරඹීමට අවස්ථාව ලැබෙනවා. ඊට පෙර මේ චිත්‍රපටය ලෝකයේ රටවල් කිහිපයකම තිරගත වුණා. ඒ සඳහා ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා. ලලිත් මේ චිත්‍රපටය හරි අපූරුවට නිර්මාණය කළා. මේ චිත්‍රපටයේ මම දැක්ක විශේෂත්වයක් තියෙනවා. අපේ බොහෝ චිත්‍රපටවලට තේමාව වෙන්නෙ මිනිසුන් අතර ඇතිවන බැඳීම්. ආදරය, තරහව, ක්‍රෝධය මූලික කරගෙනයි බොහෝ විට චිත්‍රපට නිර්මාණය වෙන්නෙ. නමුත් 'තට්ටු දෙකේ ඉස්කෝලේ' තේමාව ටිකක් වෙනස්. මිනිසා සහ පරිසරය අතර ඇතිවන බැඳීම් හරි අපූරුවට මේ චිත්‍රපටයෙන් කතා වෙනවා. අම්මා වෙනුවට දරුවෙකුට ගහක් ආදේශ වුණාම ඒක ජීවිතයට කොයි තරම් බලපෑමක්, ආදරයක් වෙලා තියෙනවද කියලා මේ චිත්‍රපටයෙන් කතා වෙනවා. දරුවන්ගේ ජීවිතයේ සාර්ථකත්වය ඒ ඔස්සේ තීරණය වෙලා තියෙනවා කියලා කියන හරි අපූරු කතාවක්. ඉතින් මම හරිම ආදරයෙන් ලලිත් රෝහිත එදිරිසිංහ මහතා අධ්‍යක්ෂණය කළ 'තට්ටු දෙකේ ඉස්කෝලේ' නරඹන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඊට අමතරව තේජා ඉද්දමල්ගොඩ අධ්‍යක්ෂණය කරන 'සඳ එක් දිනක්' චිත්‍රපටයටත් මම මේ දිනවල සම්බන්ධවෙලා ඉන්නවා.
මෞලි රංගනයට ලැබෙන හැම ආරාධනාවක්ම බාරගන්නෙ නැහැ කියලයි ආරංචිය?
මුල් කාලෙ ඉඳන්ම මට ලැබෙන හැම නිර්මාණයක්ම බාරගන්න බැරි හේතු කිහිපයක්ම තියෙනවා. මම නීතිඥ වෘත්තියේ යෙදෙන කෙනෙක්. ඒ නිසා ඒ වෘත්තියට බාධාවක් නොවන පරිදි තමයි මම නිර්මාණ බාරගන්නෙ. ඒ වගේම අපේ ජීවිතවල පෞද්ගලික නිර්ණායක කිහිපයක් තියෙනවනෙ. ඒවාට මූලික තැනක් දෙනවා. ඒ නිසා ලැබෙන හැම චරිතයක්ම බාරගන්නෙ නැහැ. මගේ පෞද්ගලික ජීවිතයට හානියක් වන නිර්මාණයක් මම බාරගන්නෙ නැහැ. ඒ තීරණය ගන්නෙ මමයි.
නීතිඥ වෘත්තියට වැය කළ යුතු කාලසීමාව වැඩියි. රංගනයේදිත් එහෙමයි. වෘත්තියත් එක්ක කලා කටයුතුවලට යොදන කාලය වෙන්කර ගන්නෙ කොහොමද? වෘත්තිය නිසා ලැබුණු හොඳ නිර්මාණ අතහැරුණු තැන් තියෙනවද?
මම අධ්‍යාපන කටයුතුවල යෙදුණු කාලයේදි හොඳ නිර්මාණ අතහැරුණු අවස්ථා තිබුණා. නමුත් මම නීතිඥවරයෙක් වුණාට පසුව අද මට ඒ ස්වාධීනත්වය ලැබිලා තියෙනවා. මට අවශ්‍ය විදිහට කාලය කළමනාකරණය කරගෙන රැකියාව කරන්න මට දැන් නිදහසක් ලැබිලා තියෙනවා. රංගනය සහ නීතිඥ වෘත්තිය කියන ක්ෂේත්‍ර දෙකම ස්වාධීනයි. වෙන කෙනෙක් යටතේ බැඳිලා නැහැ. මගේ තීරකයා වෙන්නෙ මමයි. ඒ නිසා මට ස්වාධීනත්වයක් තියෙනවා. සමහර දවස්වලට මම උදේ උසාවියට ගිහින් හවසට රෑගත කිරීම්වලට යනවා. මට තවත් එක නීතිඥවරයෙක් වෙන්න බැරි වෙයි. මට තවත් එක නළුවෙක් වෙන්නත් බැරි වෙයි. හැබැයි මෞලි කියන්නෙ ඔය දෙකේම එකතුවක්. ඒ කෙනාට යන්න පුළුවන් දුරට මට යන්න පුළුවන් වේවි.
කලාකරුවෙක් කියන්නෙ මිනිසුන්ගේ ආදරය දිනාගනිමින් මිනිසුන් අතර ඉන්න කෙනෙක්. නීතිඥවරයෙක් කියන්නෙ මිනිසුන්ගේ දුක, වේදනාව, සංවේදී බව වගේම ක්ෂණික කේන්තිය දැනෙන කෙනෙක්. කලාකරුවෙක් විදිහට අද ඒ දේ දැනෙන්නෙ කොහොමද?
මේ වෘත්තීන් දෙකම මිනිසුන් එක්ක වැඩිපුර ගැවසෙන්න පුළුවන් වෙන අවස්ථා දෙකක්. නළුවෙක් කියන්නෙ සමාජය පිළිබඳව අධ්‍යයනය කරන පුද්ගලයෙක්. මිනිසුන්ගෙ හැඟීම් දැනීම්, ප්‍රශ්න, ජීවන රටාව හැමදේම අපි ආරෝපණය කරගෙන යම් නිරෑපණයක් කළ යුතු වෙනවා. නළුවෙක් හැමවිටම අනිත් කෙනාගේ චර්යාව වගේම ජීවන රටාව ගැන තීක්ෂණ ඇසකින් බලන්න ඕනෙ. නීතිඥ වෘත්තියෙන් සෑහෙන සහයෝගයක් ලැබෙනවා. මිනිසුන් එක්ක ගැවසෙන්න, විවිධ චරිත දකින්න, ඔවුන් අධ්‍යයනය කරන්න මට උසාවියේදිත් අවස්ථාව ලැබෙනවා. නීතිඥ වෘත්තිය නිසා කලාවට ලැබෙන ප්‍රයෝජන වගේම කලාව නිසා නීතිඥ වෘත්තියට ලැබෙන දේවලුත් තියෙනවා. හොඳ නීතිඥවරයෙක් වෙන්න නම් අපිට සබකෝලය තිබිලා බැහැ. රංගනයේ යෙදෙන කෙනෙක් ඒ සබකෝලය අමුතුවෙන් නැතිකර ගන්න කරන්න ඕනෙ නැහැ.
ඔබ අද රංගන ශිල්පියෙක් වගේම නීතිඥවරයෙක්. මේවා පුංචි කාලේ දැකපු හීනද?
මම පුංචි කාලේ ඉඳන් ලොකු හීන දැකපු කෙනෙක් නෙමෙයි. නීතිඥවරයෙක් වෙන්න හීනයක් තිබුණෙ නැහැ. මගේ තාත්තා බැංකු නිලධාරියෙක්. ඒ නිසා බැංකුවට යන්න පුංචි ආසාවක් තිබුණට ඒකවත් හීනයක් වුණේ නැහැ. මගේ පවුලේ අයියයි අක්කයි ඉන්නවා. මම පවුලේ බාලයා. මගේ තාත්තා බැංකු නිලධාරියෙක් වගේම හිටපු කලා අධ්‍යක්ෂකවරයෙක්. මගේ අම්මා ගුරුවරියක්. සමාජ රැල්ලත් එක්ක කාලයක් දොස්තර කෙනෙක් වෙන ආසාවක් තිබුණා. මට ගෙදරින් කිසිම දේකට බලපෑමක් තිබුණෙ නැහැ. මම සාමාන්‍ය පෙළ කරලා විද්‍යා අංශයෙන් උසස් පෙළ කරන්න ඕනෙ කියද්දි අම්මයි තාත්තයි ඒකට සහයෝගය දුන්නා. මාස හයක් එහෙම කරලා "මට විද්‍යා අංශය හරියන්නෙ නැහැ" කියලා හිතලා මම කලා විෂයන් තෝරාගත්තා. ඒකටත් මට ගෙදරින් උපරිම සහයෝගය ලැබුණා. කලා විෂයන් තෝරාගෙන ටික කාලයක් අධ්‍යාපන කටයුතු කරගෙන යද්දි මට "නීතිඥ වෘත්තිය හොඳයි" කියලා හිතුණා. මගේ පවුල් පසුබිමත් එක්ක මට වයස අවුරුදු හතේදි තමයි මම මුලින්ම රංගනයට යොමු වුණේ. ඒ 1977 දි මගේ තාත්තා නිර්මාණය කළ 'දියෙන් ගෙනා කිරි' ළමා නාට්‍යයටයි. ඒ ළමා නාට්‍ය වෙනුවෙන් සමස්ත ලංකා තරගයේ හොඳම ළමා නළුවා වුණේ මමයි.
රංගන ශිල්පියා, නීතිඥවරයා කියන චරිත දෙකෙන් මෞලි වැඩියෙන්ම කැමති මොන චරිතයටද?්
ඒ චරිත දෙකටම මම එක හා සමානව කැමතියි. එයින් ලැබෙන සතුට දෙකක්. ප්ලේන්ටියක් බීලා ගන්න රහ කෝපි එකකින් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ නිසා මම කෝපි බොන්නත් ආසයි. ප්ලේන්ටි බොන්නත් ආසයි.්
ඔබ පාසල් දෙකක ඉගෙන ගත්ත ආදි ශිෂ්‍යයෙක්?
ඔව්.. මම මුලින්ම ඉගෙන ගත්තෙ මොරටුව වේල්ස් කුමර විදුහලෙන්. එතනින් මට ජීවිතයට පුදුමාකාර පන්නරයක් ලැබුණා. අද මට මේ තැනට එන්න හොඳම අඩිතාලම වැටුණේ වේල්ස් කුමර විදුහලේ තිස්ස ගුණවර්ධන සර් ඇතුළු ගුරු මණ්ඩලය නිසයි. කලාවත් එක්ක බාහිර ක්‍රියාකාරකම් එක්ක මගේ පාසල් ජීවිතේ ගොඩනැගුණා. උසස් පෙළ හදාරන්න මම කොළඹ රාජකීය විදුහලට ඇතුළත් වුණා. පුංචි කාලේ ඉඳන් ඉගෙන ගන්න ලොකු ආසාවක් නොතිබුණු ඇතැම් විෂයන්වලට පොතක්වත් තිබුණෙ නැහැ. මාස තුනක් අම්මා මාව ළඟ වාඩි කරවගෙන සාමාන්‍ය පෙළ විභාගයට ඉගැන්වුවා. රාජකීය විදුහලට ගියාට පස්සෙ මා තුළ ඉන්න ඉගෙන ගන්න පුළුවන් මනුස්සයාව මම සොයා ගත්තා. මට රාජකීය විදුහලේදි හොඳ සහෝදර පිරිසක් මුණගැහුණා. මේ පාසල් දෙකටම මට එක වගේම ආදරෙයි.
කලා කටයුතුවලදි කැපිලි කෙටිලිවලට මුහුණ දුන්න, හිත රිදුණු තැන් තියෙනවද?
හිත රිදෙන්නෙ නැති තැනක් මේ ලෝකෙ නැහැ. ඒ හැමදේටම අපි පුරුදු වෙන්න ඕනෙ. මගේ හිත රිදුණු තැන් සෑහෙන්න තියෙනවා. මට කවුරු එක්කවත් තරගයක් නැහැ. මට මා එක්ක විතරයි තරගය තියෙන්නෙ. ඒ නිසා මගේ හිතේ කහටක් අවුලක් සැකයක් නැහැ. මට ලැබෙන නිර්මාණයකටම මට පුළුවන් උපරිම සාධාරණය කරන්න මම හැම වෙලේම උත්සාහ කරනවා. 'උඩුගං යාමය' චිත්‍රපටයේ මට තනියම ඔරුවක් පදින්න තිබුණා. මම මාසයක් තිස්සේ ඔරුව පදින්න පුරුදුවෙලා තනියම ගඟ හරහා ඔරුව පැද්දා. 'අරුංගල්' ටෙලිනාට්‍යයේ මට වයලීනයක් වාදනය කරන්න තිබුණා. ගිටාරය වයන්න පුළුවන් වුණත් මම වයලීනය අල්ලන්නවත් දැනගෙන හිටියෙ නැහැ. මම අමරසිරි පීරිස් ගුරුතුමා යටතේ ඒ ගැන සෑහෙන කාලයක් ඉගෙන ගත්තා.
දිශානි ජයමාලි / සේයාරූ- සුමුදු හේවාපතිරණ