හිච්චි ටෙලි නාට්‍යයේ මම සීනෙත් සර්ගේ යාළුවාට රඟපෑවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නවක රංගන ශිල්පියෙකු වූ දිනූ විජයලත්ටත් මෙවර කලාපයෙන් අප මෙසේ ඉඩක් වෙන් කළා. දැනට ටෙලි නිර්මාණ කිහිපයක් ඔස්සේ දුටු දිනූ රංගන ශිල්පියෙක් ලෙස කලා ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්නට අපේක්ෂාවෙන් පසුවෙයි. මේ දිග හැරෙන්නේ ඔහු සමග අප කළ කතා බහයි.

දිනූ රංගනයට ආවේ මෑතකදී?

ඔව්, 2022 වසරේ අන්තිමට වගේ. රංගනයට එන්න කලින් මම දුරුතු සිනමා පාසලේ රංගනය ගැන හැදෑරුවා. ඒක කරන්නේ රවින්ද්‍ර විජේරත්න හා තරංග දිසානායක  ගුරුවරුන්. ඒ හරහා තමයි මට රංගනයට එන්න අවස්ථාව ලැබුණේ.

මුලින්ම දිනූ රඟපෑව චරිතය මතකද?

රවින්ද්‍ර විජේරත්න අධ්‍යක්ෂකවරයා කරපු හිච්චි කියන ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් වුණ සිනෙත් සර්ගේ හොඳම යාළුවා විදිහට තමා මම රඟපෑවේ. මා දායක වුණ දර්ශන දැන් අවසන් වුණත් තවමත් ඒ කරපු චරිතයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර අඩුවක් නැතුව මට ලැබෙනවා.

හිච්චි ටෙලි නාට්‍යයෙන් පස්සේ?

දේවි කුසුමාසන චිත්‍රපටයේ රඟපෑවා. තවත් කලා නිර්මාණ කිහිපයකටම පසුගිය කාලේ සම්බන්ධ වුණා. ඒ වගේම ඉදිරියටත් කලා නිර්මාණ කිහිපයකටම එකතු වෙන්න දැනටමත් ආරාධනා ලැබිලා තියෙනවා. මම හිතනවා ඉදිරියේදී මාව නිතරම වගේ ප්‍රේක්ෂකයින්ට කලා නිර්මාණ ඔස්සේ දකින්න පුළුවන් වේවි කියලා.

දිනූට නළු හීනේ ඇතිවුණේ කවදද?

අද ඊයේ නම් නෙමෙයි. මේක පොඩි කාලේ ඉඳලාම ඇතිවුණ පිස්සුවක්. මම පොඩි කාලේ ඉඳලාම ආස කරපු නළුවා හේමාල් රණසිංහ අයියා. ඔහු වගේ වෙන්න තමයි  මම හැමදාම උත්සාහ කළේ. බොහෝ විට මම නළුවෙක් වෙන හීනේ ඇතිවුණේ ඔහුට තිබුණ කැමැත්ත නිසා කියලා කියන්න පුළුවන්.

රංගනය කියන්නේ දිනූගේ වෘත්තියද?

නැහැ, දැනට මම ජනශක්ති ඉන්ෂුරන්ස් ආයතනයේ සේවය කරනවා. ඒ අතරතුර ලැබෙන කාලය කළමණාකරණය කරගෙන තමයි රංගන කටයුතු කරන්නේ.  කලාවට මම ආදරේයි. ඒකයි මම කලාව එක්ක නිතරම ඉන්න ආස. අනාගතයේදී දක්ෂ රංගන ශිල්පියෙක් වෙන එක තමයි මගේ එකම අරමුණ.

කෙටි කාලයක් තුළදී ආපු ගමන ගැන තෘප්තිමත්ද?

මෙහෙමයි. කලා ක්ෂේත්‍රය තුළ තවමත් මම ඉන්නේ පළමු පියවරේ.  මේ ක්ෂේත්‍රය තුළ මම ලොකු ගමනක් ඇවිල්ලා නැහැ. පළමු පියවරේ ඉන්න  මට තව යන්න තියෙන දුර බොහෝයි. හෙමිහිට සාර්ථක ගමනක් මේ ක්ෂේත්‍රය තුළ යන්න මම අදහස් කරගෙන ඉන්නවා. ඒ වගේම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනා රවින්ද්‍ර හා තරංග ගුරුවරුන් දෙදෙනා. ඊට අමතරව සහය අධ්‍යක්ෂක දිනේශ් හග්ගල්ල, මගේ ආදරණිය පවුලේ හැම දෙනාවම. විශේෂයෙන්ම මගේ තාත්තාව මේ මොහොතේදී මතක් කරන්න ඕනා.

බුද්ධික සේනාධීර