හිතාගන්න බැරි තරම් සංවේදී ප්‍රතිචාර ලැබෙනවා - Saman Alankara
සනහා සියක් දහසක් දරු සිත් තිළිණ කළ ඒ තෑග්ග අනේ ඇත්තටම කොයි තරම් නම් ලස්සනද මට හිතුණේ එදා පුංචි උන් උකුලේ තියාගෙන හොරා අංකල් බලපු දවසේ. ඔව් අනේ එහෙම වුණානේ. එදා ඒ තරම් සෙනඟක් ආවා හොරා අංකල් බලන්න. බලලා විඳින්න. හිඳුවන්න ඉඩක් නැති පුංචි උන්ව එදා අපි අපේ උකුළු මත හිඳුවා ගත්තේ හරි ආදරෙන්. කවුද කියන්න නමක් ගමක් නොදන්න මුත් ඒ කාගේ හරි දරුවෙක්නෙ... හිතුණේ එහෙමයි. ඇත්තටම ඒ පුංචි මූණු අපිට කියලා දුන්න කතාන්දරය අනේ ඔයා දන්නවද හොරා අංකල් තරම්ම ලස්සනයි. අහන්න... ඔයා දන්නවද ලස්සනම... දැනෙන්නම... ඔව් දැනෙන්නම දැනෙන්න කතා කරන්න පුළුවන් වචන නැතුව කතා කරද්දි... ඒ පුංචි මූණු කතා කළේ වචන නැතුව... වචන නැති හැගීම් ඉතිරිච්ච කතාන්දර කොච්චර ඒ දිලිසෙන ඇස් අස්සේ... දිදුලන කොපුල් තල මත්තේ තිබුණද?
දුටු සතුටු හිත් ඕවිල්ලෙ නැලවෙමින් හොරා අංකල් බලපු පුංචි දුවක් දවසක් කියනවා මගේ තාත්තා ඉන්නේ රට. මට දැනෙනවා කියලා මම හිතුවේ අම්මගේ ආදරය විතරයි. ඒත් තාත්තාගේ ආදරය කොයි තරම්ද කියලා මට තේරුණේ හොරා අංකල් බැලුවට පස්සේ කියලා ඒ දූට දැනෙන්න ඇති තාත්තාගේ ආදරය කියන්නේ නොඉල්ලා කිසිවක්ම බොහෝ දේ දන් දෙන මහා ගහක් වගේ කියලා... සංසාර කතාන්දර පපුව අස්සේ හංගා ගත්තු මහා කන්දක් වගේ කියලා... ඉතින්... ඔයාට ස්තූතියි නොකියා කොහොමද ඉතින් අලංකාර... ඔව් අලංකාර ඔයාට ස්තූතියි නොකියා කොහොමද? ඔව්... මේ මොහොතේ ඔයාට ස්තූතියි නොකියා කොහොමද මං... අහන්න... හේතු දෙකක් තියෙනවා.. දරුවන්ට මම ආදරෙයි. ඉතින් දරුවන් වෙනුවෙන් ඒ ලස්සන සිනමාමය තෑග්ග තිළිණ වෙන්නෙ කොහොමද ඔයයි එයයි නැත්නම්. ඔව් අලංකාර ඔයයි සුමින්දයි නැත්නම්... ඔව් සමන් අලංකාරයි ආචාර්ය සුමින්ද ලොව් ඔය දෙන්නා නොහිටින්න සිංහල සිනමාවට හොරා අංකල් කියන සිනමාමය තෑග්ග එකතු නොවෙන්න තිබුණා... ඒ නිෂ්පාදන වගකීම ආදරයෙන් හැඟීමෙන් දෙවුර දරාගත්තෙ ඔයාලා නිසා... ඉතින් මේ මොහොතේ ආදරයත් ස්තූතියත් අත දිග ඇරලා හදවතින්ම පිරිනමද්දි පිළිගන්න...
හේතුව; හොරා අංකල්ට හැකි වුණා දවස් හැත්තෑ පහක් පහු කරලා තව තවත් දරු හිත් නලවන්න... දරු හිත් අස්සෙ තුරුල් වෙන්න... උන්ගේ ලෝකය පිරිසිඳ ඒ ලෝකයේ දිලිසෙන මුතු මිණි සදිසි දෙවියන් වන් පාරිශුද්ධ හිතුවිලි ගැන අපේ හිත්වලට කියලා දෙන්න.
ඉතින්... ගෙවාලූ දවස් 75 වෙනුවෙන් සුබ පැතුම්!
යනෙන මඟ වෙනුවෙන් තවත් සුබ පැතුම්!
දින 100 සිහිනය සිහිනයෙන් ඇහැරවන්නත් සුබ පැතුම්!
ඉතින් ඊට පස්සේ
ඔව් ඉතින් ඊට පස්සේ එයා එක්ක මම කතා නොකර කොහොමද?
අලංකාර ෆිල්ම්ස් නිර්මාණ සමුදාය අතරට හොරා අංකල් එකතු කරගත් සමන් අලංකාර එහි නිෂ්පාදකවරයෙක් විදිහට, එය රංගනයෙන් සැරසූ නළුවෙක් විදිහට දවස් 75 ක් ගෙවූ සතුට දැනෙන්නේ කොහොමද?
දවස් 75 ක් පසු කළා කියන්නෙ පුදුම සතුටක්. මමත් සුමින්දත් නිෂ්පාදන වගකීම දැරූ හොරා අංකල් දරුවන් අතරට, මිනිස්සු අතරට ගියා කියන එක පුදුම සතුටක්. අපේ ඇස් ඉස්සරහ තියෙන සමාජයේ රාමුගත වී ඉන්න දරුවන්ට, දරුවන් මව්පියන්, දරුවන් ඥාතීන්, දරුවන් කේන්ද්‍රීයව මේ විදිහට විවිධ සමාජ සබඳතා අතර ඇති බැඳීම් අඩු වී යන කාලෙක, විනෝදාත්මක සහ මානුෂික ආදරණීය අත්දැකීමක් චිත්‍රපටයක් ඔස්සේ හෝ දරුවන්ට දුන්නා කියන හැඟීම පුදුමාකාර ආත්ම තෘප්තියක්. ඒ වගේම හොරා අංකල් චිත්‍රපටය සියලුම පාසල් දරුවන්ට නැරඹීමට සුදුසුයි යන නිර්දේශය අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලැබුණා. මේ දිනවල හොරා අංකල් පාසල් දර්ශනත් තිරගත වෙනවා. ළඟම සිනමා ශාලාවක් තියෙනවනම් එතැන හෝ පාසලේම අපි චිත්‍රපටය පෙන්වනවා. ඒ වෙනුවෙනුත් ඕනෑම පාසලකට විමසීම් කරන්න පුළුවන්.
හොරා අංකල් ප්‍රේක්ෂකාගාරයෙන් ඔබ ලද, මේ මොහොතේත් ඔබ සංවේදී කරන ප්‍රතිචාර තියෙනවද?
ඇත්තටම ඔව්... හුඟාක් ප්‍රතිචාර තියෙනවා. මමවත් සුමින්දවත් අධ්යක්ෂ හර්ෂණවත් සමහරවිට බලාපොරොත්තු නොවුණ තරම් සංවේදී ප්‍රතිචාර තියෙනවා. පෙර පාසල් සහ පාසල් ගුරුවරියන්, මව්පියන්, දරුවන් කතා කරන්න බැරිව සංවේදීව හඬපු තැන් තිබුණා. එක දුවක් කීවා එයාගේ තාත්තා ඉන්නෙ රට. තාත්තාගේ ආදරය පුදුම විදිහට දැනුණේ හොරා අංකල් බැලුවට පස්සේ කියලා. තාත්තාගේ ආදරය, අම්මාගේ ආදරය හුඟාක් දැනෙනවා හොරා අංකල් බැලුවට පස්සේ කියලා කියපු දරුවන් හුඟාක් හිටියා.
වරද සාධාරණ නොවුණත් මේ ලෝකයේ ඕනෑම මනුස්සයෙක් යම් වරදක් කරන්න පෙළඹීමේ හේතු අතිශය සාධාරණ වෙන්න පුළුවන්. මේ චිත්‍රපටයේ දරුවන්ගේ ආමන්ත්‍රණය තුළම ආදරණීය වූ හොරා අංකල් හොරෙක් වෙන්නෙත් එවැනි අතිශය මානුෂික සහ දරාගන්න බැරි ආදරණීය හේතුවක් උඩ. අලංකාර... මේ ලෝකය ඔය ඇස් දෙකෙන් ඔබ දකින්නේ කොහොමද?
ඒ දරුවන්ගේ හිත්වල නිර්මලත්වය හරි පුදුමයි. ඒ ලෝකය කොයි තරම් සියුමැලිද කියනවනම් එයාලට හොරා කියන්නේ නමක් මිසක් හොරෙක් නෙවෙයි. ඇත්ත... ආදරණීයම තාත්තා කෙනෙක් විදිහට ඒ තාත්තාගේ පපුවේ උණුසුම් හදගැස්ම, දුවක් ඉන්න තාත්තා කෙනෙක් විදිහට ඒ තාත්තාගේ කැක්කුම මටත් දැනුණා. මම හරි ආසයි හොරා අංකල් කතා කරපු සහකම්පන ගුණය ගැන... කෙනෙක්ගේ දුක, සතුට තමන්ගේ දුකක් සතුටක් විදිහට දැනෙන ගුණය තමයි සහකම්පන ගුණය... අවලස්සන බොහෝ දේත්, ලස්සන බොහෝ දේත් මේ ලෝකය තුළ මම මගේ ඇස් දෙකෙන් සහ හදවතින් දකිනවා.
ඔබ නළුවෙක්... නිෂ්පාදකවරයෙක්... කටුක මාවත් මැද ජයග්‍රාහී ගමනක් පැමිණි ධෛර්යවන්ත සාර්ථක නිර්මාණශීලී ව්‍යාපාරිකයෙක්. මට කියන්න විශ්වාසද මේ සියල්ල තුළ කලාවට සහ සිනමාවට ඇති ආදරය ඔබ අත් නොහරින බව?
ඔව්... සිනමාව, කලාව කියන්නේ මගේ හදගැස්මට හදගැස්මක්. ව්‍යාපාර මා රකින ශක්තිමත් පවුරක්... ජීවිතයේ මහන්සිය දැනෙන තැනකදි කලාවට, සිනමාවට, සංගීතයට පුළුවන් මාව නිවන්න. ඉතින් මා නිවන කිසිවකින් කවදාවත් මම දුරස් වෙන්නෙවත් අත්හරින්නෙවත් නෑ.
• සංජීවිකා සමරතුංග