හිතේ ආසාව තිබුණාට කැමරාව ඉස්සරහට ගියාම නම් ගැස්මක් තිබුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල පුංචි තිරයේ අතිශ්‍ ය ජනප්‍රිය ටෙලි නිර්මාණ ද්විත්වයක් වන කියා දෙන්න ආදරේ තරම් සහ කෝලම්කුට්ටම හරහා කරළියට එන අලුත්ම රුව, ඇය තමයි සචින්ත්‍යා අරුන්දතී. කෝලම් කුට්ටමේ සංගීතා සහ කියා දෙන්න ආදරේ තරම් හි චමදරී හරහා ඔබේ ආලින්දයට එන මේ අලුත්ම රුව සමඟයි අද කතාබහ.

නම:- සචින්ත්‍යා අරුන්දතී
පාසල:- අධ්‍යාපනය හැදෑරුවේ මහනුවර ස්වර්ණමාලී බාලිකා විද්‍යාලයේ.

තවම අධ්‍යාපනය හදාරනවද?

මම දැනට උසස් අධ්‍යාපනයට යොමුවෙලා ඉන්නේ. දැනට ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙන ගන්නවා.

පවුලේ තොරතුරු:-

මගේ ගම නුවර. පවුලේ ඉන්නේ අම්මා, අප්පච්චි, මල්ලී අම්මා ගුරිවරියක්. අප්පච්චි රාජ්‍ය නොවන සංවිධානයක විධායක අධ්‍යක්ෂවරයෙක්. මල්ලි කොතලාවල විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ ඉගෙන ගන්නවා.
 
සචින්ත්‍යාට කොහොමද කලාවට එන්න අවස්ථාව ලැබෙන්නේ ?

රංගන ශිල්පිනියක් වෙනවා කියන එක පුංචි කාලේ ඉඳලාම මට තිබුණු ලොකු ආසාවක්. එතනට යන්න මට පාරක් හදාගන්න උවමනාව තිබුණා. මම 2022 සිරස වසන්ත කුමරිය ලෙස අභිසෙස් ලැබුවාට පස්සේ ඒ ඔස්සේ මට රංගනයට පිවිසීමට අවස්ථාව ලැබුණා. මගේ මුල්ම නාට්‍ය කෝලම්කුට්ටම ටෙලි නාට්‍යය. සද්ධා මංගල සූරියබණ්ඩාර සර්, ශිවගුරුනාදන් සර්, මතක් කරන්න ඕන මා ගැන විශ්වාසයක් තියලා  මට රංගනයට එන්න අවස්ථාව දුන්නාට. ඒ එක්කම සිරස ආයතනයට ස්තූතිවන්ත වෙන්න ඕන. මොකද සිරස වසන්ත කුමරිය ලෙස තේරීම නිසා තමයි මගේ හීනයට යන්න පාර හැදුනේ.

කලාවට එද්දී රංගනය ගැන පුංචි හරි හැදෑරීමක් කරලා තිබුණා ද?

මම පාසලේ දී පාසල් වේදිකා නාට්‍ය කළා. ඒ වගේම ධනුෂ්ක රත්නායක අයියා මෙහෙයවන වීණාවී රංගන පාසල විශේෂයෙන් මතක් කරන්න ඕන. එහිදීත් මට හොඳ දැනුමක් පුහුණුවක් කලාව ගැන ලබා ගන්න හැකියාව ලැබුණා. මට ක්ෂේත්‍රයට පිවිසෙන්න වීණාවි රංගන පාසල ලොකු රුකුලක් වුණා. මේ වෙලාවේ ධනුෂ්ක රත්නායක අයියාට සහ ප්‍රියන්ත ලාල් සර්ට ස්තූතිවන්ත වෙනවා. ධනුෂ්ක රත්නායක අයියා කියන්නේ ගොඩක් නවකයන්ට අවස්ථාවන් දෙන හොඳ අධ්‍යක්ෂවරයෙක්.

ඔබ මුලින්ම කැමරාවක් ඉදිරියට එන්නේ කෝලම් කුට්ටම ටෙලිනාට්‍යය හරහා. කොහොම ද ඒ අත්දැකීම?

හිතේ ආසාව තිබුණාට කැමරාව ඉස්සරහට ගියාම නම් ගැස්මක් තිබුණා. රූපවාහිනියෙන් නාට්‍යයක් බලලා තිබුණාට නාට්‍යයක් හැදෙන්නේ කොහොමද කියලාවත් මම දැනන් හිටියේ නැහැ. කෝලම් කුට්ටම ටෙලි නාට්‍යයේ අත්දැකීම මට ලොකු අත්දැකීමක් වුණා ඒක මගේ පළමු ටෙලිනාට්‍ය නිසා. ගොඩක් දේවල් ඉගෙන ගන්න මට ඒ හරහා අවස්ථාව ලැබුණා. එහි රූපගතකිරීම් කළේ මාදුගඟ ආශ්‍රිතව. ජීවිතේ පළමු වතාවට ඉස්සෝ කොටුවක් දැක්කේ රූපගත කිරීම් වලට ගියවෙලාවේ. කාවින්ද්‍යා දුල්ෂානි අක්කා එක්ක තමයි මට වැඩිපුරම ෂූටින් තියෙන්නේ. අපි ඔරු පැද්දා. හරිම ආසාවෙන් වින්ද අත්දැකීම් ටිකක් තමයි කෝලම්කුට්ටම නාට්‍ය හරහා තියෙන්නේ.

කෝලම් කුට්ටම සහ කියාදෙන්න ආදරේ තරම් හි ඔබේ චරිත ගැන කතා කරොත්...

කෝලම් කුට්ටමේ සංගීතා කියන්නේ ගම්බද චරිතයක්. හරිම කෙළිලොල්.. කෝලම් මුහුණු හදන ගෙදරක දුවක්. සංගීතා කියන දේ අහන්නේ නැති ටිකක් දඟකාර තරුණියක් හොඳ ප්‍රතිචාර වගේම සංගීතාට විවේචනත් ලැබෙනවා. හරිම ආදරෙන් ඒ ප්‍රතිචාර දෙකම මම භාර ගන්නවා. කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයේ චමදරී කියන්නේ නුවර ගමක හැදිලා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඉගෙන ගෙන නැවත නුවර ඇවිත් ජීවත් වන යුවතියකගේ චරිතයක්. හැබැයි සංගීතා තරම් චමදරී කෙළිලොල් නැහැ.

මේ චරිත දෙකටම ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා. චමදරීගේ චරිතය එක්ක ගොඩක් ප්‍රේක්ෂකයෝ කවුද මේ අලුත් මූණ කියලා හොයනවා. ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර හොඳ හෝ නරක මම ආදරෙයෙන් බාරගන්නවා. වැඩ කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා ඇත්තටම. මේ චරිත දෙකම මට ලොකු අත්දැකීමක්. 

සචින්ත්‍යා අවුරුදු කුමරිය තරගයට එන්නෙම රඟපාන්න තියෙන ආසාව හන්දාද?

ඇත්තටම අවුරුදු කුමරි තරගයකට සහභාගි වෙන්න මට ලොකු ආසාවක් තිබුණා. මගේ පාසලේ 2018 අවුරුදු කුමරිය වුණා. 2019 ස්වර්ණමාලි අවුරුදු කුමරිය තුන්වෙනි ස්ථානය ලැබුවා. ඒත් නාලිකාවක අවුරුදු කුමාරි තරගයකට සහභාගි වෙන්න ලොකු ඕනකමක් තිබුණා. කලාවට එන්න තියෙන ආසාව නිසාම වෙන්න ඇති මම අවුරුදු කුමරිය තරගයකට යනවා කියන අදහස එන්න ඇත්තේ. මගේ සිහිනය වාසනාව ගෙනාවේ 2022 සිරස වසන්තය.

මේ ගමන මඟ ඇරුණා නම් ?

කොයිතරම් අමැරු වුණත් මම මගේ හීනවලට කොහොම හරි යන කෙනෙක්. හැබැයි දෛවය විසින් ඒ අවස්ථාව මට ලබා නොදුන්නා නම් මම ඉගෙන ගන්න ක්ෂේත්‍රයකින් ඉදිරියට යාවි.

කලාවට එනවට ගෙදරින් කොහොම ද ලැබුණ සහාය.

මම පොඩි කාලේ ඉඳන්ම අම්මාටයි අප්පච්චිටයි නිතරම කියලා තියෙනවා මට නිළියක් වෙන්න ඕන කියලා. හොඳට ඉගෙන ගත්තොත් නිළියක් වෙන්න අවස්ථාව දෙන්නම් කියල ඒ දෙන්නම කියලා තියෙනවා. ඒත් මම අවුරුදු කුමරිය තරගයට එනවට අප්පච්චි මුලදී කැමැති වුණේ නැහැ. මගේ නැන්දා තමයි අප්පච්චිට කිව්වේ අපි මෙයාට අවස්ථාවක් දෙමු කියලා. සිරස අවුරුදු කුමරිය තරගයට යන්න ගෙදරින් අවසර අරන් දුන්නේ මගේ නැන්දා. දැන් ගෙදරින් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම මගේ විශ්ව විද්‍යාලයේ යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා. ෂූටින් යද්දී මගේ තනියටත් ඒ අය එනවා. ඒ හැමදෙනාවම මම ආදරෙන් මතක් කරනවා. අම්මලාගෙන් ලැබෙන සහයෝගය, තේරුම් ගැනීම නැත්නම් මට කලාවේ ගමනක් යන්න අමාරුයි. ඒ තේරුම් ගැනීම මට ලොකු සහායක්. අම්මා, අප්පච්චි, මල්ලී, නැන්දා ආදරයෙන් මතක් කරනවා.

දිගටම කලාවේ රැඳෙන්න ද බලාපොරොත්තුව ?

ඒක මට දැන්ම කියන්න අමාරුයි. මම තාම අලුත් නිසා හොඳ නිර්මාණ ලැබුණොත් දිගටම රැඳෙනවා. දිගටම කලාවේ ගමනක් යන්න ලොකු ආසාවක් තියෙනවා. තාම පොඩි කාලේ මම දැකපු රංගන ශීල්පිනිය වෙලා නැහැ. මේකේ ලොකු ගමනක් මට යන්න පුළුවන් වේවි කියලා මම විශ්වාස කරනවා. මට දැනට ලැබිලා තියෙන්නේ ටිකක් දඟකාර කෙළිලොල් චරිත. මම ආසයි ටිකක් අහිංසක තැන්පත් චරිතයක් කරන්න. නපුරු චරිත කරන්නත් ආසයි.

නදීශා අතුකෝරළ